තරහත් යනවා හැබැයි ඉක්මණටම දුකත් හිතෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201116Miyesi (1)මියැසි සංදීපනී රඟපෑමේ ක්ෂේත්‍රයට පැමිණියේ හිරු නාළිකාවේ විකාශය වූ වස්සානේ ප්‍රේමය ටෙලිමාලාව සමගයි. ඉන් පසුව යූටියුබ් වීඩියෝ බොහොමයකට පෙනීසිටි ඇය කාලයකට පසුව නැවතත් මේ දිනවල හමුවන්නේ රාවණා - 2 නාට්‍යය සමගයි. එහි කුවේරගෙ දියණිය වූ “මියැසි” එක්කයි මේ කතා බහ. 

• මියැසි කොහෙද මෙච්චර කල් හිටියෙ? 

කාලයක් වැඩ කළේ නැහැ. ට්‍රැවල් ආයතනයක රස්සාවක් කළා. දැන්  එයින් අයින් වුණා. ඒ නිසා ආයෙත් රඟපෑම පටන් ගත්තා. අන්තිමට මම රඟපෑවේ මෝදර බඹරු නාට්‍යයේ. 

• කොහොමද රාවණා - 2 මීනක්ෂිට ලැබෙන ප්‍රතිචාර? 

මීට පෙර මම ඒ වගේ චරිතයක් රඟපාලා තිබුණෙ නැහැ. 
ඒක රජ කතාවක්. හරිම වෙනස් චරිතයක්. සාමාන්‍ය විදියට භාවිත කෙරෙන වචන නෙවෙයි. ඒ නිසා චරිතය වෙනස් වගේම දෙබස් මතක තියා ගැනීමත් ඇසීරුයි. ඒ විදියට අසීරුවෙන් රඟපෑමේ සතුට දැනෙන්නේ, ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්කයි. අපේ මහන්සියට ලැබෙන හොඳම දේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයි. මුලින්ම නම් ප්‍රේක්ෂකයින් මගේ දිහා බැලුවෙ රවලා. මොකද මීනක්ෂි කියන්නේ නපුරු චරිතයක්. හැබැයි දැන් නම් කතාව ගලාගෙන යන විදියට මීනක්ෂි නපුරුම නැහැ. 

• මෙතැන් සිට දිගමට රඟපෑම විතරද? 

දැනට හිතාගෙන ඉන්නේ නම්, රඟපෑම විතරක් කරන්නයි. ඒ අතරේ පුංචි ව්‍යාපාරයකුත් පටන් ගන්න ඉන්නේ. මේ දිනවල ඒකට ප්ලෑන් කරනවා. මොන දේ කළත් මෙතැන් සිට රඟපෑම ෆුල්ටයිම් වේවි. 

• මියැසි ඉගෙනීම එහෙම කළේ මොන වගේ ගමනක් යාමේ අරමුණ ඇතිවද? 

මෘදුකාංග අංශයේ ඉංජිනේරුවරියක වීමේ අරමුණින් ඉගෙන ගත්තේ. පසුව ICBT ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරණය සහ මානව සම්පත් අංශයෙන් ඉගෙනීම් කළා. උපාධිය ලබා ගැනීමට අවුරුද්දක් තිබියදී ඒ අරමුණත් අතර මඟදී නතර වුණා. ආයෙත් ඒ උපාධියත් ඉවර කරන්න හිතාගෙන ඉන්නේ. 

• රඟපෑමෙන් ලැබෙන ආදායම ගැන සෑහීමකට පත්වෙනවාද? 

එහෙම වෙන්න එපායැ. අද රඟපෑමේ ක්ෂේත්‍රයේ තියෙන්නෙත් ලොකු තරගකාරීත්වයක්. ඒ නිසා වෙලාවකට අපි බලාපොරොත්තු වන ගණන ලැබෙන්නේ නැහැ. හැබැයි එහෙමයි කියලා මම නම් අඩුවට රඟපාන්නෙ නැහැ. ලැබෙන වැඩේ හරියට කිරීම තමයි මගේ අරමුණ. එතකොට තව වැඩ ලැබේවි. අපි අපට ලැබෙන වැඩේ හරියට කළොත් ගණන ප්‍රශ්නයක් වෙන එකකුත් නැහැ. 

• රඟපෑමේ ක්ෂේත්‍රයට ආ දවසේ ඉඳලාම මේ විදියට ද කටයුතු කළේ? 

පුද්ගලිකව මම එහෙමයි. මට අනෙක් අය ගැන කියන්න බැහැ. මේ ෆීල්ඩ් එකට ආ දවසේ ඉඳලාම මම එක දිගට වැඩ කළේ නැහැ. ඒකට හේතුව වුණේ, උසස් අධ්‍යාපනය ලබන අතරේ, කලා කටයුතුවලට දායක වීම නිසයි. එහෙම ඉඳලා නැවතත් ක්ෂේත්‍රයට ආවම මට වැඩ ලැබුණෙ කලින් මම කළ දේවල් හොඳ නිසා වෙන්න ඇති. වස්තිලාගෙ මියුසික් වීඩියෝ බොහොමයකට මම පෙනී සිටියා. ඒවාට ලැබුණ ප්‍රතිචාර හරිම ඉහළයි. 

