ජනතාව අපිව ප්‍රතික්ෂේප කළොත් කාලා හමාරයි

ගීතයක අයිතිය සහ කතෘභාගය අද තීරණාත්මක ප්‍රශ්නයක්. එළිමහන් ප්‍රසංග සම්බන්ධීකාරක සහ සංවිධායකවරුන්ගේ සංගමයේ සභාපති සම්පත් කුමාරසිංහ සහ ගායක අජිත් මුතුකුමාරණ මේ ගැන කතා කරන්නෙ මෙවැනි මතවාදයක් එක්ක
සම්පත්: මම හිතන්නේ ප්‍රශ්නය නරක තැනකට ගියා නෙවෙයි, මේක හොඳ තැනකට ආවා. මේ නිසා දැන් හැමෝටම මේ ගැන කතා කරන්න හොඳ වේදිකාවක්, සංවාදයක් නිර්මාණය වෙලා තියෙනවා. මේගොල්ලෝ වහලක් ගහගෙන කරපු දේවල් දැන් විවෘතව සමාජයට පේන්න පටන් අරන්. මේ කතෘභාගය අය කරන එක තාවකාලිකව අත්හිටුවලා තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. මේගොල්ලෝ මුට්ටිය දාලා බැලුවා මේක කරන්න පුළුවන්ද කියලා. නමුත් ලෝක බුද්ධිමය දේපළ ආයතනය හෝ ජාත්‍යන්තර ආයතනයක මේගොල්ලෝ තවම ලියාපදිංචි වෙලා නැහැ. ලියාපදිංචි වුණා කියලා පෙන්නන්න කිසිම සාක්ෂියක් ඔවුන් සතුව නැහැ. අපි අභියෝග කරනවා පුළුවන් නම් ඇවිත් ඒ ලියාපදිංචි සාමාජිකත්වය අපිට පෙන්නන්න කියලා. මේක කිසිම නිත්‍යනුකූල පදනමක් නැතිව කරන දෙයක් විදිහටයි අපි දකින්නේ.
අජිත්: අතිශය ජනප්‍රිය වුණු මගේ එක් ගීතයක් මම ගායනා කරලා දැන් අවුරුදු විසිතුනක් විසිහතරක් පමණ වෙනවා. මම මේ වන විට සීඩී තැටි හැටක් පමණ නිකුත් කරලා තියෙනවා, ගීත එක්දහස් දෙසිය පණහක් පමණ ගායනා කරලා තියෙනවා. මේක මගේ පස්වෙනි කැසට් පටය වගේ කාලයේ කරපු එකක්. මේ ගීතය ලිව්වේ රේණුකා මුණසිංහ. ඇය ඒ කාලයේ ආධුනික ශිල්පිනියක්. මමයි ජෝර්ජ් අයියයි සාරංග ලේබල් එකෙන් කැසට් එකක් කරනකොට ඇය ඇවිත් සින්දු පොත් දෙකක් දීලා කිව්වා ඇයට උදව්වක් විදිහට මේකෙන් ගීතයක් කියන්න කියලා. ඇය නොවැඳ වැන්දා මේකෙන් ඇයට ලොකු උදව්වක් වෙයි කියලා. ඉතින් අපිත් ආධුනිකයෙකුට අත දෙන එක යුතුකමක් විදිහට සලකලා ඒ ගීතය තෝරගෙන එදා ගායනා කළා.
