ඉතින් ආයුබෝවන් සුහදයාණෙනි.......

  • 30-10-2026

මේ තත්ත්පරයේ මේ ගන්න හුස්ම ඊළඟ තත්ත්පරයේ අයිතියක්දැයි මම  මේ තත්ත්පරයේ නොදනිමි.ජීවිතයේ රඟ එහෙමය.ජීවිතය අස අවසඟව යා නොහැකි යථා දහමේ සොබා ස්වරූපය එහෙමය.

ඉතින් අපි යනු පිණිස එන්නෙමු.
එනු පිණිස යන්නෙමු.
ලොව ඇත්තේම යාම් ඊම් පමණි.ආවොතින් යා යුතුය .නොගොසින් යළි එන්නට බැරිය.
ආදරණීය සිරි......නොරිකෝ සං දෙවෙන්දරෝ සංට කීවේ එහෙමය.
හිතවතාණෙනි ......ඉතින්    ඔබත් යන්නම 
ගොසින්‍ ය.සාංසාරික භව සරා යළි යළිදු සංසාර වීදියෙන් විදියට ඇවිද යනු පිණිස ඔබ නික්ම ගොසින්‍ ය.
එදවසක මා මාධ්‍යකරණයේ නියැළුනේ ඉරිදා ලංකාදීප පුවත් පතේය.එක් දිනක් ඔබ අමෙරිකාවේ සිට ලංකාවට පැමිණි දවසක ඉරිදා ලංකාදීප කාර්යාලයට පැමිණියේය .ඔබ හා මා  පළමුවරට මුණගැසුණු දවස එදාය.තත්ත්පර තුන හතරක් අපි කතා කරන්නට ඇත.මට පියෙකුයැයි කිව හැකි වයසක සිටි ඔබ එදා ඒ මොහොතේ නිර්ලෝභීවම ඔබේ ආශිර්වාදය මට තිළිණ කරමින් ඔබ සතුව තිබූ වටිනා වොයිස් රෙකෝඩරයක් මට තිළිණ කළේ පුංචි කාඩ්පතක මා අගයමින් ඔබේ අත් අකුරින්  ලියූ කාඩ්පතක් ද එයට අමුණමිනි.......

සිරි හීන්පැල්ල හිතවතාණෙනි .....

ඒ සොඳුරු ත්‍යාගය වසර ගණනාවක් ඇවෑමෙන් අද ද මා සන්තකයේ සුරැකිව ඇත.  මනුෂ්‍යත්වය සහ ආදරය සම්මිශ්‍රණය කර පිරිනමන ත්‍යාගයක ඇත්තේ කිසිදා මිල කළ නොහැකි අමුතුම වටිනාකමකි.

ආදරණීය හිතවතාණෙනි ...

.ඉතින් දුරාතීතයේ දවසක ඔබ හමුවූ පළමු මතකයේ සුවඳ ශේෂයක් ලෙස ඒ අපූරු ත්‍යාගය මගේ හුස්ම තෙක් මා ළඟ සදාකල් සුරැකිව රැඳෙනු ඇත.
ඉන් බොහෝ කලයකට පසු එක් දිනයක මා ඔබට මැසෙන්ජර් පණිවිඩයක් යවමින් ඉල්ලීමක් කළෙමි.ඒ අමෙරිකානු සංචාරයක් සඳහා පැමිණෙන මගේ මිත්‍රයෙකුට අමෙරිකාවේ සංචාරය සඳහා මඟපෙන්වීමක් කරන ලෙසය.

"පුතා ඔයා කවදාවත් මගෙන් උදව්වක් ඉල්ලලා නෑනේ...මම ඔයාගෙ යාළුවා බලාගන්නම්....එයාට කියන්න මට කතා කරන්න කියලා......"

අවසානයේ ඔබ ඔහු වෙනුවෙන් කළේ මටත් මගේ මිතුරාටත් සිතා ගත නොහැකි තරමේ ආගන්තුක සත්කාරයකි.ගුවන් තොටුපොළට පැමිණ මගේ මිත්‍රයා පිළිගැනීමේ සිට ඔබගේ මෝටර් රථයෙන්ම සැතපුම් සිය ගණන් දුර දින ගණනාවක් තිස්සේ ඔබ ඔහුගේ තවත් මුස්ලිම් ජාතික මිත්‍රයෙකුද සමඟ එක්වී කැටුව ගියේය .ඔබගේ තවත් සුන්දර මිත්‍රයන්ට මගේ මිත්‍රයා හඳුන්වා දී තිබුණි.ඔබ ප්‍රිය කළ සිංහල කෑම වර්ග මගේ මිත්‍රයා රැගෙන ගොස් ඔබට පිරිනමද්දී ඔබ තුටු සිතින් ඒ සියල්ල අගයමින් පිළිගෙන ඒ සෑම තොරතුරක්ම සුහද මිත්‍රශීලීත්වයකින් මා වෙත ගෙනහැර පෑයේය.සියල්ල අවසානයේ මගේ මිත්‍රයා දැඩි සේ ප්‍රතික්ෂේප කරද්දී නැවතී සිටි හෝටලයේ බිල්පත ඔබේ මුදලින් ගෙවන්නට තරම් ඔබේ මිත්‍රත්වය කාරුණික වී තිබුණි.....

