පිහිතුඩේ අයිතිකාරයා සිනමාවටත් ’’පිහියෙන් ’’ අනියි

  • 06-05-2026

මගේ ප්‍රෝමෝෂන් මමම පටන් ගන්නවා මිත්‍රවරුනි..


ඔබයි හදවත සියුම් තැන්වල 
පිහිතුඩින් ආදරය ලියුවේ..

ආලවන්ත  ආදරවන්ත ලීලවන්ත අමුතු ආදර අන්දරයක් වැදෙන්නම දැනෙන්නම ලියපු දිල්ශාන් පතිරත්න චිත්‍රපට තිර රචකයෙක් වෙන්නයි යන්නෙ .....

සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙන්නයි යන්නෙ

දැවෙන චිතකය කඳුළු පැන්  ඉස 
මමයි ඇවිලෙන ගින්න නිව්වේ........

ඉතින් දැන් දිල්ශාන්ගෙ සූදානම සිනමාවේ ඇවිලෙන ගින්න නිවන්නත් අමුතු පැන් කළගෙඩි පිටින් ඉහින්න කියලයි අපට හිතෙන්නෙ

එහෙම හිතුණෙ දිල්ශාන් එයාගෙ චිත්‍රපට කෙරුවාවේ සමාරම්භය ගැන ලියලා තිබුණු මේ සටහනින්......

 

ආහ්...දිල්ෂාන් පතිරත්න අන්න එහෙමයි එයාගෙ කතාව පටන් ගත්තෙ.

මම මුලින්ම ටෙලියක් ඩිරෙක්ට් කළේ 2014දි. අවුරුදු අටකට විතර පස්සෙ ඒක ටෙලිකාස්ට් වුණා. ඒ වෙනකොට  ඒ වැඩේ කොච්චර වටේ ගිහින් තිබුනද කිව්වොත් අදාළ චැනල් එක මට කිව්වා අලුත් නමකින් ටෙලිය ගේන්න කියලා. එතකොටත් ඒක හොඳටම අවුට් ඩේටඩ්. නිදහට කාරණා කොච්චර තිබ්බත් ඒ වැඩේ ගැන මම සතුටු නෑ..මගේ නිෂ්පාදකවරු සතුටු වුනෙත් නෑ.මම ෆේල්ද ? ඔව් මං  හිතන්නෙ මම ෆේල්.

මම මගේ දෙවනි ටෙලිය පටන් ගන්නෙ 2024දි. පලවෙනි වැඩෙන් අවුරුදු දහයකට පස්සේ.නිර්මාණකාරයෙක්ට පුලුවන් ද එච්චර ඉවසන්න. ඔව් පුලුවන්. මේ ඉන්නෙ.
ඒ වැඩේ තමයි "මී මැස්සා."
ඒක මම මගේ උපරිමයෙන්ම කලා. මගේ නිෂ්පාදකවරු සතුටුයි මාත් එක්ක වැඩ කරන්න ලැබුණු එක ගැන. මමත් යම් ප්‍රමාණයකට සතුටුයි. 
යම් ප්‍රමාණායකට? .. ඒ මොන කුණු හබ්බයක්ද ඒ? ඔව් ඒකට හේතු කීපයක්ම තියෙනවා. ඉතාම හොඳ චැනල් එකක ඉතාම හොඳ බෙල්ට් එකක් ලැබුණත් , මට හැදුනෙ සීමිත ඕඩියන්ස් එකක්. සමහර විට මම තෝරගත්ත පොලිටිකල් ත්‍රිලර් ජොන්‍රා එක ඒකට එක හේතුවක් වෙන්න ඇති. ඒ වගේම
ඒ වෙනකොට රටේ තිබුණ වටපිටාවත් ඒකට හේතුවක් වෙන්න ඇති. මී මැස්සා ටෙලිකාස්ට් වුනේ මහමැතිවරණයකුයි ජනාධිපතිවරණයකුයි මැද. එළියෙ උණුසුම හොඳටම වැඩිවෙච්ච එක ටෙලියෙ උණුසුම අඩුවෙන්න හේතුවක් වෙන්නත් ඇති. කොහොම හරි මම ෆේල්ද? ඒ ප්‍රශ්නෙට මට හරි උත්තරක් නෑ. ෆේල් නැති වුනත් මම පාස් නෑ කියලා මට හිතෙනවා. පාස් වුනත් පාස් වුනේ බෝට්ටුවෙන් මිස නැවෙන් නෙමෙයි.
මම ලියපු පොත්වල , සිංදුවල කතාවත් ඕකම තමයි. මගේ මිත්‍ර ගායකකො සහ සංගීඥයන් ඒවා කරේ තියාගෙන ගිහින් ජනප්‍රිය කලා මිස මම ඒවාට ලොකුවට මැදිහත් වෙලා නෑ. 
" ආ.. ඒක ලිව්වෙ ඔයාද? " කියලා තාමත් සමහරු  මගෙන් අහනවා. සංකලා, සමන්ලා මාව ප්‍රොමෝට් නොකරන්න තාම සමහරු දන්නෙ නෑ 'හිතෙන් යන අය, අමුඩේ' කියන්නෙ මගේ වචන කියලා. මම පුංචි ඕඩියන්ස් එකක් ඇතුලෙ ලොකු ආතල් එකක් ගනිමින් ඉන්න මිනිහෙක්.