ඊට පස්සේ අවුරුදු ගාණක් යනකල් මේ ගීතය ගැන කිසිම සද්දයක් තිබුණේ නැහැ. ගීතය සම්පූර්ණයෙන්ම යටපත් වෙලා ගියා. හැබැයි මෑත කාලයේ, ඒ කියන්නේ අවුරුදු දෙකක තුනක වගේ කාලයක ඉඳන් මේ ගීතය නැවතත් ජනප්‍රිය ගීතයක් බවට පත්වුණා. මම දැක්කා ඒක මගේ වාසනාවක් වගේම ඇයගේත් වාසනාවක් විදිහට. මේ ගීතය ජනප්‍රිය වුණාට පස්සේ මම ප්‍රසංග වේදිකාවල මේ ගීතය ගායනා කළා. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි එකපාරටම කිසිම කතාවක් නැතිව පසුගිය සඳුදා මගේ ගෙදරට එන්තරවාසියක් එනවා රුපියල් කෝටියක් වන්දි ඉල්ලලා. ඒක එවලා තිබුණේ නීතිඥවරයෙක් මාර්ගයෙන්. එයා ඇක්පෝ කියන ආයතනයේ සාමාජිකාවක් කියලත් ඒ ලියුමේ පැහැදිලිවම සඳහන් වෙලා තිබුණා. මට ඒ වෙලාවේ ලොකු පුදුමයක් දැණුනා.
ඒ එන්තරවාසිය දැක්කම මම එකපාරටම කම්පනයට පත් වුණා. මේක කෝටියක වන්දියක් ඉල්ලනවා. පස්සේ එයාලා කතා කරලා ඒ මුදල ලක්ෂ පහළොවත් විසිපහත් අතර ගාණකට අඩු කරලා එකඟතාවයකට එන්න උත්සාහ කළා. හැබැයි මම එවලෙම තීරණය කළා මම රුපියලක්වත් ගෙවන්නේ නැහැ, මම මේ ගීතය මින් ඉදිරියට ගායනා කිරීම සම්පූර්ණයෙන්ම නතර කරනවා කියලා. මට දුක මේක මුදල් මත පදනම් වූ ව්‍යාපාරයක් වීම ගැනයි. ඇය මට කෙලින්ම දුරකථන ඇමතුමක් දීලා කිව්වා නම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. මම කෑදරයෙක් නෙවෙයි, ඕනම කෙනෙකුගේ ගීතයක් අතහරින්න මට පුළුවන්. ඒත් මේක පිටුපස ඉඳගෙන වෙනත් ආයතන තුන්වෙනි පාර්ශ්වයක් විදිහට කටයුතු කරලා කලාකරුවන් කොටවන්න හදන එකයි මම දැඩිව ප්‍රතික්ෂේප කරන්නේ.
මට කිසිම දවසක සත පහක්වත් ලැබිලා නැහැ. මගේ ගීත දහසකට වඩා තියෙනවා. හැමදාම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවල මගේ ගීත පහක් හයක් අනිවාර්යයෙන්ම ප්‍රචාරය වෙනවා. හැබැයි ඔය කියන ආයතනවලින් මට කවදාවත් මුදලක් දීලා නැහැ. සම්පත් පවසන පරිදි මේක තමයි ඇත්ත තත්ත්වය. ආයතනවලට නාලිකාවලින් සල්ලි ලැබෙනවා. ඒත් ඒ සල්ලි කෝ? ඒවා ගායකයන්ට යන්නේ නැහැ. අදටත් නාලිකාවලින් මේ ආයතනවලට මුදල් ගෙවනවා. හැබැයි ඒ මුදල් වලට මොකද වෙන්නේ කියලා හොයන්න රාජ්‍ය මැදිහත්වීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ජනාධිපතිතුමාට සහ විෂයභාර අමාත්‍යවරයාට අපි කියන්නේ කරුණාකරලා මේ මුදල් කොහාටද යන්නේ කියලා විගණනයක් කරන්න. මේක කිසිම විනිවිදභාවයක් නැති තනි ජාවාරමක් බවට පත්වෙලා තියෙන්නේ අහිංසක කලාකරුවන්ව රවට්ටමින් කියන එකයි මගේ අදහස.