මොනවද ඔයාට අමෙරිකාවෙන් යාළුවා අතේ එවන්න ඕනෑ....ඔබ එදවස නිතර මගෙන් ඇසුවේය.....
මම ඔබගෙන් කිසිවක් නොඉල්ලුවෙමි....
මගේ යාළුවා වෙනුවෙන් ඔයා හිතාගන්න බැරි තරම් උදව් කරලා....මට මොකුත් එපා....මේ කරපු උදව් හොඳටම ඇති.......

මම ඔබට කියුවේ එහෙමය.....
ඒත් ඔබ එය නොඇසුවේය.....
ඔබ පරිත්‍යාගයෙන් සහ මිත්‍රත්වයෙන් සැනසුණු අපමණ මිනිසෙකි.....

මේ මෑත දවසක ඔබ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මගේ මිත්‍රයාට පණිවිඩයක් එවමින් කියා සිටියේ ඉක්මනින් ලංකාවට එනවා.අපි ආවම හම්බවෙමු.මට  කතරගම යන්නත් ඕනෑ.....මම අසනීප වග ඉස්පිරිතාලෙ ප්‍රතිකාර ගන්න වග අරයටත් කියන්න......

ඒ "අරයා "මමය.ඒ පණිවිඩය මගේ මිත්‍රයා මට කීවේ ඉකුත් 24 වැනි සෙනසුරාදා ය..

තවත් ටික දිනකින් ඔබ සුව වූ පසු ඔබේ සුව දුක් විමසන්නට බලා සිටියේ ඇමතුමකින් හෝ ඔබට වෙහෙසක් නොදෙන්නට මා සිතූ නිසාය....
එහෙත් හලෝ සිරි අංකල්‍ යැයි ඔබට අමතන්නට දිනක් නොතබාම නොකියාම උපන් බිමේ සුවඳ  නැවත වතාවක් විඳිණු පිණිස වූ බලාපොරොත්තුවද ළය සඟවාගෙන අනේ හිතවතාණෙනි ඔබ නික්ම ගොස්‍ ය...

මමත් මගේ මිත්‍රයාත් ඔබ ලංකාවට පැමිණෙන තෙක් සිටියේ ඔබට අපේ කෘතවේදීත්වය සහ ගෞරවය  ඔබට දනවන්නටය.
ඔබ මගේ මිත්‍රයා වෙනුවෙන් කළ උපකාර සහ ඔහු වෙත පිරිනැමූ  ත්‍යාගවන්ත මනුස්සකම වෙනුවෙන් අපේ යුතුකම් ඉටුකිරීමටය......

නිව්යෝර්ක් සිට සිරි හීන්පැල්ල ලියයි....

ආය කිසිදා එසේ ලියන්නට සිරි හීන්පැල්ල දැන් අමෙරිකාවේ 
නිව්යෝර්ක් නුවර නැත.දශක ගණනාවක් තිස්සේ ඔබ ගෝලීය තොරතුරු ඔස්සේ සැබෑ ජනමාධ්‍යවේදියෙකු ලෙස ඉරිදා ලංකාදීපය ඔස්සේ සුවහසක් පාඨක ජනතාව වෙත තිළිණ කළ දැනුම් සම්භාරය වෙනුවෙන් සම්භාවනාමය පූර්ණ ගෞරවයකින් ඉතින් මම ඔබට විජය පුවත්පත් සමාගම වෙනුවෙන් සහ ඉරිදා ලංකාදීපය වෙනුවෙන් ස්තූතියැයි කියමි......

ජන්ම ලාභය ලද භූමියෙන් සැතපුම් සියදහස් ගණනක් දුරක ඔබ ජීවත් වුවත් ඔබ සිංහල සහ මාතෘභූමිය වෙනුවෙන් ඔබේ ස්නේහය හැමදාමත් ළය ලෙය දරා උන් අභිමානවත් ශ්‍රි ලාංකිකයෙකි.....

හිතවතාණෙනි ....

එහෙත් නියත දහමට අවසඟව යා හැක්කේ අපි කාටද.....
භව සරා තවත් කල්ප කාලාන්තරයක් ඔබත් මමත් මේ සසර දනව්වේ ඇවිදිනු නියතය.

මේ සසර මඟ අතරමඟ ඉඳහිට හෝ යළි යළිඳු හමුවෙනුද නියතය.
මතක සුවඳද දැනී දැනී දැනී දැනෙනු ඇත...
ඒත් යළි කිසිදා මේ සසර මඟ සිරි හීන්පැල්ල මුණනොගැසෙනු ඇත....

මරණය මාරාන්තික වේදනාවක් වන්නේ ඒ නිසාමය.......

හිතවතාණෙනි......... ඉතින් තව මොනවා ලියුවත් මා මතකවේදයේ අකුරු සුවඳ පණ ගැහෙන හදවතකින් විඳින ඉසව්වක  ඉතින් ඔබ නැත......

නිදුකින් සතුටින් සසර මඟ සරනු මැන.....
ඉතින් ආයුබෝවන් සුහදයාණෙනි......
සුබ රාත්‍රියක්.....