• මියැසිගේ රඟපෑම සීමා වෙන්න ටෙලිනාට්‍යවලට විතරද? 

චන්ද්‍රන් රත්නම් මහතාගේ ෆිල්ම් එකක රඟපෑවා. මේ වගේ ආදරයක්  චිත්‍රපටය රිලීස් වෙලා ඉවරයි. ඉන්පසුව තවත් චිත්‍රපට ලැබුණත් එක් එක් දේ නිසා ඒ අවස්ථා අහිමිව ගියා. හැබැයි ඉදිරියේදී චිත්‍රපටවල රඟපෑමත් මගේ තවත් අරමුණක්.

• කොහොමද අද මියැසිගේ ජීවිතය? 

ඉතාම සතුටින් කාලය ගත කරනවා. 

• දැන් විවාහකද? 

තවම නැහැ. තවත් වසර දෙකක් විතර ඇතුළතදී විවාහය සිදුවේවි. 

• කොහොමද මියැසිගේ ආදරේ? 

ආදරය හොඳින් තියෙනවා. ඒ නිසා සතුටින් කාලය ගත කරනවා. 

• මියැසිගේ ආදරය ගීතයක් වගේද? 

ඔව්. මිහිරිතම ලස්සන ගීතයක් වගෙයි. 

• මියැසිට ඒ නම දාලා තියෙන්නේ විශේෂ හේතුවක් නිසාද? 

මියුසික් කියන එකේ අරුත ඇතිව තාත්තා මට ඒ නම දැම්මේ පොඩි කාලයේ ඉඳලාම සිංදු කියන්න පුරුදු වෙලා හිටිය නිසයි. නිතරව මම සිංදු  කියනවාලු. ඉතින් මියුසික් කියන නම කෙටි කරලා මියැසි වෙලා. 

• මියැසිට මියුසික් පුළුවන්ද? 

ඕ ලෙවල් ඒ ලෙවල් දක්වාම සංගීතය විෂයයක් හැටියට කළා. මට හොඳින් ගයන්න පුළුවනි. හැබැයි මෑතකදී ගැයීම නිතරම නොකළ නිසා නැවතත් ප්‍රගුණ කරලා පුහුණු කරලා වැඩේට බහින්න ඕනැ. 

• කාගේ ගීතද වැඩිපුර ගයන්නේ? 

චන්ද්‍රලේඛා මහත්මියගේ ගීත මගේ හඬට ගැළපෙන නිසා නිතරම මම ගැයීමට ආසා එතුමියගේ ගීතයි. 

• අද දවසේ වැඩිපුර  අහන්නේ මොන වගේ ගීතද? 

හිංදි චිත්‍රපට ගීත අහන්න ආසයි. විශේෂයෙන්ම පසුගියදා මියගිය සුෂාන්ත් රඟපෑ චිත්‍රපටවල ගීත අහන්න ආසයි. 

• මියැසි, කොහොම චරිතයක් ද? 

කාගේවත් දේ හොයන්නේ නැති මගේ පාඩුවෙ ඉන්න කෙනෙක්. මට ටිකක් තරහත් යනවා. ඒ තරහව ටික වෙලාවයි තියෙන්නේ. ඉක්මනට දුක හිතෙනවා. හැමෝටම හොඳ මිත්‍රශීලී කෙනෙක් මම. 

• කෙටි ඇඳුම් විලාසිතා ඇඳීම වගේම, එක් එක් විලාසිතා කිරීම නිසා සමාජයේ කට කතා ඕපාදූප වගේ දේට මුහුණ දෙන්නත් වෙනවා නේද? 

මොනවත්ම නොකර නිකම්ම ගෙදරට වෙලා හිටියත් කට කතා ඕපාදූප පැතිරෙනවා.  කවුරු කොහොම මොන විදියට කිව්වත්, තමන් හරි නම් තමන් කවුද කියලා හරියටම දන්නේ තමන් නම්, ප්‍රශ්නයක් නැහැ. මම නම් කටකතා සහ ඕපාදූප හිතට ගන්න කෙනෙක් නෙවෙයි. ක්ෂේත්‍රයට ආපු දවස්වල නම් ඔය වගේ දේ ගැන හරියට දුක් වුණා. දැන් නම් මට ඒ ගැන වගක් නැහැ. ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න නම් අපි හැමෝටම ගරු කරන්න ඕනෑ. ඒ වගේම තමුන් කරන වැඩේ කැමැත්තෙන් ආසාවෙන් කරන්නට ඕනෑ. ජීවිතයට සතුට ලැබෙන්නේ තමුන් අන් අයට ගරු කරමින් කරන දේ ආසාවෙන් කළොත් විතරයි. ජීවිතයට විවිධ බාධක එනවා. ඒවාට මුහුණ දීලා ජීවත් වීමට අපි පුරුදු වෙන්න ඕනෑ. සියල්ලට මුහුණ දීමේ ආත්ම විශ්වාසයක් මට තියෙනවා.  

 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

20201116Miyesi (2) 20201116Miyesi (3) 20201116Miyesi (4)