නීතිය නිසා නර්තනය මඟ හැරුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ඇය අවතීර්ණ වුණේ ‘මුතුලෙන්දොර’ සිතුලි චරිතයෙනි. මෙලෙසින් ගමනකට අවතීර්ණ වූ ඇය කොළඹ සරසවියේ නීති පීඨයේ අවසන් වසරේ සිසුවියකි. නිරූපනය, රංගනය සහ නර්තනයට සමගාමීව දායක වන ඇය රංවල බළකායේ සාමාජිකාව ද වන්නීය. එක් දෙයකට වඩා බොහෝ දේට දක්ෂ රුවැති, නැණැති, මේ ශිල්පිනිය කවුද? ‘‘සචින්තනී කෞෂල්‍යා’’ යන දක්ෂතාවලින් පිරිපුන් ඇය සමගයි මේ කතාබහ.

• කවුද මේ සචින්තනී කියන්නෙ ?

කොළඹ සරසවියේ නීති පීඨයේ, අවසන් වසරේ ශිෂ්‍යාවක්. ඊට අමතරව මනෝ විද්‍යාව සම්බන්ධයෙන් ඩිප්ලෝමා අවසන් කරලා, ඊට අමතරව මනෝ චිකිත්සනය පිළිබඳව ඩිප්ලෝමාව හදාරනවා. රංවල බළකායේ ප්‍රාසාංගික ශිල්පිනියක ලෙස වැඩ කරගෙන යනවා. මානව සම්පත් කළමනාකරණය අංශයේ ඩිප්ලෝමාවකුත් හදාරනවා. ඊටත් අමතරව තමයි නිරූපණය සහ රංගනය, නර්තනය කරන්නෙ.

• කලාවට අවතීර්ණ වුණේ?

පොඩි කාලයේ ඉඳලාම නර්තනය කළා. උසස් පෙළට කලා අංශයෙන් කළෙත් නර්තනය. අපේ පාසලේ කලා අංශයේ දිනයට උත්සවයක් සංවිධානය කළා. ඒකට ආවේ සහන් රංවල සර්ගෙ කණ්ඩායම. ඒකෙදි මගේ නර්තනයක් දැකලා තමයි ‘සර්’ මාව රංවල බළකායට ගත්තෙ. 2015 දී පටන් ගත්ත ඒ ගමන එන අතරේදී 2017 දී රූපවාහිනි අවුරුදු කුමරිය අවසන් 10 දෙනා අතරටත් ආවා. පසුව කැම්පස් එකේ වැඩ පටන් ගත්ත නිසා කලා වැඩ ටිකකට නතර කළා. නැවත 2019 හිරු අවුරුදු කුමරිය අවසන් 12 දෙනා අතරට ආවා. එතැනින් පසුව නැවතත් කලාවේ ගමනට අවතීර්ණ වුණා. ‘මුතුලෙන් දොර’ මුල්ම නාට්‍යයට සම්බන්ධ වුණේ ඒ විදිහටයි. ඒකෙ චරිතෙ නම ‘සිතුලි’.

• ‘මුතු ලෙන්දොරෙන්’ පසුව ?

‘දාම්’ එකේ සුළු චරිතයක්. ඊළඟට එන්න තියෙන ඩ්‍රාමා එකේ නම ‘ඊෂ්වරි’ කියලා. දමිළ ගුරු තරුණියකගේ චරිතයක්. ඒක ප්‍රධාන චරිතයක්.

• ඇයි නීතිය හදාරන්න හිතුවෙ?

පොඩි කාලයේ මට තිබුණෙ නර්තන ගුරුවරියක වීමේ ආසාවයි. නමුත් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණා. ඊට අමතරව මම පාසලේ පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කළා. බස්නාහිර පළාත නියෝජනය කළා. ඊට අමතරව කැම්පස් එකේදිත් ක්‍රීඩා කළා. ඒ සියලු දේ එක්ක මට මග හැරුණු නර්තනය රංවල බළකායට බැඳීම එක්ක නැවතත් ප්‍රගුණ කරන්න ලැබුණාට නර්තන ගුරුවරියකවීමේ සිහිනය මග හැරුණා. ‘නීතිය’ තෝරා ගත්තෙ ඉන් පසුවයි.

