හිනාවෙන්න නම් අඬන්නත් ඕනෑ - ගයත්‍රි ඩයස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q ගයත්‍රි... මේ දිනවල කාර්යබහුල වෙන මේ වැඩමුළුව මොකක්ද?

මේ දිනවල මගේ සැලෝන් එකට අලුතින් එන ළමයින්ට වැඩමුළු කිහිපයක්ම කළා. තවත් කිහිපයක්ම කරන්න තියෙනවා. ඒ දේවල් එක්ක මේ දවස්වල ටිකක් වැඩ වැඩියි. ඒ වගේම ඉන්දියාවේ සිට පැමිණි දේශකයෙකුත් සම්මන්ත්‍රණ කිහිපයක් පැවැත්වුවා. අපෙන් ඉගෙන ගන්න දරුවන්ව දැනුවත් කරන්න ඉදිරියටත් අපි මේ දේවල් කරනවා. මේ දිනවල අපේ ඇකඩමි එකට දරුවන් බඳවා ගන්නවා. ඒ දේවල් එක්ක මේ දවස්වල ටිකක් වැඩ වැඩියි.

Q මේ දිනවල ඔබ නියැලිලා ඉන්න නිර්මාණ මොනවාද?

මේ දිනවල මහේෂ් රත්සර මද්දුමආරච්චි තිර රචනය කරන වසන්ත අමරසිංහ අධ්‍යක්ෂණය කරන 'කියා දෙන්න ආදරේ තරම්' ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම සමීර හසුන්ගේ අලුත් වැඩක් පෙබරවාරි එකොළොස්වැනිදා සිට පටන් ගන්නවා. තව වැඩ කිහිපයටකම කතා කළා. බලමු ඉස්සරහට ඒ දේවල් ගැනත්.

Q ගයත්‍රි වැඩියෙන්ම කැමති ඔබ තුළ ඉන්න රංගන ශිල්පිනියටද? රූපලාවණ්‍ය ශිල්පිනියටද?

ඇත්තම කිව්වොත් මම ඒ දෙකටම එක විදිහටම කැමතියි. ඒ ක්ෂේත්‍ර දෙකම ආදරයෙන් කළ යුතු කලාවන් දෙකක්. ඒ නිසා මම ඒ ක්ෂේත්‍ර දෙකම බොහොම ආසාවෙන් ආදරයෙන් කරන කලාවන් දෙකක්.

Q ඔබ ලාබාල තරුණ වියේදීම විවාහ වුණා. අද දියණියන් දෙදෙනකුගේ මවක්. අද ඒ දරුවන් දකිද්දි ඒ ගෙවුණු කාලය ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම ඒක ලොකු සතුටක්. අඩු වයසින් කසාද බැන්දම අඩු වයසින් ඒ දරුවන් ලොකු වෙනවා. ඒ නිසා ඒක ලොකු සතුටක්. බොහෝ දෙනකුට ඒ සතුට ලැබෙන්නෙ නැහැ. මේ කාලෙදිනම් බොහෝ දෙනෙක් අඩු වයසින් කසාද බඳින්නෙ නැහැ. නමුත් ඒ කාලෙ එහෙම නැහැ. මගේ දරුවන් ලොකුවෙලා මගේ ඉදිරියේ ඉඳිද්දි මටත් ඒ දෙන්නා වෙනුවෙන් යමක් කරන්න පුළුවන් ශක්තියක ඉඳිද්දි මට ඒක ලොකු සතුටක්.

Q අද වෙද්දි ඔබගෙන් හැඩවුණු මනාලියන් බොහොමයි. මුලින්ම තමන්ගෙ අතින් හැඩවුණු මනාලිය මතකද?

මගේ මතකයේ හැටියට මගේ අතින් මනාලියකට පෙර මුලින්ම විවාහය ලියාපදිංචි කරපු තරුණියක්ව හැඩ කළා. එදා ඇය හරි ලස්සනට හිටියා. ඇත්තටම ඕනෑම දෙයක් මුලින්ම පටන් ගනිද්දි බයක් දැනෙනවා. ඉතින් මට තනියම මනාලියක්ව හැඩ ගන්වන්න බයක් දැනුණා. ඒ නිසා මුලින්ම විවාහය ලියාපදිංචි කළ මනාලියක්ව හැඩගැන්වුවා. මම ගැන තිබුණු විශ්වාසය නිසාම ඇයගේ විවාහ උත්සවයත් මටම බාර දුන්නා. මට මගේ ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මට තාම මතකයි ඒ මනාලියගේ සාරිය පවා මම හැඩ කළා. ඇත්තම කිව්වොත් මම ඕනෑම වැඩකට හරි කැමැත්තෙන් අත ගහන කෙනෙක්.

Q පහුගිය කාලෙදි ලංකාවේ හිටියෙ නැහැ නේද?

ඔව්... මම අවුරුද්දකට පෙර අපේ නංගි ළඟට ගිහින් ආවා. එයා ඉන්නෙ කැනඩාවේ. අපේ අම්මා නැතිවුණාට පස්සෙ මම වගේම නංගිත් ගොඩක් දුකෙන් හිටියෙ. ඒ නිසා නංගි ළඟට ගියා.

Q ගයත්‍රි රට හැර යයිද?

නැහැ. දැනට එහෙම තීරණය කරලා නැහැ.

Q ගයත්‍රි ඩයස් කියන කාන්තාව ගැන අද මොකද හිතෙන්නෙ?

මම ශක්තිමත්ව ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. ජීවිතේ ඕනෑ තරම් අඬපු තැන් තිබුණා. ඕනෑම දේකදි ඒ වගේ තමයි. හිනාවෙන්න නම් අඬන්නත් ඕනෑ. ජීවිතේ ගොඩක් තැන්වලදි තනිවුණු වෙලාවල් තිබුණා. ඒ තනිවීම් තනිවීම්ම නෙවෙයි කියලා අද මට තේරෙනවා. ජීවිතේ අපිට නොගැලපෙන, වැඩක් නැති මිනිස්සු ජීවිතෙන් යනවා. ඕනෑම කෙනෙක් ළඟට එන්නෙ පිනකට කියලා වගේම නොගැලපෙන කෙනෙක් අපෙන් ඈත්වෙන්නෙත් අපේ පිනකට කියලයි මම විශ්වාස කරන්නෙ. ඒ නිසා අද මම බොහොම සතුටින් ජීවත් වෙනවා.

Q 2024 අවුරුද්දෙ බලාපොරොත්තු මොනවාද?

මේ මගේ දරුවන් එයාලගේ අධ්‍යාපන කටයුතු අවසන් කරමින් ඉන්න කාලයයි. ඉතින් ඒ දෙන්නගේ අනාගතය ගැන බලාපොරොත්තු තියෙනවා. ඒ අතර මගේ සැලෝන් එක සහ කැෆේ එක දියුණු කරන්නත් බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලෙදි විවිධ වැඩ කටයුතු නිසා ඒ දේවල් ගැන හොයලා බලන්න බැරි වුණා. ඒ නිසා මේ අවුරුද්දෙ ඒ ව්‍යාපාර කටයුතුවලට වැඩි කාලයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

I දිශානි ජයමාලි