මරණයට පුළුවන් ද ආදරය මරන්නට ආදරෙයි නානා පටේකාර්
මරණයට පුළුවන් ද ආදරය මරන්නට......
ඉතින් සංසාරය මහ දුරක් නිසා මේ සංසාර සරාගයේ කොහේ කොතැනකදී හෝ නිසැකයෙන්ම අප හමුවේවි නානා.......
නානා පතේකාර් කියන්නේ කවුද ? නැත්නම් විශ්වනාත් පතේකාර් කියන්නෙ කවුද ? නානා කියන්නේ එදා මෙදාතුර ඉන්දීය සිනමාවේ විශේෂයෙන් හින්දි සහ මරාඨි සිනමාවේ අතිශය රසිකාදරයක් දිනාගත් එපමණකටම ජනප්‍රිය මෙන්ම ප්‍රබල රංගනයකට හිමිකම් කියූ සම්මානනීය ප්‍රවීණ නළුවෙක්....ඒත් ඒ විතරමද .....නෑ....නානා කියන්නේ ඉසියුම්ම සිනමා විඥානයක් සහිත අධ්යක්ෂවරයෙක් සහ සමාජ ක්‍රියාකාරිකයෙක්. 1951 ජනවාරි 1 වනදා උපත ලැබූ නානා , ඔහුටම අනන්‍ය වූ සුවිශේෂී දෙබස් උච්චාරණ විලාසය සහ භාව පූර්ණ චරිත නිරූපණය නිසා වෙනමම හැඩයක් හදාගත් නළුවෙක් . නානා කියන්නේ පිරිමියෙක්ට තිබිය යුතුයැයි කියන කඩවසම් රුව තුළ පමණක් හුස්ම නොගත් ආත්මීය ආලයකින් රංගනය හා ප්‍රායෝගීකව බැඳුණු අසම සම රංග පෞරුෂයක උරුමක්කාරයෙක්.
නානා තම රංගන හුස්ම එක් කළ චිත්‍රපට අතර: Parinda (1989), Krantiveer (1994), Agni Sakshi (1996), Ab Tak Chhappan (2004), Welcome (2007), Raajneeti (2010), සහ Natsamrat (2016) වැනි සිනමා කාව්‍යයන් කිසිදා මතකයෙන් මැකී නොයාවි.
නානා තම සිනමාමය සුවිසැරිය තුළ ජාතික සිනමා සම්මාන (National Film Awards) 3ක් සහ ෆිල්ම්ෆෙයාර් (Filmfare) සම්මාන කිහිපයක් දිනා ඇති අතර ඉන්දීය සිනමාව වෙනුවෙන් කළ අනුපමේය මෙහෙවර වෙනුවෙන් ඔහු 2013 වසරේදී පද්ම ශ්‍රී (Padma Shri) සම්මානයෙන් ද පිදුම් ලදහ.
එහෙත් නානාගේ සමස්ත ජීවිතයම කේන්ද්‍රගත වී තිබුණේ සිනමාව තුළ පමණක් නොවේ.සිනමාවෙන් ඔබ්බට ගොවි ජනතාවගේ අයිතීන් වෙනුවෙන් නානා පෙනී සිටියේය.. එයිනුත් නොනැවතී "NAAM Foundation" පදනම පිහිටුවා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියඟයෙන් පීඩාවට පත් ගොවි ජනතාව සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් මා හැඟි මෙහෙවරක් ඉටු කළේය .
සැබැවින්ම නානා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විනෝදකාමී පරිත්‍යාගශීලී, සංවේදී ලස්සන මිනිසෙක් ලෙසින් සුවහසක් ඉන්දියානුවන්ගේ හදවත් හි ඉඩහසරක් වෙන්කරගත් මිනිසෙකි.
නානා ගැන ලියැවුණු එක් සංවේදී සටහනක් මට හමුවිය.
'ඉන්දියානු සිනමාවේ, අසමසම රංග කලා ක්ෂේත්රයේ තමන්ගේම වූ තියුණු හා අද්විතීය ලකුණක් තැබූ අසහාය රංගධරයෙකු මෙන්ම අසීමිත මනුෂ්‍යත්වයකින් පිරිපුන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු වූ නානා පටේකාර් (Nana Patekar) සිය ජීවිත ගමන නිමා කරමින් අප අතරින් සමුගෙන තිබෙනවා. වයස අවුරුදු 75ක් ආයු විඳි ඔහුගේ හදිසි වියෝව, සිනමා ලෝකයේ තවත් එක් සන්ධිස්ථානයක අවසානය සනිටුහන් කරන අතරම, හදවතින්ම ජනතාවට ආදරය කළ නිහතමානී හදවතක සදාකාලික නිහඬ වීමකි.
