විදේශීය චිත්‍රපට වෙනුවෙන් ලංකාවට Single Window Approval System

  • 15-07-2026

විදේශීය චිත්‍රපට හා ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදන සඳහා “Single Window” අනුමැති ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම උදෙසා අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව තුළ විදේශීය වෘතාන්ත චිත්‍රපට, වාර්තා චිත්‍රපට සහ අනෙකුත් ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදන සඳහා අවශ්‍ය අනුමැති කාර්යක්ෂමව, විනිවිදභාවයෙන් සහ කඩිනමින් ලබාදීමේ අරමුණින් Single Window Approval System ස්ථාපිත කිරීමේ ඉදිරි කටයුතු පිළිබඳ තමයි එහිදී විශේෂ අවධානයක් යොමු වුණේ.

 මෙම රැස්වීම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැවගේව් ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීරගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර, ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නියෝජිතයින් ඊට එක්වුණා.

මෙම වැඩසටහන යටතේ විදේශීය චිත්‍රපට හා ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලු අනුමැති එක් ඩිජිටල් වේදිකාවක් ඔස්සේ  ලබාගත හැකි පද්ධතියක් සංවර්ධනය කිරීමට නියමිතයි.

එමඟින් විවිධ ආයතන වෙත වෙන වෙනම යොමුවීමේ අවශ්‍යතාව අවම කරමින් අනුමැති ලබාදීමේ ක්‍රියාවලිය සරල, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් බවට පත් කෙරේ. 

 මෙම නව ක්‍රමවේදය ඔස්සේ

 අනුමැති ලබාදීමේ කාලය සැලකිය යුතු ලෙස කෙටි කිරීම,

රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම,

 විනිවිදභාවය ඉහළ නැංවීම,

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර චිත්‍රපට හා ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදන සඳහා වඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

රැස්වීමේදී යෝජිත ඩිජිටල් පද්ධතියේ ක්‍රියාකාරී සැලැස්ම, ආයතනික වගකීම්, ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව සහ සම්බන්ධීකරණ ක්‍රමවේදය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, සෑම පාර්ශ්වකාර ආයතනයක්ම Focal Point Officer කෙනෙකු නම් කර අවශ්‍ය තොරතුරු ජාතික චිත්‍රපට සංස්ථාව වෙත ලබාදීමට එකඟතාව පළ කළා.

 මෙම තොරතුරු පදනම් කර ගනිමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව Single Window ඩිජිටල් අනුමැති පද්ධතිය සංවර්ධනය කිරීමේ මූලික කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි.