කෝටිපති ව්යාපාරිකයෙකුගේ නිවසේදී සිදු වූ චූලා පත්මේන්ද්රගේ අභිරහස් මරණය ගැන අමුතු සැකයක්

ප්රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්රගේ අභිරහස් මරණය පිටුපස සිලින්ඩරයෙන් ඡන්දෙ ඉල්ලපු ප්රකෝටිපති ව්යාපාරිකයෙක් ඉන්නවාද කියන සැකය දැන් මතුවී තියෙනවා.ව්යාපාරිකයාට අයත් පිලියන්දල සුඛෝපභෝගී නිවසේ ඇඳ මත මුවින් ලේ දමා ඇය මිය ගිහින් හිටියෙ. මියයන්න ඉස්සර දවසෙ රෑ එයා කාලයක් තිස්සෙ සැලසුම් කරපු Show එකක් ඉවරකරලා පාන්දර තමා එයා ව්යාපාරිකයගෙ ගෙදරට ගිහින් තියෙන්නේ . ඒ සම්බන්ධ ය ගැන අගේ ගෙදර ඇය දැනන් සිටි අතර ඔහු හා ඇය නීතියෙන් වෙන් නොවූ විවාහකයන් බව තමයි කියන්නෙ.
පිළියන්දල, මඩපාත, ගංගාරාම පාරේ පිහිටි 'CI Gardens' නම් සුඛෝපභෝගී නිවසක ඇඳක් මත මුනින් අතට නිදා සිටි චූලා අදාළ ව්යාපාරික පෙම්වතා කිහිප වතාවක් ඇහැරවන්නට උත්සාහ කර ඇතත් ඇය නිසොල්මනේ ව සිටි නිසා පරීක්ෂා කර බැලීමේදී තමා
මුවින් ලේ වැගිරී ඇති ආකාරය දැක තියෙන්නේ.ඔහු වහාම සුවසැරිය ගිලන් රථ සේවාව කැඳවා ඇති අතර අනතුරුව සුවසැරිය ගිලන් රථ සේවකයන් පැමිණ පරීක්ෂා කර ඇය මියගොස් ඇති බව තහවුරු කර තියෙන්නේ.
වයස අවුරුදු 46ක් තරම් තුරුණු වියේදී ජීවිතයෙන් සමුගත් මේ චූලා.පද්මේන්ද්රන් කියන්නෙ කවුද ?
මේ ඇය කී ඇගේ කතාවයි...
මං මොඩල් කෙනෙක් වෙනවා කිව්වම හැමෝම හිනා වුණා
-මගේ ජීවිතය වෙනස් කළ ඒ උපහාසත්මක සිනහවන්-
පාසල් යන කාලයේ මම නිරූපණ ශිල්පිනියක් වෙන්න ඕනෑ කියලා කිව්වම හැමෝම වගේ මට හිනා වුණා.
ඒ කාලයේ මම ක්රීඩා කරපු නිසා මගේ සම අව්වට පිළිස්සිලා තිබුණේ. කොණ්ඩයත් කොටට කපලා. මගේ තාත්තාත් විහිළුවට කිව්වේ අපේ ගෙදර ඉන්නේ කොල්ලෝ දෙන්නෙක්, කෙල්ලෙක් නැහැ කියලා. මොකද මමත් ඒ තරමටම කොල්ලෙක් වගේ හැසිරුණු කෙනෙක්.
මොඩල් කෙනෙක් වෙන්න නම් දිග කොණ්ඩයක් තියෙන්න ඕනෑ. සුදු වෙන්න ඕනෑ. ලස්සන වෙන්න ඕනෑ. ඇඟ පිරිපුන් වෙන්න ඕනෑ. ඔයා කොහොමද මොඩල් කෙනෙක් වෙන්නේ?
මට ඇහුණේ ඒ වගේ කතා.
හැබැයි ඒ සිනහව මාව නතර කළේ නැහැ. ඇත්තටම ඒක මගේ හිතට අභියෝගයක් වුණා. කොහොම හරි මම මේක කරනවා කියන මුරණ්ඩුකම මගේ ඇතුළේ ඇතිවුණේ ඒ වෙලාවේ.
අද ආපසු හැරිලා බලද්දී මට හිතෙන්නේ, මගේ ජීවිතයේ හොඳම ගමනක් පටන් ගත්තේ ඒ සිනහවෙන් කියලයි.
- ක්රීඩාවෙන් පටන්ගත් මගේ ගමන
මම පාසල් ගියේ කොළඹ බෞද්ධ කාන්තා විද්යාලයට. මම මුලින්ම නිරූපණ ශිල්පිනියක් නෙවෙයි, ක්රීඩිකාවක්.