ඔන්න මං දැන් එනවා මේ හෑල්ලේ  කතාවට.
මට දැනෙන මගේ අවුල තමයි මම පබ්ලිසිටියට තියෙන බය. වෙන විදිහකට කිව්වොත්  'ආසයි බයයි' කෑල්ල. ආස ඇයි? ඒක පැහැදිලි කරන්න ඕන නෑනෙ. මාත් උඹලාවගේම පෘතග්ජන එකෙක්නෙ. එතකොට බය? අන්න ඒක ගැන මම ටිකක් කල්පනා කළා. මම බය මම කරන පබ්ලිසිටිය පම්පෝරියක් වෙයි කියලා. ඒකට හොඳම උදාහරණය තමයි මම, මගේ කිසිම ටෙලියක මුහුරත් උළෙලවල් නොතිබ්බ එක.
මම ඒවා ගැන පිස්සුවෙන් වගේ ඉන්ටර්විව් දෙන්න ගියෙත් නෑ. වැඩක් දෙකක් කරලා වැඩ සීයක් කලා වගේ රඟන්න පොඩි ලැජ්ජාවක් තිබුණා. ඒක තමයි මගේ බය.

මචංලා..
මම ලැජ්ජ නහරේ එහෙම්ම තියාගෙන මගේ
 'බය' නහරේ කපාගන්න තීරණය කළා. මම මගේ ප්‍රොමෝෂන් පටන් ගන්නවා.
ඒ පාර මොකටද මේ එන්න හදන්නෙ? 
මගේ පළවෙනි ෆිල්ම් එකෙ වැඩ පටන් ගත්තා. අපි දැන් ඉන්නෙ  ප්‍රී ප්‍රඩක්ෂන් ස්ටේජ් එකේ. තව මාසෙකින් අපි ෂූට් එකේ..

මොකද්ද වැඩේ? 
එක හෑල්ලකින් ඔක්කොම ඉවර කරන්න ඕන නෑනෙ.එතකොට පබ්ලිසිටිය අවුල් යනවා.

පතිරත්න ෆිල්ම් එක පටන් ගත්තා. දැනට ඒ ටික විතරක් මතක තියාගනිල්ලකො..
ආ.. ෆිල්ම් එකත් එක්කම ප්‍රොමෝෂනුත් පටන් ගත්තා..


දිල්ශාන් ඔබට......
දිල්ශාන් ඔයාට..........
දිල්ශාන් උඹට.......
දිල්ශාන් නුඹට..........

ෆිල්ම් කෙරුවාව වෙනුවෙන් අපේ සුබ පැතුම්