ඉන්දියානු ජන සංගීතයේ රස වෑහෙන - Lyceum Presents Swara Live In Concert Season -02

සෞන්දර්යයෙන් සහ කලාවෙන් විතැන් වූ හදවත්හි ආදරයත්, ළෙන්ගතුකමත්, පරාර්ථයත් , ඉසියුම්ම ඇසකින් ලොව නිරීක්ෂණය කරන රස වින්දනාත්මක රස භාවයන්හි චමත්කාරයත් රැඳෙතැයි කෙසේ නම් විශ්වාස කරන්නද ? සාරසිප් සොයා යන දාරක හදවත්හි අහු මුළු නෑර කලාවේ අක් මුල් විහිදුවාලිය හැකිනම් හෙට දවසේ ලෝකය සොඳුරු නවාතැන්පොළක් බවට පත් කරන්නට හැකි යාත්‍රිකයන් බිහි කළ හැකිය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවන්ට උගන්වන ජාත්‍යන්තර පාසලක් එවන් සුභ සිහිනයක් පෙරදැරිව සමාරම්භය සනිටුහන් කරමින් තබන ස්වර්ණවත් මුද්‍රාව ඉතින් මෙතෙකැයි කෙලෙස මිල කරම්ද ?
Swara -Season - 2
මේ මස හත්වැනි සෙනසුරාදා හවස 6.30ට බණ්ඩාරනායක ජාත්‍යන්තරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ වේදිකාව මත ස්වර සංධ්වනිය දිගහැරෙන්නට පෙරාතුව අප මේ සටහන තබන්නේම එබැවිනි.
ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයේ වගකිය යුතු කළමනාකාරිත්වය වෙනුවෙන් අප කතා කළේ ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු සමඟය.
ජාත්‍යන්තර පාසලකින් බලාපොරොත්තු විය නොහැකි කලාත්මක කර්තව්‍යයක් නොඑසේ නම් කලාත්මක මෙහෙවරක් ඔබ කාලයක සිට සිදු කරනවා. ඇයි ඔබට එහෙම කරන්න සිත් වුණේ ?
මව් භාෂාව සිංහල වුණත් අපට මේ දරුවන්ට උගන්වන්නට සිදුවෙලා තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මොන මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරුවත් ජානවල තියෙන අපේකම, අපේ උරුමය උගුල්වලා විසික් කරන්න බෑ සහ එසේ නොකළ යුතුයි කියන තැන තමයි මම හැමදාමත් ඉන්නේ. දේශීය නර්තනය දේශීය සංගීතය, දේශීය නාට්‍ය කලාව මේ හැම දෙයක් ගැනම දරුවන් තුළ ආදරයක් සහ කැක්කුමක් ඇති කළ යුතුයි කියන මතයේ මම හැමදාමත් හිටියා සහ ඉදිරියටත් ඉන්නවා. උගතුන් බිහි කරන්න ලේසියි. එහෙත් ප්‍රායෝගික බුද්ධියෙන් යුතු සංවේදී මානුෂික හදවත් ඇති ලෝකයට ආදරය කරන මිනිසුන් බිහි කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. ඒ දේ සිදු කරන්න නම් දරුවන්ට පොතේ අධ්‍යාපනය වගේම කලාවෙහි සාරයත් පෙවිය යුතුමයි. කුමන අභියෝගයක් ආවත් නොසැලී මේ කර්තව්‍ය මම දිගටම කරගෙන යන්නෙත් ඒ නිසාමයි.
ඇත්තටම අභියෝග තියෙනවද ?
මෙවැනි දෙයක් ආරම්භ කරද්දී එය කොයි තරම් දුරට දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් වෙයිද ?එය කළ හැකිද? එවැනි ප්‍රශ්න නැති වුණාම නෙමෙයි. නමුත් අධිමාත්‍රා ඇතුළු අපි ප්‍රසංග මේ විදිහට පවත්වද්දී දෙමව්පියන් දරුවන් වගේම ගුරුවරුනුත් පුදුමාකාර විදියට සහයෝගය දෙන්න පටන් ගත්තා.
දරුවන් ඇත්තටම ආසාවෙන්ද මේ ප්‍රසංගවලට සහභාගී වෙන්නේ ?
ඔව් දරුවන් තුළ දැන් දේශීය නර්තනය, දේශීය සංගීතය වගේ දේවල් ගැන පුදුමාකාර නැඹුරුවක් සහ ආදරයක් තියෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තත් ඔවුන්ගේ මව් භාෂාව මොකක්ද? ඔවුන් ජීවත් වන රටේ ඔවුන්ගේ උරුමය මොකක්ද? ඔවුන්ගේ පොළොව හා ඔවුන්ට තියෙන බැඳීම මොකක්ද ?මේ හැමදේම අපි නර්තනය සංගීතය තුළින් දරුවන්ට දැනෙන්නට ඉඩ හරිනවා. අපිටත් වඩා පුදුමාකාර උනන්දුවකින් දරුවො දැන් මේ හැමදේකම නියැලෙන්නේ
ලෝකයට අවශ්‍ය තාක්ෂණික දැනුමින් සන්නද්ධ දරුවන් විතරක් නෙවෙයි..... ගහකොළ ස්වභාවධර්මය අඳුරන දරුවන් .එවන් දරුවන් ලයිසියම් ජාත්‍යන්තර පාසල තුළින් බිහිකිරීමේ වගකීමද ඔබ මේ ඉටු කරන්නේ?