අවුරුදු දහයක් විතර මම ජිම්නාස්ටික් කළා. දිස්ත්රික් මට්ටමේ ක්රීඩා තරගවලටත් සහභාගි වුණා. මගේ තාත්තාගේ ලොකුම සිහිනය වුණේ මාව දකුණු ආසියානු ක්රීඩා උළෙල දක්වා රැගෙන යන එක.
මම ක්රීඩා කරන හැම වෙලාවකම තාත්තා මගේ පිටිපස්සේ හිටියා. මම තරගයකට ගියාම ඔහු වැඩවලින් නිවාඩු දාලා, ලොකු බෝතලයකට මයිලෝ එකකුත් හදාගෙන ඇවිත් බලාගෙන ඉන්නවා. මම හයි ජම්ප් කරනකම් හෝ දුවනකම් ඔහු අව්වේ ඉඳගෙන බලාගෙන හිටපු දර්ශනය අදටත් මගේ මතකයේ තියෙනවා.
නමුත් වයස අවුරුදු 12ක් හෝ 13ක් වගේ වෙද්දී මට විලාසිතා ගැන ලොකු ආසාවක් ඇතිවුණා. එතැනින් තමයි මට නිරූපණය පිළිබඳ උනන්දුව පටන් ගත්තේ.
මගේ තාත්තා විලාසිතා ඡායාරූප ශිල්පියෙක්. ඔහු චිත්රපටවල නිශ්චල ඡායාරූප ශිල්පියෙකු ලෙසත් කටයුතු කළා. අපේ ගෙදර ඡායාරූප සංවර්ධනය කරන අඳුරු කාමරයක් පවා තිබුණා. ඒ නිසා ඡායාරූපකරණය සහ විලාසිතා කියන දේවල් අපේ ගෙදරට අලුත් දේවල් නෙවෙයි.
මටත් නොදැනීම ඒ පරිසරය මගේ හිතට බලපෑවා කියලා අද මට හිතෙනවා.
- අවුරුදු 16දී නිරූපණ ක්ෂේත්රයට -
මම අවුරුදු 16දී නිරූපණ ක්ෂේත්රයට ආවා. මගේ පළමු අවස්ථාව මනාලියන්ගේ විලාසිතා දැක්මක්.
මම ඒකට සහභාගි වුණේ පාසලට කියන්නේ නැතුව. මගේ හොඳම යාළුවෙකුත් මාත් එක්ක ගියා. හැබැයි එයාව විලාසිතා දැක්මට තෝරාගත්තේ නැහැ. පසුව එයා ගිහින් පාසලට පැමිණිලි කළා. එහෙම තමයි මගේ පළමු නිරූපණ අත්දැකීම පාසලටත් ආරංචි වුණේ.
මගේ ගමන පටන්ගත්තේ එහෙමයි. බාධක, විරෝධතා සහ පොඩි පොඩි ප්රශ්න මැද.
නමුත් මම ක්ෂේත්රයට පැමිණි කාලය ගැන අදටත් සතුටු වෙනවා. ඒ කාලයේ අපිට ජාත්යන්තර ප්රමිතීන් අනුව වැඩ කළ නිර්මාණකරුවන්, ඡායාරූප ශිල්පීන් සහ පුහුණුකරුවන් එක්ක වැඩ කරන්න ලැබුණා. ඔවුන් තුළ විශාල විනයක් තිබුණා. නිර්මාණශීලීත්වයක් තිබුණා. ඒ නිසා අපි බොහෝ දේ ඉගෙනගත්තේ වැඩ කරමින් සහ අත්දැකීමෙන්.
නිරූපණය කියන්නේ ලස්සනට ඇඳගෙන කැමරාවක් ඉදිරියේ සිටීම පමණක් නෙවෙයි. ඒක කලාවක්. ඒකට පුහුණුවක්, තාක්ෂණයක්, දැනුමක් සහ විනයක් අවශ්යයි.
ලස්සන පෙනුමක් තිබූ පමණින් කෙනෙකුට සාර්ථක නිරූපණ ශිල්පියෙකු වෙන්න බැහැ. තමන්ගේ ශරීරය පාලනය කරන ආකාරය, ඇඳුමක් ඉදිරිපත් කරන ආකාරය, කැමරාව ඉදිරියේ හැඟීමක් නිර්මාණය කරන ආකාරය සහ වෘත්තීය පරිසරයක හැසිරෙන ආකාරය ඉගෙනගන්න ඕනෑ.
- අසාර්ථක වෙන්න සූදානමින් එන්න -
මේ ක්ෂේත්රයට එන්න බලාපොරොත්තු වන අයට මම හැමදාම කියන දෙයක් තියෙනවා.
“අසාර්ථක වෙන්න සූදානමින් එන්න.”
අපි ඔඩිෂන් සියයකට ගියත් තෝරා නොගන්න පුළුවන්. හැබැයි 101 වැනි ඔඩිෂන් එකේදී අපව තෝරාගන්න පුළුවන්. ඒ නිසා එක පරාජයකින් හෝ ප්රතික්ෂේප කිරීමකින් තමන්ගේ ගමන නවත්වන්න එපා.
