සමහර වේදනාකාරි මතක අදටත් මාව අඬවනවා - දිනිඳු ෂේන් ජයවීර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජීවිතයේ සියල්ල අහම්බකාරක නොවේ යැයි සිතෙන තැන් නිබඳ හමුවේ. පැතුම් යා වෙන්නේ ජීවිත නිම්නයෙන් එහාට සංසාර සක්මනෙහි ආ ගිය තැන් හා යැයි සිතෙන තැන් ද එපමණකටම හමුවේ. ජීවන වෘක්ෂයේ සංසාර මුදුන් මුල කොතෙක් දුර විහිද ඇත්දැයි හඟින්නට මතකයක් නැතත් ජීවිතය කියන මහ පුස්තකයේ පරිච්ඡේද වෙනුවෙන් පෙරවදන් ලියද්දී මතක මඟ දිගේ හිත දුවන්නේ සංසාර වීදි පසු කරමින්දෝයි සිතෙන තැන් හමුවේ. 

රුසියාව කෙරේ දිනිඳුගේ ප්‍රේමය රුසියානු චිත්‍රපටයක් පසුබිම්ව ගෙතෙන කතාන්දරය සොයා යන්නට මට සිත් වූයේ එම රුසියානු චිත්‍රපටය රූගත කළේ ලංකාවේ සුන්දර ඉසව්වලදී වූ නිසාමය. ජීවිතයේ සතුට රුඳී ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය. එහෙයින් ජීවිතය වෙනුවෙන් සුවඳවත් මල් නෙලන්නට නම් ජීවිතය යන මහ කන්ද ආදරයෙන් සේම ඉවසීමෙන් ද තරණය කළ යුතුමය. දිනිඳු ආ මඟ පිපී තිබුණේ සුවඳ මල් පමණක්ම නොවූවත් ජීවිතය වෙනුවෙන් බලාපොරොත්තූන්හි පොහොට්ටු අපමණක් පිපී තිබුණි. රුසියානු සිනමා නිෂ්පාදනයක් වන To the moon and back සිනමා කෘතිය ඔස්සේ සිනමාමය මුද්‍රාව තම කලා ජීවිතය තුළ සනිටුහන් කළ දිනිඳු ෂේන් ජයවීර නළු භූමිකාවෙන් ඔබ්බට ගායකයෙකි. නර්තන ශිල්පියෙකි.

Q රුසියානු චිත්‍රපටයක් ලංකාවේ රූගත කරද්දී එහි රඟපෑ නළුවෙක් ලෙස ඔබේ අත්දැකීම් වචනයෙන් විඳින්න අපි කැමතියි?

ලංකාවේ ලස්සන මුහුද තමයි ඒ චිත්‍රපටය ලංකාවේ රූගත කරන්න මූලිකම හේතුව වුණේ. එයාලා හොයලා තියෙන්නෙ දූපත් වගේ පෙනෙන දර්ශන සහිත ලස්සන මුහුදක්. රුසියාවේ අපිට වගේ මෙහෙම ලස්සන මුහුදක් වෙරළක් එයාලට නැතිලු. රුසියාවේ දර්ශන කිහිපයක් රූගත කිරීම් කළත් ඒ චිත්‍රපටයේ වැඩිම දර්ශන සංඛ්‍යාවක් කරලා තියෙන්නෙ ලංකාවේ. ගාල්ල, මාතර, දික්වැල්ල, බණ්ඩාරවෙල, බදුල්ල, ඇල්ල වගේ ප්‍රදේශවල තමයි එම රූගත කිරීම් කළේ. මෙම කාර්යයේදී මරීනා කියන රුසියානු යුවතිය අප වෙත දැක්වූ සහයෝගයත් කෘතවේදීව සිහිපත් කළ යුතුමයි. මොකද ඇය තමයි රුසියානු සහ ඉංග්‍රීසි භාෂා පරිවර්තිකාව ලෙස කටයුතු කරමින් අප සම්බන්ධීකරණය කළේ. රුසියානුවන් හරිම ආචාරශීලී සහ ගෞරවයකින් යුක්තව අපට සැලකුවා. ඇත්තටම ඔවුන් කලාවට සහ සිනමාවට සලකන්නෙ ගැඹුරු ආදරයකින් සහ ගෞරවයකින්. රුසියානු චිත්‍රපටයේ රූගත කිරීම් නිමා කර යන දවසේ ඔවුන්ගේ ඇස්වල කඳුළු. ඒ තරම් බැඳීමක් අප හා ඔවුන් අතර ඇතිවී තිබුණා. සුබ රාත්‍රියක්, ආයුබෝවන්, සුබ උදෑසනක්, කොහොමද? හොඳයිද? වැනි සිංහල වචන ඔවුන් ඉගෙනගෙන තිබුණා. සිංහල කෑම බීමවලට එයාලා හුඟක් කැමති වුණා. ලංකාවේ කෑමවලින් එයාලා වැඩිපුරම කැමති වුණේ චිකන් කරිවලටයි පපඩම්වලටයි. රුසියානු කෑම සහ ශ්‍රී ලංකාවේ කෑම දෙකම එකට හදාලා හරි සතුටින් කාලා බීලා දවස් විසි නමයක් එයාලා ලංකාව වින්දා කිව්වොත් ඒක තමයි ඇත්ත. 

