ආලයේ ගාථා ආයෙමත් ගයන්නට මාලිනීයේ ....යළි ඔබ නොඑනු ඇත

  • 20-08-2026

වලාකුළකුදු නොමැති අහසේ 
මලානික වූ මගේ සිතුවිලි 
ගල් ගැසී ඇත 
පාළු වී ඇත 
අඳුර පමණක් රජ වෙලා.........

දම්පාට හැන්දෑවක වැහි ලිහිණියන් නාව අහසක් යටදී  සිය දහස් දස දහස් වාරයක් මේ  ගී පද මම අහන්න ඇති .විඳින්න ඇති.ළය  ලෙයටම දැනෙන ප්‍රේමණීයම ප්‍රේමයකින් හදවතේ ඉසියුම්ම ඉසව් මේ ගී සරාග සංධ්වනියෙන් හුදෙකලාවම මා සනසන්න ඇති......

මාලිනීයේ මා ලාලිනියේ....
නන්දා මාලිනියේ......

ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි.....

දැන් ඉතින් මම කොහොමද එහෙම කියන්නේ......

මම තාමත් හුස්මක් වැටෙන මිනිසුන් අතර .....
ඔබ නොකියාම මළවුන්ගේ සීතල ලෝකයේ .......

ආලයේ ගාථා සජ්ජායනා කරන්නට...
ආලයේ මන්ත්‍ර සිය වරක් ජප කරන්නට....
ආය ඔබ මෙහි නොඑන වග දනිමි.

එහෙත් දෙවියන් විසින් දුන් පඩුරක් ලෙසින් ඔබ ගයා ලූ ගී මංජරියක්ම ඉතින් අප සන්තකයේය.

ඉතින් සුරකිම් බැතින්......

සැඳෑ කළුවර කුර ගගා විත් හෙටත් හැන්දෑවක් සපැමිණෙනු ඇත.
ඒ හැන්දෑව ගෙවී අවසන රෑ රැහැයියන් හඬන රාත්‍රිය උදාවනු ඇත.

කෝ ඉතින් ඒ හුදෙකලා තත්ත්පරයේ සැඳෑ කළුවර කුර ගගා විත් ගයන්නට ඔබ අපේ ළඟ.......

ආවොතින් යා යුතුමයි.....
නොරිකො සං දෙවෙන්දොරෝ සංට කීවෙත් එහෙමමයි.....
නැතුව කොහොමද ආයෙමත් එන්නෙ....
එන්න නම් යන්නම ඕනේ.....

නියත දහමට අවසඟව නොයන්නට කාටද පුළුවන්....

මතකද අපි කීප වරක්ම හමුවුණා ....

එක දවසක් ඔයා ඔයාගෙ කතාව කීවා...

ඔයා හිටියෙ මුඩුක්කු බද පෙදෙසක..අම්මා පුංචි පුංචි ඇඳුම් මැහුවා...ඔයා පුංචි දැරිවියක් කාලෙ ඒ ඇඳුම් විකුණන්න ගෙයින් ගෙට ගියා...
දෝර ගලා යන දුප්පත්කම ජීවිතයේ හුඟාක් හැඟුම්බර ඉසව් අප්‍රකාශිතවම රිදෙව්වත් ජීවිතය නොහිතුව තත්ත්පර මහා අමුතු අහම්බකාරක අපිට තෑගි දෙනවා.....

ඇඳුම් කෑලි විකුණන්න ගෙයින් ගෙට ගිය පුංචි දුප්පත් කෙල්ල රටම දන්න ගායිකාවක් වෙනවා.....
මුළු ලෝකය පුරා ගී ගයන්න ඔබ යනවා.....

ඔබ දන්නවද මාලිනීයේ පසුගිය කාලයේ මහා දෝස්මුර ඔබ මේ රටේ විප්ලවයක් අවුළුවන්න ගිනි තිබ්බලු අතීතයේ ....

ඒ කතා ඔබට නෑසුනානම් ඒ ඇති .......නැත්නම් හිත රිදවගෙනම ඔබ ඇස් පියාගන්න තිබ්බා....

මාලිනීයේ ඔබට තිබුණේ ටිකක් ගොරෝසු විලාපී හඬක්...ආත්මයම මොකක්දෝ අප්‍රකාශිත භාව ප්‍රකාශනයන්හි තනිකරන මහා අමුතු හඬක්..ඒ හඬ මහ ගින්දරක්.....
ඔව් ඒත් ආත්මය අවුළුවන ගින්දරක් නෙවෙයි ...
ආත්මයම නිවාලන ගින්දරක්........