හැම දෙයකටම නියමිත කාලයක් තියෙනවා. තමන්ගේ කාලය එනතුරු වැඩ කරන්න ඕනෑ.
මම සාර්ථකත්වය කියලා දකින්නේ පිටතින් ලැබෙන ජනප්රියත්වය පමණක් නෙවෙයි. සමහර වෙලාවට මම ඡායාරූපගත කිරීමක් අවසන් කරලා මටම කියනවා, “මට මීට වඩා හොඳට කරන්න තිබුණා” කියලා. එහෙම වුණාම මම නැවතත් ඒ වැඩේ කරන අවස්ථාත් තිබෙනවා.
මට වැදගත් වෙන්නේ අනිත් අය මාව සාර්ථකයි කියන එකට වඩා, මම කළ වැඩේ ගැන මට තෘප්තිමත් වෙන්න පුළුවන්ද කියන එක.
නිරූපණය කියන්නේ මගේ ජීවිතයේ එක කොටසක් විතරයි. නිරූපණ ශිල්පිනියක් වීමෙන් මගේ සම්පූර්ණ ජීවිතය විස්තර වෙන්නේ නැහැ. වෘත්තීය ජීවිතය ජයගත් නමුත් පෞද්ගලික ජීවිතය තුළ අසරණ වූ මිනිසුන් අපි දකිනවා. ඒ නිසා මුලින්ම ඉගෙනගන්න ඕනෑ ජීවිතය ජයගන්නා ආකාරයයි. අනෙක් ජයග්රහණ ඊට පසුව පැමිණෙනවා.
- වයස අවුරුදු 19දී ගුවන් සේවිකාවක් -
වයස අවුරුදු 19දී මම ශ්රීලංකන් ගුවන් සේවයට සම්බන්ධ වුණා. ගුවන් සේවිකාවක් ලෙස වසර තුනකට ආසන්න කාලයක් සේවය කළා.
මම හැදී වැඩුණේ මධ්යම පාන්තික පවුලක. මගේ යාළුවන් විදේශ නිවාඩුවලට ගිහින් ඇවිත් ඒ අත්දැකීම් ගැන කතා කරද්දී, මටත් ලෝකය බලන්න ලොකු ආසාවක් තිබුණා. ඒත් අපේ පවුලට නිතර විදේශ සංචාර යන්න තරම් පහසුකම් තිබුණේ නැහැ.
මම කල්පනා කළා, “මට රටවල් බලන්න ඕනෑ නම් මම මොන වගේ රැකියාවක් කරන්න ඕනෑද?” කියලා. ගුවන් සේවිකාවක් වීමට මා තීරණය කළේ ඒ නිසයි.
ඒ රැකියාව නිසා තරුණ වියේදීම රටවල් ගොඩකට යන්නත්, විවිධ සංස්කෘතීන් දැකගන්නත් මට අවස්ථාව ලැබුණා. ඒක මගේ ජීවිතයට ලැබුණු ඉතාම වටිනා අත්දැකීමක්.
නමුත් එම කාලයේ ගුවන් සේවයේ නීති දැඩිව ක්රියාත්මක වුණා. අපට පහසුවෙන් වෙනත් නිරූපණ කටයුතුවල නිරත වෙන්න අවසර ලැබුණේ නැහැ. මට හොරෙන් වැඩ කරන්නත් අවශ්ය වුණේ නැහැ. අවසානයේ මම ගුවන් සේවයෙන් ඉවත් වෙලා නැවතත් නිරූපණ ක්ෂේත්රයට ප්රමුඛත්වය දුන්නා.
මගේ තාත්තා හැමදාම මට කිව්වේ තමන්ගේම අනන්යතාවක් සහ නමක් ගොඩනගාගන්න කියලයි. ශරීරයේ සුන්දරත්වය කාලයත් සමඟ වෙනස් වෙනවා. නමුත් කෙනෙකු තමන්ගේ නම සහ අනන්යතාව නිවැරදිව ගොඩනගාගත්තොත් ඒක දිගටම පවතිනවා.
මම හැමදාම වැඩ කළේ මගේ ක්ෂේත්රය තුළ මාව වෙනත් කෙනෙකුගෙන් වෙන්කර හඳුනාගන්න පුළුවන් අනන්යතාවක් නිර්මාණය කරගන්නයි.
- ශ්රී ලංකාවෙන් ජාත්යන්තරයට -
2004 සුනාමි ව්යසනයෙන් පසුව ශ්රී ලංකාව තුළ නිරූපණ කටයුතු විශාල වශයෙන් අඩු වුණා. ඒ කාලයේ මම එංගලන්තයට ගිහින් වෘත්තීය නිරූපණ ශිල්පිනියක් ලෙස වැඩ කළා.
