වැඩිපුර ගයන්නෙ ‘ෂිහාන්’ගෙ සිංදු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයට අලුතින් එකතු වුණු මුහුණු අතරින් ඉතා කෙටි කලකින්ම ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දිනාගන්නට සමත් වුණු චරිතයක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කර ගන්න හිතුවා. ඔහු නමින් ෂිහාන් මධූෂ. සඳැල්ල කවරයට ද පෙනී සිටිමින් ඔහුගේ කලා කටයුතු සම්බන්ධයෙන් කළ කතා බහක සටහනකි මේ.

ෂිහාන්ව මේ දිනවල දකින්න ලැබෙන්නේ?

මම රංගනයෙන් දායකවෙලා හිටපු නිර්මාණ කිහිපයක් පසුගිය සති කිහිපය තුළ විකාශය අවසන් වුණා. ඊට අමතරව ඉතින් මේ දිනවල මාව දකින්න ලැබෙන්නෙ සිරස නාළිකාවේ විකාශය වන සඳුන් රාජකරුණා අධ්‍යක්ෂවරයාගේ ‘‘නීල පබළු’’ සහ සියත නාළිකාවේ විකාශය වන ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂවරයාගේ විදු නිර්මාණයත්, ෆෝචූන් නිර්මාණයත් හරහා ඒ වගේම රූගත කිරීම් අවසන් කරපු නිර්මාණ 3ක් වගේ තියෙනවා විකාශයට නියමිත. ඒත් එක්කම මියුසික් වීඩියෝ දෙක තුනකට වගේ නිරූපණයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ දේවල්වලින් ඉදිරියේදී දකින්න ලැබෙයි. මේ සියලු දේට අමතරව මම ගීත ගායනා කරනවානේ. ඉතින් මේ දවස්වල නම් සංගීත ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙනවා. ඒවටත් පුළුවන් විදියට සම්බන්ධ වෙනවා. ඒවා තමයි සිද්ධ වෙන කලා කටයුතු.

ඒ කියන්නෙ ෂිහාන් රංගන ශිල්පියෙක්ට අමතරව මේ වෙද්දි ගායන ශිල්පියෙකුත් වෙලා?

ඔව්. ඇත්තටම මම ගීත ගායනයට පුංචි කාලෙ ඉදන් නැඹුරුවක් තිබුණා. ඒ නිසාම ගීත ගායනය එක්ක එදා සිට අද දක්වාම බැඳිලා ඉන්නවා කිව්වොත් හරි. විශේෂයෙන්ම මම ගීත ගායනා කරලා ඒ ගායනයන් Fb එකේ අප්ලෝඩ් කරනවා. ඒවාට ඉතින් බොහෝ දෙනෙක්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තම කිව්වොත් මම වැඩිපුරම ගායනා කරන්නෙ ෂිහාන් මිහිරංග අයියගේ ගීත. ඉතින් මගෙන් දැන් ගොඩක් දෙනෙක් ඉල්ලන්නෙත් ඔහුගෙ ගීත තමයි. ප්‍රසංග වේදිකාවට ගියත් ෂිහාන්ගේ ගීත කියන්න කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ.

ෂිහාන්ගේ ගීත වැඩිපුර ගයන්න හේතුව?

ඇත්තටම මගේ ප්‍රියතම ගායකයා තමයි ෂිහාන් මිහිරංග කියන්නෙ. ඔහුගෙන් ගායනයට අමතරව ජීවිතේටත් ලබාගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඇත්තටම එදා මෙදා තුර අද දක්වාම රියැලිටි වේදිකාවක් තුළ බිහිවුණු එකම තරුව තමයි ඔහු මම දකින විදියට. එවැනි තරුවක් නැවත බිහිවෙයි කියලා මම හිතන්නෙ නැහැ. කෙනෙක්ට තරුවක් වෙන්න පුළුවන්, නමුත් තරු ගුණය රැකගන්න පුළුවන් සීමිත සංඛ්‍යාවකට විතරයි. ඒ අතරින් ඉහළින්ම ඉන්නෙ ඔහු තමයි. ෂිහාන් අයියා මට සජීවීව කිහිප වතාවක් මුණගැහිලා තියෙනවා. ඇත්තටම හරිම සුහදශීලී චරිතයක් තමයි ඒ. ඔහු මට පෞද්ගලිකව අවසර දීලා තියෙනවා ඔහුගේ ගීත ඕනෑ තැනක ගායනා කරන්න, ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. Cover Songs කරන්න අවසර දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මට ගොඩක් සතුටුයි. රංගන ශිල්පියෙක් විදියට මට ෂිහාන් අයියා වගේ කෙනෙක්ගෙන් මේ විදියට උදව් ලැබීම ගැන නිහතමානී සතුටක් තියෙනවා.