Q තුෂාර තෙන්නකෝන්ගේ නිකිණි කුසුම් ඔබ ටෙලි නළුවෙක් බවට පත් කළා. වින්දුල හා ඔබ ගන්න හුස්ම දැනෙන්නෙ කොහොමද? 

නිකිණි කුසුම තුළ වින්දුලගේ චරිතය එක්ක මම ගන්නෙ ආත්මීය හුස්මක්. රංගනය කියන්නෙ මගේ ජීවිතේ තවත් එක් ආදරණීය ඉසව්වක්. හැබැයි මේ රටේ ප්‍රේක්ෂකයන් මාව හඳුනා ගත්තෙ ගායකයෙක් විදිහට. මම හිතන්නෙ මම ගායකයෙක් වෙන්න ඉස්සර නර්තන ශිල්පියෙක්. නර්තනය ගායනය ළඟට රංගනය. ඇත්තටම කලාව කියන්නෙ ලංකාව වගේ රටක කර්මාන්තයක් විදිහට ගොඩනැගී නොතිබුණත් එය සුන්දර යොමුවක්. ඒත් කර්මාන්තයක් විදිහට එය ගොඩනැගුණා නම් මේ රටේ හුඟක් කලාකරුවන්ට ආර්ථිකමය වශයෙන් සහ අවස්ථාවමය වශයෙන් පීඩනයක් නැතුව කලාව ජීවිතයම කර ගන්න තිබුණා. සුන්දර විදිහට පවත්වාගෙන යනවා නම් කලාව කියන්නෙ හරි සුන්දර දෙයක්. 

Q ජීවිතය කියන්නෙ අවැසි සියල්ල අවැසි ලෙසින්ම හමුවෙන තැනක් නෙවෙයි. අහිමිවීම් මඟහැරීම් බිඳවැටීම් සේම හමුවීම් හිමිවීම් සියල්ලත් ඊට වලංගුයි. ඔබ මේ සියල්ල විඳි කෙනෙක් ලෙස මම ඔබව හඳුනා ගත්තොත් මගේ හඳුනා ගැනීම තවදුරටත් ඔබ වචනවලින් කතා කරන්න කැමතිද?