මගේ පෝට්ෆෝලියෝව දැකලා එහි සිටි අය පුදුමයට පත්වුණා. ශ්රී ලංකාවෙන් පැමිණි කෙනෙකුගේ පෝට්ෆෝලියෝව එවැනි මට්ටමක තියෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වෙලා තිබුණේ නැහැ.
ඒක මට පෞද්ගලිකව ලැබුණු ප්රශංසාවක් විතරක් නෙවෙයි. ශ්රී ලංකාවේ දක්ෂ නිර්මාණකරුවන්, ඡායාරූප ශිල්පීන් සහ විලාසිතා ක්ෂේත්රයක් තිබෙන බව ජාත්යන්තරයට පෙන්වීමට ලැබුණු අවස්ථාවක්.
2006 වසරේ ටැන්සානියාවේ පැවති Model of the World තරගයට මම ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණා. රටවල් 90කට වැඩි සංඛ්යාවක් සහභාගි වූ එම තරගයේදී මට “Best International Model” සම්මානය හිමිවුණා. ජාත්යන්තර මාධ්ය නියෝජිතයන්ගේ තේරීමෙන් තමයි ඒ සම්මානය ලැබුණේ.
මගේ නම ප්රකාශ කළ වෙලාවේ ඒ කියන්නේ මගේ නම කියලා මට එකවර තේරුණේ නැහැ. මම ඒ තරමටම පුදුම වෙලා හිටියේ. මගේ ළඟ සිටි Miss Greece තමයි “Miss Sri Lanka, ඒ ඔයාගේ නම. යන්න” කියලා මට මතක් කළේ.
ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
පසුව ජාත්යන්තර තරගවල විනිසුරුවරියක් සහ උපදේශිකාවක් ලෙසත් කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා.
- මගේ පුතා වෙනුවෙන් වසර හතක් -
මගේ පුතා ලැබුණාට පස්සේ මම වසර හතක පමණ කාලයක් නිරූපණ ක්ෂේත්රයෙන් ඈත්වෙලා හිටියා.
ඒක මට සිදුවුණු අහඹු විවේකයක් නෙවෙයි. මම හිතාමතාම ගත් තීරණයක්. මගේ පුතාගේ මුල් ළමා කාලය ඔහු සමඟ ගත කරන්න මට අවශ්ය වුණා.
මම තනි මවක්. කවුරුවත් විවාහ වෙන්නේ දික්කසාද වෙන්න බලාගෙන නෙවෙයි. නමුත් දෙදෙනෙකුට ජීවිතය පිළිබඳ වෙනස් අවශ්යතා සහ අදහස් ඇතිවෙන්න පුළුවන්. අපි දෙදෙනාගේ ගමනත් වෙනස් වුණා.
ඒත් මගේ පුතා මාත් එක්ක හිටියා. ඔහු තමයි මගේ මුළු ජීවිතයම හැඩගැස්සුවේ.
පුතා කුඩා කාලයේදී මම වැඩවලට ගියා නම් ඔහුට මගෙන් ලැබිය යුතු සමහර දේවල් අහිමි වෙයි කියලා මට හිතුණා. විශේෂයෙන්ම දරුවෙකුගේ මුල් කාලයේදී අම්මාගෙන් ලැබෙන ආරක්ෂාව සහ බැඳීම ඉතාම වැදගත්.
ඒ නිසා මම මගේ වෘත්තියට වඩා ඔහුට ප්රමුඛත්වය දුන්නා. මම ඒ තීරණය ගැන කිසිම වෙලාවක පසුතැවිලි වෙන්නේ නැහැ.
තනි මවක් ලෙස මම විශාල වගකීමක් භාරගත්තා. “මම අසාර්ථක වුණොත් මගේ පුතාත් අසාර්ථක වෙයි” කියන හැඟීම මට තිබුණා. ඔහුව ඉදිරියට රැගෙන යන වගකීම මම භාරගත්ත නිසා මට අතහැරලා දාන්න හෝ පරාජය පිළිගන්න බැහැ.
වසර හතකට පසුව නැවතත් නිරූපණ ක්ෂේත්රයට පැමිණීමට හැකිවීම මම ලැබූ ලොකු ආශීර්වාදයක් විදිහට දකිනවා.
- මගේ පුතා මට පෙන්වූ අලුත් ලෝකය -
මගේ පුතා ඔටිසම් තත්ත්වය සහිත විශේෂ අවශ්යතා ඇති දරුවෙක්.
සමාජය බොහෝ වෙලාවට එවැනි දරුවන් දෙස බලන්නේ අඩුවක් ඇති අය ලෙස. නමුත් මම මගේ පුතාගේ ජීවිතය එහෙම දකින්නේ නැහැ. ඔහු හරිම ආදරණීය දරුවෙක්. විශේෂ අවශ්යතා ඇති දරුවන් බොහෝ දෙනෙක් ආදරය ලබාගන්නත්, ආදරය දෙන්නත් හරිම කැමැතියි.