ඉතින් ඔබේම ගීත නිර්මාණයන් කරන්න අදහසක් නැද්ද?

මේ වෙද්දි නිර්මාණ දෙකක් කරලා තියෙනවා. ඉදිරියේදී ඒවා එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා.

නිරූපණ අංශයටත් සම්බන්ධයි නේද?

වැඩි වශයෙන් සම්බන්ධයක් නැහැ. මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ රංගනය හරහානෙ. ඒ තුළින් අපිව දැන හඳුනාගත්තට පසුව නිරූපණය වෙනුවෙන් අවස්ථාවක් ලැබුණා. ඒ ලැබීමත් එක්ක තමයි සම්බන්ධ වුණේ. නැත්නම් මම ඒ පැත්තට වැඩි නැඹුරුවීමක් නැහැ. නමුත් දැන් වුණත් අවස්ථා ලැබෙන විදියට ඒ වෙනුවෙන් සම්බන්ධ වෙනවා.

රංගන ශිල්පියෙක් විදියට ලැබුණු ආදරය ගැනත් කියමු ?

මම ප්‍රේක්ෂකයො අතරට එන්නෙ නීල පබළු නිර්මාණයෙ රයන් චරිතය හරහා. ඒ චරිතය දුෂ්ට චරිතයක්. ඒ නිසා වැඩිපුර බැනුම් තමයි මුලින් අහන්න ලැබුණෙ. ඒ ප්‍රතිචාරවලට මම ඇත්තටම කැමතියි. මොකද මට ඒ ලැබිලා තිබුණෙ බනින්න ඕනෑ චරිතයක්නෙ. ඉතින් මම ඒ බැනුම් ඇහුවෙ චරිතයේ විලාශයටනෙ. මුල්ම රංගනයෙන් ඒ විදියට බැනුම් ඇහුවට ඒ චරිත රංගනය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසිලා විවිධාකාර චරිත රංගනයන්ට යන්න මට අවස්ථාව ලැබුණා. පසුව මට අහිංසක විදියෙ චරිත රංගනයන් කරන්නත් අවස්ථාව ලැබුණා. ඒ රංගනයන් තුළින් ප්‍රේක්ෂක ආදරය ටිකින් ටික ලැබිලා අද වෙද්දි ගොඩක් ආදරය ලැබෙනවා. ඇත්තටම හරිම සතුටුයි ඒ සියලු දේ ගැන.

මේ දිනවල ලැබෙන ආදරය ප්‍රතිචාර ගැනත් කියමු ?

මේ දිනවල ඉතින් විදු, ෆෝචූන් සහ නීල පබළු තුළින් තමයි ආදරය ප්‍රතිචාර ලැබෙන්නේ. විදූ නිර්මාණයේ චරිතය විවිධ හැඩයන්වලට ගමන් කරනවා. එයත් දුෂ්ට චරිතයක්. නමුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ෆෝචූන් තුළ ජීවිතේ විඳින ආදරණීය චරිත රංගනයක යෙදෙන්නෙ. ඒ තුළින් ඉතින් මමත් චූන්වෙලා ඉන්නවා ලැබෙන ආදරය සහ ප්‍රතිචාර එක්ක.

ෂිහාන් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නට පෙර හොඳ ක්‍රීඩකයෙක් වෙලා හිටියා නේද?

ඔව්. ඇත්තටම මම ක්‍රීඩාවට දක්ෂතා තියෙන කෙනෙක්. බොක්ෂින් ක්‍රීඩාව තමයි වැඩිපුර හැදෑරුවේ. ඊට අමතරව ක්‍රිකට් සහ ෆුට්බෝල්වලට දක්ෂතා තියෙනවා. ඇත්තටම මම ඒ දේවල් නවත්තලාම නැහැ. ඉඩක් ලැබුණු ගමන් ඒ වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙනවා. නමුත් ඉතින් දැන් මූලික තැන ලබාදීලා තියෙන්නෙ කලා කටයුතුවලට තමයි.

 

ධනු විජේරත්න / ඡායාරූප -  සජීව ලක්ෂාන්