ඇත්තටම ඔව් .ඒක හරිම සංවේදී කාරණාවක් .උපතේ සිටම දරුවන් හුස්ම ගන්නෙ තාක්ෂණයත් එක්ක තරමටම තාක්ෂණය මිනිසුන්ගේ ජීවිතයට බද්ධ වෙලා තියෙනවා. තාක්ෂණය අත්‍යවශ්‍යයි. නමුත් ඒක තුළ පමණක් සමස්ත ජීවිතයම කේන්ද්‍ර කරන තැනට මිනිස්සු පත් වෙනවනම් මිනිස්සු කියන්නෙ යන්ත්‍රයක් විතරයි.යන්ත්‍රත් එක්ක කොහොමද සුන්දර විදිහට ගනුදෙනු කරන්නේ. ළෙන්ගතු විදිහට ,ලතෙත් විදිහට ගනුදෙනු කරන්නේ.යන්ත්‍රයකට මානුෂීය හැඟීම් අඳුරන්න බැහැ. රඟපෑම ගත්තොත් A.I තාක්ෂණයෙන් පුළුවන්ද මිනිස් මුහුණක ස්වභාවයෙන් උපදින හැඟීම් පෙන්වන්න . තාක්ෂණය කොයි තරම් යාවත්කාලීන වුණත් මම හිතන්නේ ස්වභාවික මනුෂ්‍යත්වය තුළින් උපදින හැඟීම් සහ කලාවන් යටපත් කරන්න ලෝකයේ කිසිම දේකට බැහැ.
ලයිසියම් දරුවන් කොපමණ සංඛ්‍යාවක් මේ ප්‍රසංගයේ සඳහා සහභාගි වෙනවද?
නුගේගොඩ, පානදුර වත්තල ,ගම්පහ, රත්නපුර නුවරඑළිය ,අනුරාධපුර ආදී හැම ජාත්‍යන්තර ලයිසියම් පාසලකම දූ දරුවන් හත්සීයකට වැඩි පිරිසක් මේ ප්‍රසංගයට සහභාගී වෙනවා
මෙවර ප්‍රසංගයේ සංගීතමය තේමාව කුමක්ද
ඉන්දියානු රාගධාරී ගීත තමයි මෙවර වැඩිපුර ඇහෙන්නේ.ස්වර කියන්නෙ විවිධ සංගීතමය ශානර සොයාගෙන යන ප්‍රසංග මාලාවක් විදිහට තමයි අපි නිර්මාණය කළේ. පළමු ප්‍රසංගයේදී අපි මූලිකත්වය දුන්නේ ලාංකික ජන සංගීතයට.එහෙත් දරුවන් තුළ විශ්වීය ශාස්ත්‍රීය සංගීත ශානරයන් පිළිබඳව අවබෝධය ඇති කිරීමත් ඉතාමත් වැදගත්. ඉන්දියානු රාගධාරී සංගීතය පිළිබඳව මෙවර අපි අවධානය යොමු කළේ ඒ නිසා.
දැයේ දරුවන්ට ලයිසියම් දරුවන් ඇසුරෙන් ඔබට කියන්න පණිවිඩයක් තියෙනවද?
හැම දරුවෙක්ම මොන මාධ්‍යයකින් අධ්‍යාපනය හැදෑරුවත් කලාව කෙරේ යොමු කරවන්න, කලාව තුළින් උපදින රසභාව දරුවන්ට විඳින්නට ඉඩ හරින්න කියන එක තමයි මම කියන්නේ.අධ්‍යාපනය තුළින් විතරක් විනයවත් සදාචාරමත් සහ ලෝකයට ආදරය කරන සහ ලෝකය රස විඳින්න පුළුවන් දරුවන් බිහි කරන්න බෑ කියන එක මම තරයේම විශ්වාස කරනවා.විශාරද දිළුම් නිරංජ ඇතුළු මේ ප්‍රසංගය වෙනුවෙන් මහන්සි වෙන හැම කෙනෙකුටම ,දෙමාපියන්ට ගුරුවරුන්ට ඇතුළු සහය දෙන හැම පාර්ශවයකටමත් මේ දරුවන්ටත් මම හදවතින්ම ස්තුතියි කියන්නත් මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා,