ඔවුන්ට අපේ ලෝකයට ගැළපෙන්න බලකරන එක වැරදියි කියලයි මම හිතන්නේ. අපි තමයි ඔවුන්ගේ ලෝකයට ගිහින්, ඔවුන්ගේ විදිහට ජීවිතය දකින්න ඉගෙනගන්න ඕනෑ.
ඔවුන්ගේ ලෝකය හරිම සුන්දරයි. අපි වගේ නිතරම තරග කරමින්, සංසන්දනය කරමින්, අනාගතය ගැන බියවෙමින් ඔවුන් ජීවත් වෙන්නේ නැහැ. ඔවුන් ජීවත් වෙන්නේ ආදරය තුළ.
මගේ පුතා මම ජීවිතය දකින ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. මිනිසුන්ව ඉක්මනින් විනිශ්චය නොකරන්නත්, ඔවුන්ගේ පිටත පෙනුමට වඩා ඇතුළත හැඟීම හඳුනාගන්නත් මම ඔහුගෙන් ඉගෙනගත්තා.
මගේ ජීවිතයේ ලොකුම ජයග්රහණය කුමක්ද කියලා කෙනෙක් මගෙන් ඇහුවොත්, මගේ පිළිතුර සම්මානයක්වත්, ජාත්යන්තර වේදිකාවක්වත් නෙවෙයි.
මගේ ලොකුම ජයග්රහණය මගේ පුතාගේ අම්මා වීමයි.
- දරුවෙකු හදනවා කියන්නේ සමාජයට මිනිසෙකු ලබාදීමක් -
අපේ සමාජයේ ගැහැනියක් වුණාම අම්මා කෙනෙක් වෙන්න ඕනෑ, පිරිමියෙක් වුණාම තාත්තා කෙනෙක් වෙන්න ඕනෑ කියන අදහසක් තියෙනවා. නමුත් සමාජයේ පීඩනය නිසා කවුරුවත් මව්පියන් වෙන්න හොඳ නැහැ.
දරුවෙකු ඇති දැඩි කිරීම විශාල වගකීමක්. ඒ නිසා තමන් දරුවෙකු හදන්නේ ඇයි කියන ප්රශ්නයට අවංක පිළිතුරක් තිබිය යුතුයි. ඒ වගකීම භාරගන්න මානසිකව සූදානම් විය යුතුයි.
සමහරු “දරුවා නිසා අපි එකට ඉන්නවා” කියනවා. නමුත් ඒ ගෙදර හැමදාම ගහගැනීම්, බැණගැනීම් සහ මානසික පීඩනය තියෙනවා නම් ඒකෙන් වැඩිපුරම හානි වෙන්නේ දරුවාටයි.
එහෙම තත්ත්වයක එකට ජීවත් වෙනවාට වඩා, වෙන්වී සිටියත් දරුවාට සාමකාමී සහ ආරක්ෂිත පරිසරයක් ලබාදෙන එක හොඳ වෙන්න පුළුවන්.
රිදුණු දරුවන් පසුව අනිත් මිනිසුන්ට රිදවන්න පුළුවන්. ආදරය ලබන දරුවන්ට ආදරය දෙන්න පුළුවන්.
දරුවෙකු ඇති දැඩි කරනවා කියන්නේ අපේ පවුලට කෙනෙකු එකතු කරගැනීමක් විතරක් නෙවෙයි. අපි සමාජයට අලුත් මිනිසෙකු ලබාදෙනවා කියන එකයි.
- නිරූපණය උගන්වන හැමෝම ගුරුවරු නෙවෙයි -
අද නිරූපණ ක්ෂේත්රයට එන්න බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට පුහුණුව ලබාදෙන බව කියන ස්ථාන බොහොමයක් තියෙනවා. නමුත් ඒ සියල්ලම වෘත්තීයමය ආයතන හෝ සුදුසුකම් සහිත පුහුණුකරුවන් නෙවෙයි.
නිරූපණ පුහුණුව කියන්නේ උඩට පහළට ඇවිදින එක විතරක් නෙවෙයි. කැට්වෝක් එකකට තාක්ෂණයක් තියෙනවා. ශරීරය හසුරුවන ආකාරයක් තියෙනවා. හයි හීල්ස් මත සමබරතාව පවත්වාගන්න ඉගෙනගන්න ඕනෑ. ඇඳුමට, සංගීතයට සහ වේදිකාවට අනුව ගමන වෙනස් වෙනවා.
