සුවඳ දැනී දැනී නොමිලේ ගයන්න දෙන්න මට බෑ....

  • 30-09-2026

ගීත කතා නා නා ප්‍රකාර වේෂයන්ගෙන් දැන් ඕසෙට හැමතැනින්ම මතුවෙනවා.කර්තෘ භාග  අපබ්‍රංසයක් වෙන තරමට ඒ කතා විච්චූරණයි.දැන් තියෙන හුඟාක් සින්දු අහද්දි නම් ඒවා අහනවාට අපිට ශ්‍රවන භාග ගෙවන්න ඕනේ කියලා හිතෙන්නෙ.

හැබැයි ඒ ඔක්කොම අස්සෙ තර්ක විතර්ක වානා ....ගී පද රචකයාට සහ සංගීතඥයාට කර්තෘ භාග හිමිවෙන්නම ඕනෑ.මොකද ඔච්චර කල් සින්දුවලින් හම්බ කරගෙන කෑවේ ගායක ගායිකාවන් විතරයි.
ඒ අස්සෙ Reality show  පටන් ගත්තට පස්සෙ අනුන්ගෙ සින්දු වේදිකාවල ගයන්න ලක්ෂ ගණන් ඉල්ලන මෙලෝ සදාචාරයක් නැති පිරිසක් බිහිවුණා.
ඒ අල්ලපනල්ලේ ඇතැම් නාලිකා මේ සින්දුවලින් අයථා විදිහට හම්බ කරගන්න ගිහින් තාමත්  ගෙඩිය පිටින් දාගත්තු නඩු වෙනුවෙන් උසාවියේ කරක් ගහනවා.

ඇත්තටම ගීයක මූලය උපදින්නෙ ගීත රචකයාගේ හදවතේ.ගීයක් උප්පත්තිය ලබන තැන.ඒ නිසා ගීතයේ මුල් හිමිකාරිත්වය ගී පද රචකයා සතු විය යුතුයි.එසේ ඉපදෙන ගී පද ගීයක් බවට පරිවර්තනය කරන්නේ ගීයට දෙවැනි උප්පත්තිය ක් තිළිණ කරන සංගීතඥයා...ඒ සුසංයෝගය ඇත්තටම අසමසම සුසංයෝගයක් මොකද ඒ සුසංයෝගයෙන් වියුක්තව ගීයක් නිර්මාණය කරන්න ගීයකට හුස්මක් දෙන්න බෑ. ගායකයා හෝ ගායිකාව කියන්නේ ඒ ගීය සහෘදයන් අතරට අරන් යන වාහකයින් පමණයි.කර්තෘ භාග ගැන අනේ මේ කතාබහ කලින් මතුවෙලා බුද්ධිමය දේපළ පිළිබඳව අයිතියේ ඇස් ඇරුණානම් හිතෙන්නේ ලොවක් ආදරය කරපු ගී ලියලා අන්තිමට හිඟන්නො වගේ මැරිලා ගිය ගී පද රචකයන් සහ සංගීතඥයන් අපේ රටේ හිටපු නිසා.
අදටත් ඉන්න නිසා. 

ඉතින් ගීයක අයිතිය ගැන මේ කතා කරන්නෙ රූකාන්ත ගුණතිලක .

ගීතයක සැබෑ හිමිකාරිත්වය හිමිවන්නේ එම නිර්මාණය මුලින්ම බිහි කළ සංගීත අධ්‍යක්ෂවරයාට සහ පද රචකයාට ., තමන් ගායනා කළ පමණින් වෙනත් අයෙකුගේ නිර්මාණයකට අදාළ තීරණ ගැනීමට තමන්ට කිසිදු සදාචාරාත්මක හෝ නෛතික අයිතියක් නෑ.

ගීතයක් නිර්මාණය කිරීමේදී එහි මූලික තනුව සහ සංකල්පය මුලින්ම ගායනා කර පටිගත කරන්නේ එම සංගීත නිර්මාණකරුවා විසින්.එබැවින් ගීතයක පූර්ණ අයිතිය එහි සංගීතඥයාට සහ ගීත රචකයාට හිමිවෙනවා.

“සුවඳ දැනී” වැනි ජනප්‍රිය නිර්මාණයක් උදාහරණයකට ගත්තොත්, එම ගීතය ඕනෑම අයෙකුට නොමිලේ ගායනා කිරීමට අවසර දෙන්න මට බෑ.. ඊට හේතුව එම නිර්මාණයේ සැබෑ අයිතිය එහි සංගීත නිර්මාණකරුවා මෙන්ම ගී පද රචක  අභාවප්‍රාප්ත අජන්තා රණසිංහ සූරීන්ගේ දරු මුනුබුරන් සතු වීමයි.

 තමන් නිර්මාණය කළ ගීතයක් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය තමන් සතු වුවද, වෙනත් අයෙකුගේ නිර්මාණයක් වෙනුවෙන් එවැනි ප්‍රකාශ සිදු කිරීමට කිසිදු ගායකයෙකුට හැකියාවක් නෑ.

කලාකරුවන් මහන්සියෙන් සිදුකරන නිර්මාණ වෙනුවෙන් ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනෑ, මෙරට බුද්ධිමත් රසික ප්‍රජාව මේ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකින් කටයුතු කරන්න.

ඒ වගේම විදෙස් රටවලින් මෙරට කලා ක්ෂේත්‍රයට සහ රටට ආදායමක් ගලා එන්නේ නම් එය රටේ ආර්ථිකයට මෙන්ම රජයේ බදු ආදායමටද ධනාත්මක දායකත්වයක් සපයන බැවින්, සියලු දෙනා එක්ව මෙවැනි ක්‍රමවේද ශක්තිමත් කිරීමට අත්වැල් බැඳගන්න ඕනෑ.