රුක්මණී දේවිය යළිත් උපදී

  • 14-10-2026

රුක්මණී දේවියගේ ජීවිතයේ රසතැන් සියුම් ඉසියුම් ඉසව් අළලා නිමවන තරින්දි ප්‍රනාන්දු රුක්මණී දේවියට පණ දෙන ‘නිද්‍රා යාත්‍රා’ ඇරඹුණු වගයි.

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසික් අධ්‍යක්ෂණය කරන මෙම  චිත්‍රපටයට රංගන දායකත්වය මුහු කරන්නේ මහේන්ද්‍ර පෙරේරා, රොෂාන් පිලපිටිය, ධනංජය සිරිවර්ධන, රොෂාන් රණවන ඇතුළු පිරිසක්.  මෙම සිනමා නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රියගෙන්.

ඒ වගේම එහි සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහගෙන්. සංස්කරණය තිස්ස සුරේන්ද්‍රගෙන්.

මෙම්ස් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ වෙරන්ජ් ගුණවර්ධන .

ලාංකික සිනමාවේ ස්වර්ණවත් මුද්‍රාවක් වූ  රුක්මණී දේවියගේ ජීවිතය හා කලා මෙහෙවර යම්තාක් දුරකට  වාර්තාමය ස්වරූපයෙන් සිනමාත්මකව ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒම 'නිද්‍රා යාත්‍රා' වේ අරමුණ බව තමයි කියන්නේ.

ඩේසි රාසම්මා ඩැනියෙල් යන නමින් 1923 ජනවාරි 15 වැනිදා උපත ලැබූ රුක්මණී දේවිය ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය ලෙස සැලකෙන කඩවුණු පොරොන්දුව (1947) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවමින් සිංහල සිනමාවේ නව යුගයක ආරම්භයට දායක වූවාය . 

ඇය ගායනයෙන් මෙන්ම රංගනයෙන් ද දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂක හදවත් දිනාගත් අතර, සිංහල සිනමාවේ පුරෝගාමී කලාකාරිනියක ලෙස ඉතිහාසයට එක්ව සිටින්නීය.

රුක්මණී දේවීගේ චරිතයට තරින්දි ප්‍රනාන්දු  හුස්මක් දෙද්දි  එඩී ජයමාන්නගේ චරිතයට චමල් රත්නායක ද රංගනයෙන් දායක වෙති. 

රුක්මණී දේවි සහ එඩී ජයමාන්න යනු ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම සිංහල සිනමාවේ සහ නාට්‍ය කලාවේ රන් අකුරින් ලියැවුණු, අතිශය ජනප්‍රිය වූ අසහාය කලාකාර යුවළකි.

රුක්මණී දේවි ලාංකේය සිනමාවේ ප්‍රථම නිළිය මෙන්ම අග්‍රගන්‍ය පසුබිම් ගායිකාවකකි.

ඇය සතු වූ අද්විතීය සහ මිහිරි කටහඬ නිසාම ඇය "සිනමා කෝකිලාවිය" ලෙස හැඳින්වුණු අතර, "මල් බර හිමේ", "පෙම් මල් මාලා" වැනි අතිශය ජනප්‍රිය ගීත රාශියක් ගායනා කළාය. මිනර්වා නාට්‍ය කණ්ඩායම හරහා වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණි ඇය, පසුව සිංහල සිනමාවේ නොමැකෙන සලකුණක් තැබුවාය.

එඩී ජයමාන්න යනු සිංහල සිනමාවේ මුල් යුගයේ බිහිවූ විශිෂ්ටතම සහ ජනප්‍රියතම ප්‍රහසන (හාස්‍යෝත්පාදක) නළුවෙකි.  "කඩවුණු පොරොන්දුව" චිත්‍රපටයේ "මනප්පුවා" ලෙස රංගනයෙන් දායක වෙමින් ඔහු සිනමාවට පිවිසියේය. උපහාසය සහ ප්‍රහසනය මුසු වූ ඔහුගේ රංගන විලාසය සහ සුවිශේෂී දෙබස් උච්චාරණය එකල ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

මිනර්වා නාට්‍ය කණ්ඩායමේ එකට කටයුතු කරමින් සිටියදී ඇතිවූ ප්‍රේම සන්ධානයක් මත මොවුන් දෙදෙනා විවාහ ජීවිතයට ඇතුළත් වූහ. 

මොවුන් දෙදෙනා එක්ව චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රාශියක ප්‍රධාන සහ සුවිශේෂී චරිත නිරූපණය කළහ. එකල චිත්‍රපටවල මොවුන් දෙදෙනා එක්ව ගැයූ හාස්‍යෝත්පාදක සහ ආදර ගීත (විශේෂයෙන්ම එඩී සහ රුක්මණී සංවාද ස්වරූපයෙන් ගැයූ ගීත) අදටත් ලාංකේය රසිකයන් අතර ඉතා ජනප්‍රියය.

කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම, කැලෑ හඳ, වැනි චිත්‍රපට ඔස්සේ ද ඇය සිය රංගන ප්‍රතිභාව ප්‍රකට කළාය. ඇගේ මධුර හඬින් ගැයුණු ගීත අදටත් රසිකයන් අතර ජනප්‍රියව පවතී. 

1978 ඔක්තෝබර් 28 වැනිදා සිදුවූ හදිසි රිය අනතුරකින් ඇය ජීවිතයෙන් සමුගත්ත ද, ඇගේ කලා උරුමය අද දක්වාම ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ ජීවමානව පවතී.