ඔව්. මම මේ හැම දෙයක්ම ජීවිතේ විඳලා තියෙනවා. ඉතාම දුෂ්කර කාල පරිච්ඡේද ජීවිතේ පහු කළා. ඇස්වලට කඳුළු එන තරම් මා රිදවපු මතක ඒ අතීතයේ තියෙනවා. මගේ අම්මා තාත්තා දෙන්නම මට එයාලා අවශ්‍යම මගේ තරුණ ජීවිතේදී මට අහිමි වුණා. ඒ දෙන්නම දැන් මේ ලෝකෙ නැහැ. ඒ දෙන්නා අතරේ තිබුණේ පුදුමාකාර බැඳීමක්. ප්‍රේමයක්. මගේ ජීවිතේදි ආදරය ඇති තරම් වත් කරපු ඒ දෙන්නගෙම ආදරය ඒ දෙන්නගෙ මරණයත් එක්ක මගේ ජීවිතෙන් ඈතට යද්දි මට ඉතුරු වුණේ මතක විතරයි. ඒ මතක කොච්චර වේදනාකාරීද කියනවා නම් අම්මා තාත්තා නැති ගෙදරක ඉන්නවත් හිතෙන හිතක් තිබුණෙ නෑ මට ආදරය තවත් හමුවූ තැන් තියෙනවා. එහෙත් ආදරය කියන්නෙ වෙනස්වීමත් එක්ක නිරන්තරයෙන් බැඳුණු දෙයක් කියන යථාර්ථය තේරුම් ගන්නම වෙනවා. 

Q සංගීතයත් එක්ක ඔබට තියෙන්නෙ ආත්මීය බැඳීමක්. සංගීතය කියන දේ ජීවිතේ මහන්සිය නිවාගන්න උදව්වක් වෙන තැන් ලෝකයේ බොහෝමයි. ඒ ආදරයේ අග මුලත් කතා කරමු?

මගේ ජීවිතේ ලොකු තැනක් සංගීතයට තියෙනවා. අවුරුදු එකොළහක විතර කාලයක ඉඳන් සංගීත කණ්ඩායම්වල ප්‍රධාන ගායකයා විදිහට මම සින්දු කියනවා. මගේම සින්දු කිහිපයක්ම මේ වෙද්දි කරලා තියෙනවා. මන්දාරම් හැන්දෑවේ ගීතයට හරිම ආදරණීය ප්‍රතිචාර ලැබුණා. මගේ ගීතවල පද රචනය, සංගීතය, ගායනය, නර්තනය හැමදේම මගේම වෙන තැන්වලදි ඒක මට හරිම විශේෂත්වයක් වගේම සතුටක්. 

Q ආදරය ඔබේ නිර්වචනය තුළ මට කියන්න?

මේ ලෝකය පටන්ගත්තෙ කවදාද? මම හිතන්නෙ එදා ඉඳන් මේ ලෝකෙට එන හැම කෙනෙක්ම ඉල්ලුව සහ බලාපොරොත්තු වෙච්ච දෙයක් තියෙනවා නම් ඒ තමයි ආදරය. ඒත් මම විශ්වාස කරනවා ආදරය ඉල්ලන්න හෝ ඉස්සර හැමෝටම වඩා තමන් තමන් ආදරය කරන්න ඕනෑ කියලා. අසීමාන්තික කොටු නොකරපු ආදරයක් දරුවෙක්ට ලැබෙනවා නම් මම හිතන්නෙ බොහෝ වෙලාවට අම්මගෙන් තාත්තගෙන් විතරයි. ඉන් පසුව ජීවිතේ හම්බවෙන ආදර කතාන්දරවල සීමා, නීති, තහංචි මේ හැමදේමත් ආදරයත් එක්කම සමපාතව හමුවෙන්න පුළුවන්. ඒ තමයි ස්වභාවය. හැබැයි ආදරයත් එක්ක ඒ හැඟීම් සම්මිශ්‍රණය වෙන්නෙ තමන්ගෙ කියලා හිතන හැඟීමත් එක්කමයි. ඒක සිරගත කිරීමක් විදිහට දකිනවට වැඩිය එතැන තියෙන්නෙ තමන් ආදරය කරන කෙනා සුරක්ෂිත කර ගැනීමේ ආදරණීයම හැඟීම කියලා තේරුම් ගන්න පුළුවන් නම් ආදරය නිසා රිදෙන තැන්, දරාගන්න බැරි තරම් රිදවන තැන් බොහෝ විට හමු නොවේවි.

සංජීවිකා