ලෙස්ටර් අධ්‍යක්ෂණය කළාට පස්සෙ මාව අධ්‍යකෂණ්‍ ය කළේ සංජීව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආචාර්ය සෝමරත්න දිසානායක යනු සම්මානනිය සිනමා අධ්‍යක්ෂවරයෙක් යැයි අමුතුවෙන් කිවයුතු නොවේ. එසේ වූවද මේ දිනවල ඔහු අපට හමු වන්නේ සුපුරුදු සිනමා අධ්‍යක්ෂණයෙන් නම් නෙවෙයි, මෑත යුගයේදී අපේ සිනමාවට බීහිවූ සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයකු වන සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ආසු චිත්‍රපටයේ වෛද්‍යවරයකුගේ චරිතය සමගය. ජ්‍යෙෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස තවත් සිනමා කරුවකුගේ මෙහෙයවීම යටතේ නළුවකු වීම සෝමරත්න දිසානායක හට ගෙන දුන් අත්දැකීම් මොනවගේ විය හැකිද? ආසු ඔහු රගපෑ ප්‍රථම චිත්‍රපටය ද? ආසු ෆිල්ම් එකේ වෛද්‍යවරයාට පණ දුන් ඔහුගෙන් අද අපි ඒ විස්තර ගැන කතා කරමු.

අධ්‍යක්ෂණයෙන් එහාට ආ ඔබගේ නළුකම ගැන කතා කරමු? මේක අහම්බයක් ද? නැත්නම් ඔබ කොහාමද එය  දකින්නෙ?

මගේ නළුකම ගැන උනන්දුව තිබුණෙ පාසල් අවධියේ සිටමයි. ඒක මට හීනයක් වෙලා තිබුණෙ, ඒ නිසාම මගේ පාසලේ ගුරුවරු මාව පොඩි පොඩි චරිත වලට ගත්තා. පසුව සාමාන්‍ය  පෙළ සහ උසස් පෙළ කරද්දී ලොකු-ලොකු චරිත වලටත් මාව ගත්තා. සමස්ථ ලංකා තරග වලටත් අපිව තේරුණා. තැලෙන යකඩ කියලා කළ නාට්‍යයේ මම රගපැවේ මහගමයාගෙ චරිතය. ඊට පස්සෙත් මගෙ සිහිනය අත්හැරියෙ නැහැ. කොළඹ සරසවියේ මගේ උපාධිය කළ කාලයේදී  ලයනල් වෙන්ට්ඩ් රංග ශිල්ප ශාලිකාවේ දී ධම්ම ජාගොඩ සහ මහාචාර්ය සරච්චන්ද්‍ර සූරින් නාට්‍ය පාඨමාලාවක් පවත්වාගෙන ගියා. ඒ කාලයේ ඉතින් අපේ හොදම තරුණ වයසනෙ. එදා අපේ ඒ ගෲප් එකේ අපට වඩා ජ්‍යෙෂ්ඨ පිරිසක් එහෙමත් හිටියා. රවීන්ද්‍ර රන්දෙණිය එදා එතැන හිටපු ජ්‍යෙෂ්ඨයෙක්. එදා ඔහු භාවිතා කළේ බොනිපස් පෙරේරා කියන නම. සුමින්ද සිරිසේන, ලින්ටන් සේමගේ, එච් ඒ පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි සහ එඩ්වඩ් ජයකොඩි පවා හිටියා . එදා මට වඩා ජ්‍යෙෂ්ඨ වූ මගේ සමකාලීනයින් වුනේ ඔවුන්. පරාක්‍රම නිරිඇල්ල සහ මම රංගන කටයුතු වලට ආවත් රචනය, අධ්‍යක්ෂණය ඇතුළු දේ වෙනුවෙන් සහභාගී කරවා ගත්තා. ඔයාලා මේ රගපෑමට වැඩි අවධානයක් දෙන්න එපා, ලියන්න අධ්‍යක්ෂණය කරන්න කියලා ධම්ම ජාගොඩ මහතා ඇවිත් අපට කිව්වා. එයාලගෙ දිරි ගැන්වීමෙන් තමයි පරාක්‍රම සෙක්කුව කළේ, මම වෙඩික්කාරයෝ කළා . මේ නාට්‍ය දෙකම ජාතික නාට්‍ය උළෙලට තේරුණා. සරච්චන්ද්‍ර සර් සහ ධම්ම සර් ඒ ගැන හරි සතුටු වුණා. එයාලගෙ ගෝලයින් ඒ විදියට ඉදිරියට ඒම ගැන. ඒ විදියට ආ ගමනක් මට තියෙන්නෙ.  ඒ කාලයේදී සයිමන් නවගත්තේගම සූරීන් සහ හෙන්රි ජයසේන සූරින්ගෙ නාට්‍යවල රගපෑමට පවා මට ඇරයුම් ලැබුණා. ඒ විදියට රංගනය කියන්නෙ මගේ පළවැනි ලව් එක. නැත්නම් පළවැනි කැමැත්ත.