රිදී තිරය කම්පනය කළ අසමසම රංගනය
නානා පටේකාර් යනු සාමාන්‍ය සිනමා නළුවෙකුට එහා ගිය, තිරය මත තමන්ගේම රාජධානියක් ගොඩනැඟූ ප්‍රතිභාපූර්ණ ශිල්පියෙකි. ඔහුගේ ගැඹුරු, තියුණු හඬ, ප්‍රේක්ෂකයන්ගේ ආත්මයම විනිවිද යන නෙත් සඟල සහ හැඟීම්බර, උණුසුම් දෙබස් ශෛලිය ඉන්දියානු සිනමාවට එක් කළේ අපූර්ව ජීවයකි.

'පරිණ්ඩා' (Parinda) හරහා ඔහු පෑ රංගනයෙන් ජාතික චිත්‍රපට සම්මානයෙන් පිදුම් ලැබූ අතර, 'ක්‍රාන්තිවීර්' (Krantiveer) හි ඔහු ඉදිරිපත් කළ සමාජ විප්ලවීය චරිතය හා දෙබස් අදටත් රසිකයන් අතර ජනප්‍රියය.
මරාති සිනමාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වන 'නට්සම්රාට්' (Natsamrat) හි විශ්‍රාමික නාට්‍ය නළුවාගේ වේදනාත්මක ජීවිතය ඔහු නිරූපණය කළ ආකාරය, ප්‍රේක්ෂකයන්ගේ දෑසට කඳුළු උනන තරම් තාත්වික විය. ඔහුගේ රංගනය හුදෙක් රඟපෑමක් නොව, චරිතය තුළම ජීවත් වීමක් විය.
දැනට බොලිවුඩයේ හොඳම නළුවා, හොඳම සහාය නළුවා, හොඳම ප්‍රතිවීර නළුවා සම්මාන ත්‍රිත්වයම ලබාගත් එකම රංගන ශිල්පියා වන්නේද නානා පටේකාර් පමණි.
කෝටිපති ප්‍රසිද්ධ නළුවෙකු වුවද, නානා පතේකාර්ගේ පෞද්ගලික ජීවිතය අතිශයින්ම සරල විය. තරු පහේ සුඛෝපභෝගී මාළිගාවක් වෙනුවට ඉතා කුඩා නිවෙසක සරල මිනිසෙක් ලෙස ජීවත් වූ ඔහු, සිනමාවෙන් තමන් උපයා ගත් ධනයෙන් වැඩි කොටසක් වෙන් කළේ අසරණ වූවන්ගේ කඳුළු පිස දැමීමටයි.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දරුණු නියඟයෙන් පීඩා විඳි, දිවි නසාගැනීමේ තර්ජනයට ලක්වූ ගොවීන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ඔහු පිහිටුවූ 'නාම් ෆවුන්ඩේෂන්' (Naam Foundation) හරහා කළ සමාජ මෙහෙවර අසමසම එකකි. ගොවීන්ට ජල පහසුකම් සැලසීම, මූල්‍ය ආධාර දීම සහ ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ඔහු කළ කැපවීම, රිදී තිරයේ චරිතවලටත් වඩා ඔහුගේ මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨත්වය ලොවට කියා පෑවේය.
ජීවිතයේ යථාර්ථය සහ අවසන් මතකය
ඔහුගේ සමුගැනීමට දින කිහිපයකට පෙර පැවැති උත්සවයකදී ඔහු ජීවිතය සහ මරණය ගැන දැක්වූ අදහස් අද මුළු මහත් ප්රේක්ෂකයන්ගේම හදවත් සපථ කරයි. "අපිට කවදා හෝ යන්න සිදුවෙනවා. මම හෙට ඉඳියිද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඊට කලින් මම අහන්න ඕනේ, මගෙන් ඉටුවිය යුතු යුතුකම මම කළාද කියලා..." යනුවෙන් ඔහු පැවසූ වචන, අද ඔහුගේ නික්ම යාමත් සමඟ මහත් සංවේදී ලෙස මතකයට නැඟේ.
නානා පටේකාර් යනු සිනමා ඉතිහාසය තුළ තවත් එක් නළුවෙකු පමණක් නොවේ. ඔහු තමන්ගේ ආත්මයම කලාකාමීත්වයටත්, මනුෂ්‍යත්වයටත් පූජා කළ ශ්‍රේෂ්ඨ මානවප්රේමියෙකි.
ඔහුගේ හඬ තවදුරටත් රිදී තිරය මත අලුතින් රැව්දෙන්නේ නැති වුවද, ඔහු තබා ගිය ගැඹුරු පා සටහන්, අමරණීය සිනමා මතකයන් සහ මිනිස්කමේ නාමයෙන් කළ මහා මෙහෙවර සදාකාලිකවම අප හදවත් තුළ නොමැකී රැඳෙනු ඇත.'
ආදරණීය නානා ආදරය දැනෙන තැනකදී ජාති ,ආගම්,කුල ,පන්ති හේද කිසිවක්ම අදාළ නැත.
නානා ආදරය යනු ආදරයම මිස අන් කවරක්ද ?
නානා මට කියන්න මරණයට පුළුවන් ද ආදරය මරන්නට......
ඉතින් ආදරෙයි හැමදාම නානා පටේකාර්......
ඔබට සුබ සංසාර ගමන්…