ඔබ ගැන මෙහෙම ලියැවිලා......

"1943 අගෝස්තු 23 වන දින අලුත්ගම, ලෙවන්දූවේදී උපත ලැබූ ඇය, නව යෞවන වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවා.

එහිදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මගපෙන්වීම මත ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" වැඩසටහනට එක්වෙමින් "බුදු සාදු" ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත ගමන ආරම්භ කරනු ලැබුවා.

පසුව 1961 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ "රන්මුතු දූව" චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකරයන් සමඟ "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇය, එතැන් පටන් දශක ගණනාවක් පුරා හෙළ ගීත කෙත පෝෂණය කළා.

ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරා විශාරද උපාධිය ලබාගත් ඇය, 'සත්‍යයේ ගීතය', 'පවන', 'හේමන්තයේදී', 'පෙම්බර ලංකා' වැනි අතිශය ජනප්‍රිය ඒකපුද්ගල ගීත ප්‍රසංග සහ ගීත ඇල්බම ගණනාවක් රටට දායාද කළ අතර, කුඩා දරුවන් වෙනුවෙන් "සින්දු හෝඩිය" ඇතුළු ළමා ගීත නිර්මාණය කිරීමටද ඇය පියවර ගත්තා.

ඇගේ විශිෂ්ට ගායන කෞශල්‍යය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළු ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා."

අනේ ඔබ දන්නවාද ඔබේ භව චාරිකාවේ  ආ ගිය මඟ තොට මතක සමුදා මහා අක්ෂර වේදයක් වෙසින් ලියැවෙන්න අරන්........

ඒ ඔබ ශේෂ කර ගිය මතක සුවඳ සුසුවඳ හදේ ගැඹුරුම ඉසව් රිදෙන්නම පාරන නිසා....

මගෙ ඇස් ආයෙත් කඳුළින් දිලිසුනා.....
මගේ ආදරණීයම මිතුරිය සොයුරිය හරිනි අග්‍රාශ්‍රී කව්‍යාංජනී  ඔයා ගැන මට මෙහෙම ලියලා එවලා..

 ක්ෂීරසාගරය film  එකේ මුහුරත් උත්සවයේදි ගත්තෙ මැනික
 හරිම හුරතල් වැඩ තිබුනේ
හරිම දගකාරයි වයසට ගියත්
අපේ මල්ලිව බදාගෙන ඉඹිනවා දැක්කාම

එහෙම කියලා එයා ඔයත් එක්ක ගත්ත පින්තූරයක් එවලා.....ඒ පින්තූරය හරි පින් පාටයි ඔය දෙන්නම ලස්සනට සුදු ඇඳලා..........

ජීවිතය බොහෝ දේ අවසානයේ ඉතුරු කරන්නෙ මතක විතරයි....ප්‍රේමණීයම මතක අපි සංසාරයේ වීදියෙන් විදියට අරන් යනවා ....ඒකයි සසර හුරු සුවඳ නැහැ පුඬු වලට නෙවෙයි ළය ලෙයටම දැනෙන්නේ.....

ඉතින් මේ සසර සක්මන සරා කවදා කොහේදි හරි ආය අපි මුණගැසේවි නොවැරදීම .....

එදාට පුළුවන් නම් එක වතාවක් ආලයේ ගාථා ගයන්න..
ඒ ඇති මට සැනහෙන්න.....
අපි හොයන ආදරය හොයපු ආදරය විදිහටම ජීවිතයේ දී හමුවෙන්නේ හරි කලාතුරකින් ....
භව නවාතැනෙන් නවාතැනට අපිට පාර කියන්නෙ මරණය....
මරණය දක්වාම අපි ඉල්ලන්නෙ ආදරය......

ඒ ආදරය ඉල්ලපු විදිහටම හම්බවුණාද ඔබට......
මම දන් නෑ.......

ඒ නිසා ආලයේ ගාථා ආයෙමත් ගයන්න.....
ආලයේ මන්ත්‍ර සිය වරක් සංසාර මග දිගේ ජප කරන්න......

නිවනට පෙර ආදරයේ නිවනින් නිවෙන්න.......
ඉතින් නිදුකින් යනෙනු මැන........