නමුත් ජීවිතයේ කවදාවත් නිසි නිරූපණ අත්දැකීමක් නොලැබූ පුද්ගලයන් පවා අද පුහුණුකරුවන් ලෙස පෙනී සිටිනවා. පුහුණුවේ නාමයෙන් තරුණියන් අනවශ්ය ලෙස ස්පර්ශ කරන අවස්ථාත් අපි දකිනවා. කෙනෙකුගේ අවසරයක් නැතුව ඔහුගේ හෝ ඇයගේ ශරීරය ස්පර්ශ කරන්න කිසිම පුහුණුකරුවෙකුට අයිතියක් නැහැ.
පුහුණු ආයතනයකට සම්බන්ධ වෙන්න පෙර එහි පුහුණුකරු කවුද කියලා හොයන්න. එයාගේ වෘත්තීය පසුබිම මොකක්ද? එයා වැඩ කරලා තියෙන්නේ කොහේද? එයාට ඉගැන්වූ ගුරුවරු කවුද? කියලා විමසන්න.
අන්තර්ජාලය ඔස්සේ ඒ තොරතුරු පරීක්ෂා කරන්න. කිසිම සොයාබැලීමක් නොකර කෙනෙකු විශ්වාස කරන්න එපා.
නොමිලේ පුහුණුව ලබාදෙනවා කියන සමහර ස්ථාන ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. අද කාලයේ කෙනෙක් තමන්ගේ කාලය සහ මුදල් වියදම් කරලා දෙයක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන්නේ ඇයි කියලා කල්පනා කරන්න. එහි වෙනත් අරමුණක් තියෙනවද කියලා සොයා බලන්න.

- අවස්ථාවක්
වෙනුවෙන් තමන්ව විකුණන්න එපා -
නිරූපණ සහ රූ රැජින තරග ක්ෂේත්රය තුළ සිදුවන සූරාකෑම් ගැන අපි විවෘතව කතා කරන්න ඕනෑ.
සමහර තරුණ තරුණියන්ගේ මනසට “මේ දේ කළේ නැත්නම් ඔයාට ඉදිරියට යන්න බැහැ” කියන අදහස ඇතුළත් කරනවා. අවස්ථාවක්, තරග ජයග්රහණයක්, විලාසිතා දැක්මක් හෝ ඡායාරූපගත කිරීමක් ලබාදෙන බව කියමින් ඔවුන්ගෙන් අයුතු ප්රයෝජන ගන්න අවස්ථා තියෙනවා.
මේ අවදානම ගැහැනු ළමයින්ට විතරක් සීමා වෙන්නේ නැහැ. පිරිමි ළමයිනුත් මේ ආකාරයෙන් සූරාකෑමට ලක්වෙනවා.
ඔබට දුරකථනයක් හෝ කෙටි කාලීන අවස්ථාවක් වෙනුවෙන් යම් දෙයකට එකඟ වෙන්න කියලා කෙනෙක් බලපෑම් කරනවා නම්, ඒකෙන් ඇතිවිය හැකි දිගුකාලීන හානිය ගැන හිතන්න. දුරකථනයක් අවුරුදු කිහිපයකින් භාවිතයෙන් ඉවත් කරන්න පුළුවන්. නමුත් ඇතිවන මානසික තුවාලය ජීවිත කාලය පුරාම රැගෙන යන්න සිදුවෙන්න පුළුවන්.
විලාසිතා දැක්මක් හෝ අවස්ථාවක් එක දවසකින් අවසන් වෙනවා. නමුත් ඔබට සිදුවූ මානසික හානිය එතැනින් අවසන් වෙන්නේ නැහැ.
ඒ නිසා කවදාවත් තමන්ව අයුතු ලෙස පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා.
- නිරූපණයට අමතරව තවත් රැකියාවක් කරන්න -
මගේ පන්තිවලට පැමිණෙන තරුණ තරුණියන්ට මම නිතරම කියන දෙයක් තියෙනවා.
“නිරූපණයට අමතරව තවත් රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් තියාගන්න.”
ඔබ සම්පූර්ණයෙන්ම නිරූපණ ආදායම මත රඳා සිටිනවා නම්, අකමැති ඡායාරූපගත කිරීමක් හෝ විලාසිතා දැක්මක් ප්රතික්ෂේප කිරීම අපහසු වෙන්න පුළුවන්. නමුත් ඔබට වෙනත් ආදායම් මාර්ගයක් තිබෙනවා නම්, තමන් අකමැති දේකට “නැහැ” කියන්න පුළුවන්.
ඒ ස්වාධීනත්වය ඉතාම වැදගත්.
අවස්ථාවක් ලබාගැනීමට ඔබේ ආරක්ෂාව, මානසික සෞඛ්යය හෝ ආත්මගෞරවය හුවමාරු කරන්න අවශ්ය නැහැ.