සම්පත්: ඔය කතෘභාගය ගන්නවා කියන මහත්තුරු ප්‍රසංගයට ඇවිල්ලා අතටම සල්ලි ගන්නවා මිසක් බැංකු ගිණුම් හරහා ගනුදෙනු කරන්නේ නැහැ. පැය තුනකට විතර කලින් හොටෙල් එකට ඇවිත් සල්ලි ටික එකතු කරගන්නවා. බැංකුවට දැම්මොත් අනිවාර්යයෙන්ම බදු වදිනවා. ඒ නිසා මේ කිසිම කෙනෙක් රජයට බදු ගෙවන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම කළු සල්ලි ජාවාරමක්. මේගොල්ලෝ ප්‍රශ්නයක් දාලා, මිනිස්සුන්ව බය කරලා සල්ලි ටික සාක්කුවේ දාගන්නවා. අපි අහන්නේ මේ එකතු කරන සල්ලි ගියේ කාටද? මේවා ඇත්තටම අදාළ කලාකරුවන්ට ගියාද? නෑ. ඒකයි අපි කියන්නේ මේ ගෙවපු සල්ලි වලට මොකද වුණේ කියලා පැහැදිලි විගණනයක් කරන්න කියලා. අපි ප්‍රසංග සංවිධායකවරු විදිහට මේ අසාධාරණයට දැඩිව විරුද්ධයි කියන එක මෙහිදී ප්‍රකාශ කරන්නම ඕනේ.
සම්පත්: මේගොල්ලෝ ඊළඟට කරන්න හදන භයානකම දේ තමයි ඉන්දියාවත් එක්ක එකතු වෙලා වැඩ කරන එක. ලංකාවේ මුදල් විශුද්ධිකරණය කරන කම්පැණි එකක් විදිහට චෝදනා ලබපු, බලපත්‍ර අහෝසි කරපු ආයතනයක් එක්ක මේ අය එකඟතාවයක් දාගෙන තියෙනවා. ලංකාවේ ගායනා කරන ගීතවලට අදාළ මුදල් ඩොලර් විදිහට ඉන්දියාවට යවන්නයි මේගොල්ලෝ හදන්නේ. රජය රටට ඩොලර් ගේන්න උත්සාහ කරන වෙලාවේ, මේගොල්ලෝ අපේ රටේ සල්ලි පිටරට යවන්න හදනවා. අපේ ලංකාවේ සින්දු ඉන්දියාවේ, ලෝකේ වටේ කොච්චර ප්‍රචාරය වුණත් අපිට එක ඩොලර් එකක් හරි ලැබිලා තියෙනවද? නැහැ. එහෙම තියෙද්දි ඇයි ලංකාවේ සින්දු වලට අපේ රටේ සල්ලි ඉන්දියාවට යවන්නේ? මේක සම්පූර්ණයෙන්ම රටට ද්‍රෝහී වැඩක් විදිහටයි අපි දකින්නේ මේ මොහොතේ.
අජිත්: මේගොල්ලන්ගේ අත්තනෝමතික වැඩ කොච්චරද කියනවා නම්, මට මේ ප්‍රශ්නය ආවට පස්සේ මම කිව්වා මට අයිති නැති දේවල් අයින් කරගන්නවා, ඒත් මගේ හඬ සහ රූපය මට අයිතියි කියලා. හැබැයි මේ අය කියනවා මගේ කටහඬ වත් මට අයිති නැහැ කියලා. ඔවුන් නාලිකාවලට කතා කරලා මගේ කටහඬ, මගේ රූපය සහ මගේ නම ඒ ට්‍රැක් එකෙන් ඉවත් කරන්න කියලා බල කරලා තියෙනවා. මට තනුව අයිති නැහැ, වචන අයිති නැහැ තමයි, නමුත් විශ්වයට මම මුසු කරපු මගේ හඬ මට අයිතියි. ඒකත් ගැලෙව්වම සින්දුවක් ඉතුරු වෙන්නේ නැහැ. මේ අය හදන්නේ සින්දුව ගොළු කරලා, කලාකරුවා අසරණ කරලා තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්නයි කියන එක ඉතාම පැහැදිලියි.