එතකොට සිනමාවේ මොනවද එදා ඔබ කළේ?

ඉස්සෙල්ලා මම කිව්වෙ වේදිකාව ගැනනෙ. සිනමාව කියන්නෙ සබෑලෙස ම මට තිබුණු සිහිනයක්. කවදාවත් මගේ මුහුණ පෙන්වන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. මේ කාලය වන විට රවීන්ද්‍ර රන්දෙණිය සිනමාවට ගිහින් හිටියෙ. එතකොට මටත් සිනමාවේ රගපාන ආසාව තවත් වැඩිවුණා. දවසක් මම ධම්ම ජාගෙඩ සර් ළගට ගිහින් සර් මටත් බැරිද චිත්‍රපටයක රගපාන්න කියලා ඇහුවා. ඔයා ගිහිල්ලා බලන්න කැමති අධ්‍යක්ෂවරයෙක් තෝරා ගන්න කීවා. ඒ පාර මමම තමයි ලෙස්ටර් සර්ව හමුවන්න ගියේ. සර්ට වදයක් වෙන තරමටම මම හැමදාම සර් හමුවන්න ගියා. බැරිම තැන ලෙස්ටර් සර් මුලින්ම මාව ගත්තෙ වාර්තාමය චිත්‍රපටයකට. ඉන් පස්සෙ මඩොල්දූව  චිත්‍රපටයෙ චරිතයකට සර් මාව ගත්තා. මඩොල්දුව තමයි මම රගපෑ පළමු චිත්‍රපටය.  

මඩොල්දූවේ එදා රගපෑ චරිතය?

ජින්නා සහ උපාලි වගා කරන්න ගියාම  එයාලා ඇත්තටම ඒ වැඩේ කරනවද කියලා බලන්න රජයේ නිලධාරියෙක් යනවා. අන්න ඒ නිලධාරියාගේ චරිතය රගපෑවේ මම. ලෙස්ටර් සර් මාව ඒ විදියට හරි ගත්තෙ මගේ උනන්දුව  නිසයි. මට ඕනැ වෙලා තිබුණෙ ලොකු චරිතයක් රගපාන්න. ඒ නිසාම සුමිත්‍රා පීරිස් මැඩම්ටත් මම හරියට ඇවිටිලි කරමින් සිටියෙ. මොකද ඒ කාලයේදී තමයි එතුමිය ගැහැණු ළමයි ෆිල්ම් එක කරන්න සූදානම් වෙමින් හිටියෙ. නිමල්ගෙ චරිතය කරන්න මට ලොකු වුවමනාවක් තිබුණෙ. ඒ වෙනුවෙන් ෆොටෝස් පවා අරගෙන මම සුමිත්‍රා මැඩම්ට යැව්වා. ඒ විදහට ආ රංගන සිහිනයේදී ලෙස්ටර් සර්ගෙ අහසින් පොළවට චිත්‍රපටයේ චරිතයක් රගපෑමටත් අවස්ථාව ලැබුණා. ටෝනි සමග සහාය වෛද්‍යවරයකුගේ චරිතයක් එහි රගපෑවා. කොහොම වුනත් මගේ ලිවීමේ සහ අධ්‍යක්ෂණයේ හැකියාවන් ධම්ම සර්  සහ ලෙස්ටර් සර් නිරන්තරයෙන් මාව දිරිගැන්වීම නිසා ඉනික්බිතිව මගේ ගමන මුසු වුනේ රචනය සහ අධ්‍යක්ෂණය වෙනුවෙන්.   ඔයාලට වැඩිය රගපෑමට දක්ෂ අය හිටියට ඔයාලට වගේ ලිවීමටයි - අධ්‍යක්ෂණයටයි දක්ෂ අය නැහැ කියලා ධම්ම සර් දවසක් මට කිව්වා. 