- දෙමාපියන්ටත් වගකීමක් තියෙනවා -
තමන්ගේ දරුවා නිරූපණ පන්තියකට, ඔඩිෂන් එකකට හෝ විලාසිතා ක්ෂේත්රයට සම්බන්ධ වැඩකට යනවා නම්, එයා යන්නේ කොහේද සහ හමුවෙන්නේ කාවද කියලා දෙමාපියන් දැනගන්න ඕනෑ.
“ඔඩිෂන් එකට අම්මා හෝ තාත්තා එක්කගෙන එන්න එපා” කියලා කෙනෙක් කියනවා නම් ඒක ප්රශ්න කළ යුතුයි.
තමන්ගේ දරුවා යන ස්ථානයට දෙමාපියන්ට යන්න බැරි නම් එතැනට යන්න පුළුවන් කාටද?
දෙමාපියන් ඔඩිෂන් කාමරය ඇතුළටම යන්න අවශ්ය නැති වෙන්න පුළුවන්. නමුත් පිටත ඉඳගෙන හෝ එම ස්ථානය නිරීක්ෂණය කරන්න අවස්ථාව තිබිය යුතුයි.
මගේ පන්තිවලදී දෙමාපියෙකුට හෝ භාරකරුවෙකුට ඕනෑම වෙලාවක පැමිණ දරුවන් මොනවාද කරන්නේ කියලා බලන්න පුළුවන්. මම ඒ ක්රමය හදලා තියෙන්නේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.
යම් දෙයක් සිදුවුණාට පස්සේ “අපි දැනගෙන හිටියේ නැහැ” හෝ “අපි හිතුවේ ඔවුන් හොඳ අය කියලා” කියන එක ප්රමාණවත් නිදහසට කරුණක් නෙවෙයි.
- මම ඇත්තටම “ටෆ්” ගැහැනියක්ද? -
අද බොහෝ දෙනෙක් මාව හඳුන්වන්නේ දැඩි හෝ “ටෆ්” චරිතයක් විදිහට.
නමුත් මම මුලින්ම එහෙම කෙනෙක් නෙවෙයි. ගුවන් සේවයේ වැඩ කරන කාලයේදී මම හරිම බියගුලු සහ සංවේදී කෙනෙක්. පොඩි දෙයකින් පවා මගේ හිත රිදෙනවා.
නිරූපණ ක්ෂේත්රයට පැමිණි පසුව මම එක දෙයක් තේරුම්ගත්තා. මේ ක්ෂේත්රය තුළ පැවැත්ම තහවුරු කරගන්න නම් තමන් වෙනුවෙන් කතා කරන්න ඕනෑ. තමන්ගේ සීමා හදාගන්න ඕනෑ. වෘත්තීය නොවන හැසිරීමක් දැක්කම ඒකට විරුද්ධ වෙන්න ඕනෑ.
මම වෘත්තීය නොවන තැනදී හරිම දැඩියි. කෙනෙක් වෘත්තීය නොවන ආකාරයට වැඩ කරනවා නම් මම ඒක කෙළින්ම මුහුණට කියනවා. ඒ නිසා මට “සැරයි”, “ටෆ්” කියලා ලේබල් කරනවා නම් ඒ ගැන මට ප්රශ්නයක් නැහැ.
හැබැයි දැඩි වීම කියන්නේ ස්ත්රීත්වය අතහැරලා පිරිමියෙකු වගේ හැසිරීම නෙවෙයි. මම අදටත් ගවුම් ඇඳලා, මනාලියක් විදිහට සහ විවිධ ස්ත්රී හැඩතලවලින් ඡායාරූපගත කිරීම් කරනවා.
මගේ තීරණවලදී මම දැඩියි. මගේ වෘත්තීය සීමා ආරක්ෂා කරගැනීමේදී මම දැඩියි. ඒ අතරම මගේ ස්ත්රීත්වයත් මම ආරක්ෂා කරගන්නවා.
ඒ දෙක අතර සමබරතාව හදාගැනීම තමයි අමාරුම සහ වැදගත්ම දේ.
- අද මම ලෝකය දකින්නේ වෙනස් විදිහකට -
පොඩි කාලයේ ඉඳන්ම මට වගකීම් තිබුණා. මගේ මල්ලිලා දෙන්නා බලාගත්තා. තාත්තාව බලාගත්තා. ඒ නිසා වගකීම් භාරගැනීම මට අලුත් දෙයක් නෙවෙයි.
නමුත් අද මම ලෝකය දකින ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස්.
ඉස්සර මට යාළුවන් ගොඩක් හිටියා. හැමෝම එක්ක කාලය ගත කළා. නමුත් දැන් මම මගේ කාලයේ වටිනාකම තේරුම්ගෙන ඉන්නවා. මම කෙනෙකුට මගේ කාලයෙන් කොටසක් ලබාදෙනවා කියන්නේ, මගේ ජීවිතයෙන් කොටසක් ලබාදෙනවා කියන එක.