සම්පත්: හෝටලයකින් වාර්ෂික බලපත්‍රයක් ගත්තට පස්සේ ඒ අවුරුද්ද තුළ ප්‍රසංග සියයක් කරත් ඒක ඒ බලපත්‍රයට ඇතුළත් වෙන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ මංගල උත්සවයක් තිබ්බොත් එතනට පැනලා රුපියල් විසිපන්දහසක් ඉල්ලනවා මනමාලයගෙන්. මේක සම්පූර්ණයෙන්ම කප්පම් ගැනීමක්. ඒ නිසා ප්‍රසංග සංවිධායකවරුන් විදිහට අපි දැඩි තීරණයක් ගත්තා. ගායකයා, පද රචකයා සහ සංගීත අධ්‍යක්ෂවරයා යන තුන්ගොල්ලෝ මේ ප්‍රශ්නය විසඳගෙන එනකල්, මේ කියන ආයතනයේ යටතේ තියෙන ගීත ගායනා කරන කිසිම ශිල්පියෙක්ව අපේ ප්‍රසංග වලට අපි මින් ඉදිරියට සම්බන්ධ කරගන්නේ නැහැ. සංගීත කණ්ඩාەم වලටත් අපි ඒක දැනුම් දීලා තියෙනවා. මේ ප්‍රශ්න බේරගෙන ආවොත් අපි වේදිකාව දෙනවා. නැත්නම් සත පහක් ගෙවන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ කියන එක කියන්න ඕනේ.
අජිත්: කලාකරුවෝ විදිහට අපි මේ ප්‍රශ්න කතාබහ කරලා විනිවිදභාවයකින් විසඳගන්න ඕනේ. සින්දුවකින් ලැබෙන සල්ලි මට පුළුවන් මගේ ලියපු කෙනාටයි හදපු කෙනාටයි කෙලින්ම බැංකු ගිණුමට දාන්න. මම ලක්ෂයක් ගත්තොත් ඒකෙන් කොටසක් එයාලට දෙන්න පුළුවන්. ඒක මගේ සමාජ මාධ්‍ය ගිණුමේ වුණත් විවෘතව දාන්න පුළුවන්. එතකොට කිසිම හොරයක් නැහැ. ඇයි අපි විශාල කොමිස් මුදලක් මේ අතරමැදි හොරුන්ට දෙන්නේ? මම කොහොමත් හොරුන්ට සල්ලි දෙන්න කැමති නැහැ. අපි රජයෙන් ඉල්ලන්නේ මේ සංවිධාන අහෝසි කරලා දාලා, රාජ්‍ය මැදිහත්වීමක් යටතේ නිසි ආයතනයක් බිහි කරන්න කියලයි. එතකොට කලාකරුවාටත් සාධාරණයක් ඉටුවෙනවා, මේ හොර ජාවාරම්කාරයන්ට මිනිස්සුන්ව හූරාගෙන කන්න තියෙන අවස්ථාවත් නැතිවෙනවා. මේක තමයි සිදුවිය යුතු නිවැරදිම දේ.
සම්පත්: අවසන් වශයෙන් කියන්න තියෙන්නේ, ලංකාවේ මිනිස්සු බොහොම ප්‍රශ්න ගොඩක් මැද්දේ ජීවත් වෙන්නේ. ඒ මිනිස්සුන්ට තියෙන එකම නිදහස සහ වින්දනය තමයි මේ සංගීතය. ඒකත් නැති කරන්න එපා. කලාකරුවන් එකිනෙකා මරාගන්න කොට ප්‍රේක්ෂකයින්ට ඒක පේන්නේ හරිම කැත විදිහට. ජනතාව කලාකරුවන්ව ප්‍රතික්ෂේප කළොත් ආයෙ කිසිම ගායකයෙකුට වේදිකාවක් ඉතුරු වෙන්නේ නැහැ. කලාවටයි ආගමටයි අත තියන්න එපා, මිනිස්සු ඇවිස්සුණොත් ලොකු ප්‍රශ්න ඇතිවෙයි. ජනාධිපතිතුමාට සහ විෂයභාර අමාත්‍යවරයාට අපි නැවතත් කියන්නේ කරුණාකරලා මේකට මැදිහත් වෙලා මේ ප්‍රශ්නය විසඳලා දෙන්න කියලයි.