ඉන් පසුව මොකද වුණේ?

ඉන් පසුව ආර්ථීක අපහසුතා එක්ක මම විදෙස්ගත වුණා. මම ගියේ ඔස්ට්‍රේලියාවට. එහිදීත් නළුකම ගැන තිබුණු උනන්දුව එක්ක විවිධ දේ කළා. එහිදී උපාධිය වෙනුවෙන් අධ්‍යාපනය ලැබුවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ. ඊට අමතරව වෛද්‍ය අංශයට කොහෙත්ම අදාල නැති අංශයක් වූ සිනමාකරණය ගැන පශ්චාත් උපාධියත් හැදෑරුවේ සිනමාව හා රංගනය ගැන තිබූ උනන්දුව නිසාමයි. සිනමාව ගැන නියම රහ වැටෙන්න පටන් ගත්තෙ ඒ උපාධිය කළ කාලයේදීයි. ඒ නිසා මගේ වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය රචනය නතර කළේ නැහැ, දිගටම කරගෙන ගියා. 

සැබෑ ජීවිතයේ වෛද්‍ය උපාධියත් ලබාගෙන එය පැත්තකට දාලා ආ සිනමා හා වේදිකා- ටෙලි නාට්‍ය ගැන ඔබ සමග බොහෝ දේ  අපට  කතා කළ හැකියි, ඒ ගැන තවත් දවසක අපි කතා කරමු. දැන් අපට කියන්න  ආසු ෆිල්ම් එකේ වෛද්‍යවරයා වු හැටි? 

සංජීව දවසක් මා හමුවී මේ ගැන කතා කළා. ඔහුට මගේ රංගන හැකියාව ගැන ඉවක් තියෙන්න ඇති. එයා මේ ෆිල්ම් එකේ කතාව කියද්දීම මට ඇතිවුනේ ලොකු කැමැත්තක්, මොකද ඒ කතාව හරිම සංවේදීයි. මානූෂිය ගුණාංග පෙන්වන කතාවක්. එහි වෛද්‍යවරයාට විශාල බලපෑමක් තියෙනවා. තමන්ගේ ජීවිතයද? දරුවාගේ ජීවිතයද? තෝරාගන්නෙ කියන බරපතල ප්‍රශ්නය අහන්න වෙන්නෙ  මේ වෛද්‍යවරයාට. චරිතය කෙටි වුනත් මම ඒ චරිතයට හරි කැමතියි.

වෙනත් අධ්‍යක්ෂවරයකු යටතේ රගපෑම ඔබට ගෙන දුන්නේ මොන වගේ අත්දැකීමක් ද? මොකද ඔබනෙ නිතරම රංග ශිල්පීන්- ශිල්පිනියන් තෝරන්නෙ?

එතැනදී මම නිර්මාණ අධ්‍යක්ෂවරයා හා රචකයා කියන තැනින් අයින් වෙන්න ඕනෑ.  මේ විදිහට රගපාන ඕනැම කෙනෙක් එය අවධාරණය කර ගැනීම හොද දෙයක්. එතැනදී ඒ අධ්‍යක්ෂවරයාගේ අවශ්‍යතාවය අවබෝධ කරගෙන කටයුතු කිරීම කළ යුතුයි. ඔවුන්ව අභිබවා යන්න බැහැ. සංජීවගෙ මෙහෙයවීමත් ඉතා විශිෂ්ටයි. එයා විය යුතු දේ ගැන සහ චරිතයෙන් ඉස්මතු වියයුතු මනෝභාවයන් ගැන ඉතා හොදින් පහදා දෙනවා.  ඒ නිසා චරිතයට ප්‍රවේශ වීම අපහසු වුනේ නැහැ. දින පහක් විතර රූගත කිරීම් වලට මම සහභාගී වුණා. කාලෙකට පස්සෙ මට ලැබුණු අපූරු අවස්ථාවක්. ලෙස්ටර් මහත්මයා මාව අධ්‍යක්ෂණය කළාට පස්සෙ සිනමාවේ ඊළගට මාව අධ්‍යක්ෂණය කළේ සංජීව පුෂ්පකුමාර.

සඳුන් ගමගේ