ඒ නිසා මම දැන් මගේ කාලය ලබාදෙන්නේ ඒ කාලය සහ සම්බන්ධතාවය අගය කරන මිනිසුන්ට පමණයි. මගේ වැඩිම කාලය ගත කරන්නේ මගේ පුතා සමඟ.
ඉස්සර පොඩි දෙයකින් පවා මම ගොඩක් දුක්වුණා. අද මම දන්නවා සතුටත් තාවකාලිකයි, දුකත් තාවකාලිකයි කියලා. ඒ දෙකම සමබරව දරාගෙන ජීවත් වෙන්න මම ඉගෙනගෙන තියෙනවා.
මිනිස්සු මං ගැන මොනවා කිව්වත් දැන් මම ඉක්මනින් හිත රිදවාගන්නේ නැහැ. මට වරදක් සිදුවුණා කියලා දැනුණොත්, ඒක නිවැරදි කරන්න උත්සාහ කරනවා. නමුත් මට පාලනය කරන්න බැරි දේවල් වෙනුවෙන් මගේ ජීවිතය නාස්ති කරන්නේ නැහැ.
- අනිත් අය සමඟ නොව, තමන් සමඟ තරග කරන්න -
අද තරුණ පරපුරට අවස්ථා ගොඩක් තියෙනවා. සමාජ මාධ්ය හරහා තමන්ගේම සන්නාමයක් ගොඩනගාගන්න පුළුවන්. අපේ කාලයේ අපට ඒ වගේ පහසුකම් තිබුණේ නැහැ.
නමුත් ඒ අවස්ථා සමඟ විශාල පීඩනයකුත් ඇතිවෙලා තියෙනවා. හැමෝටම ඉක්මනින් ප්රසිද්ධ වෙන්න ඕනෑ. ඉක්මනින් මුදල් හම්බ කරන්න ඕනෑ. ඉක්මනින් ප්රතිඵල ලබාගන්න ඕනෑ.
බලාපොරොත්තු වූ ප්රතිඵලය ඉක්මනින් නොලැබුණාම ඔවුන් අධෛර්යයට පත්වෙනවා. තමන්ගේ ජීවිතය තවත් කෙනෙකුගේ ජීවිතය එක්ක සංසන්දනය කරනවා. තවම පැමිණ නැති අනාගතයක් ගැන හිතලා අද දවස විනාශ කරගන්නවා.
මම කියන්නේ සමාජය වෙනුවෙන් ජීවත් වෙන්න එපා කියලයි.
ඔබ සතුටින් නම්, ඔබ කරන දේ නිවැරදියි කියලා ඔබට හැඟෙනවා නම්, එක පියවර බැගින් ඉදිරියට යන්න. විශාල ඉලක්කයක බරට යට නොවී පොඩි පොඩි ඉලක්ක හදාගන්න.
අනිත් අයත් එක්ක තරග කරන්න එපා. ඊයේ සිටි ඔබත් එක්ක අද සිටින ඔබ තරග කරන්න.
අද මම ජීවත් වෙන්නේ විශාල පසුතැවිලි ගොඩක් අරගෙන නෙවෙයි. මගේ ඉලක්කය කාටවත් වරදක් නොකර මේ මොහොතේ ජීවත් වෙන එක. පුළුවන් තරම් සතුටින් ජීවත් වෙලා, තවත් කෙනෙකුගේ ජීවිතයටත් සතුටක් එකතු කරන එක.
කාලයක් මම නිරූපණ ශිල්පිනියක් වෙනවා කිව්වම මිනිස්සු මට හිනා වුණා. නමුත් මම ඒ අයට පිළිතුරු දෙන්න කාලය නාස්ති කළේ නැහැ.
මම දිගටම වැඩ කළා.
වැටුණා. නැවත නැගිට්ටා. ජයග්රහණ ලැබුවා. වෘත්තියෙන් ඉවත් වුණා. මවක් වුණා. තනිව වගකීම් භාරගත්තා. නැවතත් මගේ ක්ෂේත්රයට පැමිණියා.
අද මගේ ජීවිතය කියන්නේ කැමරාවක් ඉදිරියේ හෝ නිරූපණ වේදිකාවක් මත නිර්මාණය වූ රූපයක් විතරක් නෙවෙයි.
මගේ ජීවිතය ලියැවී තියෙන්නේ විනයෙන්, අසාර්ථකත්වයෙන්, නැවත නැගිටීමෙන්, මවකගේ ආදරයෙන් සහ අසාධාරණය ඉදිරියේ “නැහැ” කියන්න මට තිබුණු ධෛර්යයෙන්.
එදා මට හිනා වුණු අයට දෙන්න තිබුණු හොඳම පිළිතුරත් ඒකමයි.
( චූල්පත්මේන්ද්ර කුමාරපතිරණ Nation Watch Network යූටියුබ් චැනලය සමග කළ සංවාදයක් ඇසුරිණි.)



