ලංකාවට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙන්න ලැබීම මට ලොකු ආඩම්බරයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති පිළිපිනයේ මැනිලා නගරයේ පැවති Mrs. Glamour Look  ජාත්‍යන්තර රූපරාජිණි තරගයේ ජයග්‍රාහිකාව වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ හර්ෂනි වෙළගෙදරය. මේ වනවිට සිය 35 වැනි විය ගෙවා දමමින් සිටින හර්ෂනි දැනට ඩුබායි හි පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කරමින් සිටියි.

මුලින් හර්ෂණි ජයගත් තරගය ගැන කතා කරමු?

මේ තරගයේ නම තමයි 2023 Mrs. Glamour Look international රූපරාජිනි තරගය. මේක තිබුණේ පිළිපිනයේ මැනිලා නගරයේ පසුගිය වසරේ දෙසැම්බර් පළමුවැනිදා. රටවල් 32ක් නියෝජනය කරමින් තරගකාරියන් මේ තරගයට සහභාගි වෙලා හිටියා. ඒ පිරිස අභිභවලා තමයි මම මේ තරගයේ කිරූළ දිනාගත්තේ.

මේ තරගයට කොහොමද ඔබ එකතු වුණේ?

ද මොඩල් එජන්සිය හරහා තමයි මම මේ තරගයට සහභාගි වුණේ. එකේ ජාතික අධ්‍යක්ෂවරයා තමයි ශාන් මල්ලව. දේශිය තරගයේදී මේක Mrs. Glamour Look, Miss. glamour look, Mr. Glam trough කියන අංශ තුනකින් පැවැත්වුණා. Mrs. Glamour Look තරගයේ ජයග්‍රාහිකාව මම වුණ නිසා 2023 Mrs. Glamour Look international රූපරාජිනි තරගයට සහභාගි වෙන්න අවස්ථාව මට ඒ හරහා ලැබුණා.

ලංකාවේ දැන් රූපරාජිණි තරග ගොඩක් තියෙනවා නේද.?

ඔව්, මීට දශකයකට දෙකකට උඩදි මේ තරම් විශාල ප්‍රමාණයක් රූපරාජිණි තරග තිබුණේ නැහැ ලංකාවේ. කොපමණ රූපරාජිණි තරග ලංකාවේ තිබුණත් ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමක් තියෙන තරග තියෙන්නේ බොහෝම අඩු ප්‍රමාණයක්. ඒ වගේ එකක් තමයි Mrs. Glamour Look කියන තරගය. ඉතින් ඒ තරගයේදී ලංකාව නියෝජනය කරලා එහි කිරූළ දිනා ගැනීමට හැකිවීම පිළිබඳව මට තියෙන්නේ කියන්න බැරිතරම් සතුටක්. තමන්ගේ රට වෙනුවෙන් කිරූළක් දිනනවා කියන්නේ ඉතින් ඒක ලොකු වටිනාකමක් වගේම ආඩම්බරයක්.

මේ ජයග්‍රහණයෙන් පස්සේ ඔබගේ ඉදිරි වැඩ කටයුතු?

මම දැනට ඉන්නේ ඩුබායිවල. එහි ඇමෙරිකානු පාසලක ගුරුවරියක් විදිහට වැඩ කරනවා. දැනට කලා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි පිළිකා රෝගීන් වෙනුවෙන් යම් මෙහෙවරක් කරන්න අදහසක් තියෙනවා. ලංකාවට ඇවිල්ලා ඒ දේ ක්‍රියාත්මක කරන්නත් මම දැනට සැළසුම් කරමින් යනවා.

මවක් බිරිඳක් විදිහට මේ වගේ තරගයක් නියෝජනය කරන ඒක ලොකු අභියෝගයක්?

මම ගොඩක් ලොකු කැපකිරීමක් කරලා තමයි මේ තරගයට සහභාගී වුණේ. මගේ සැමියා ශෂිකාන්ත් වගේම මගේ පවුලේ හැමෝම මට ලොකු සහයෝගය දුන්නා මේ තරගය පුරාවටම. ඒ වගේම මගේ සැමියා හැම වෙලාවේම මාව ආරක්ෂා කරමින් දිරිගැන්වුවා මේ තරගය ජයගන්න. ඇත්තටම මගේ රට වෙනුවෙන් මේ ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වුණ ඒක ගැන ගොඩක් සතුටුයි මට.

බුද්ධික සේනාධීර