• කොහොමද ‘නීතිය’ හදාරණ එක ලේසිද?

ලේසිමත් නැහැ. කුඩා කාලයේ ඉඳලාම වැඩ ගොඩක යෙදී සිටිය කෙනෙක්. ඒ සියල්ල සමබරව කිරීමේ හැකියාව තිබුණා. අදටත් මේ සියල්ල සමබරව කරන නිසා ඒක මට පහසුවක්. පාසලේ දී ශිෂ්‍ය භට කණ්ඩායමේ පවා හිටපු කෙනෙක් මම.

• ඔච්චර දේ කළ පාසල ගැන කියමු?

කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විදුහල. කුඩා කාලයේදී මම දක්ෂ දරුවෙක් නෙවෙයි. ශිෂ්‍යත්වය පාස්වත්, සා/පෙළ ‘ඒ’ නමය ගත්තෙවත්, උසස් පෙළ ඒ තුන ගත්තෙවත් නැහැ. හැබැයි පාසලින් අයින්වන විට වසරේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික අංශයේ ‘විශිෂ්ටතම’ ශිෂ්‍යාව සම්මානය හිමිකර ගත්තා. පාසලෙන් ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය එයයි. ඒ විදිහට ගමනක් ආවේ මගේ තියෙන කැපවීම නිසාමයි.

• ගම කොහෙද?

කඩවත.

• කියමුකො පවුලේ විස්තර?

අම්මයි - තාත්තයි - නංගියි - මමයි, අම්මා ගෘහණියක්. තාත්තා ව්‍යාපාරික කටයුතු කරනවා. නංගි මෙවර ඒ ලෙවල් විභාගයට සූදානම් වෙනවා.

• කැම්පස් ගමන ගැනත් කියමු?

‘ඒ’ තුනක් නම් නැහැ. ඒත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ‘38’ වැනියා. ලංකාවෙන්ම ‘289’ වෙනියා. ඒ විදියට තමයි කැම්පස් එකට තේරුණේ.

• ඉදිරියේ ප්‍රධාන අරමුණ නිරූපණය ද? රඟපෑමද? නීතිඥ වෘත්තියද?

මගේ ප්‍රධානම දේ මගේ ‘සතුට’ රැඳෙන තැනක වැඩ කිරීමයි. මගේම ව්‍යාපාරයක් කිරීම ප්‍රධාන අරමුණයි. ඉගෙනීම තරුණියකට ලොකු ආභරණයක්. ඒක ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරද්දී වටිනාකමක්. නිරූපණය, රංගනය, නර්තනය සහ අධ්‍යාපනයෙන් ලද දේ එක්ක, ඒ සියල්ලට සමගාමීව අඩු වැඩි වශයෙන් දායකත්වය ලබාදීම අරමුණයි.

• ඔබ අමතන්න ඕනෑ. සචින්තනී කියල ද? කෞෂල්‍යා කියල ද?

බොහෝ දෙනෙක් දන්නෙ සචින්තනී කියලයි. මගේ නමේ තවත් කොටසක් තියෙනවා.

• ඒ කොටසත් කියමු?

සචින්තනී කෞෂල්‍යා ගිම්හානි.

• ‘සචින්තනී’ගේ තේරුම?

මනා නුවණත් - චින්තනයත් ඇති කියන. මුළු නාමයේම අරුත ගත්තොත්, මනා නුවණක් ඇති, දක්ෂතා වලින් පිරි ඍතුව.

• ගිම්හාන කාලය වගේ සැරද? නැත්නම් වසන්තය වගේ ලස්සන ද?

ඔය දෙකම තියෙනවා. අසාධාරණකම් හමුවේ ගිම්හානයක්. සාධාරණයේදී වසන්තයක්.

• ‘සචින්තනී’ මොන වගේ කෙනෙක් ද?

බොහොම සරල, වගකීම් දරණ, වගකීම් දැරිය හැකි, ඕනෑම වැඩක් බාර ගත්තාම වුවමනාවෙන් කරන කෙනෙක්. සැහැල්ලුවෙන් නිදහසේ ජීවත්වන්න කැමති කෙනෙක්.

• ‘ජීවිතය’ දැනෙන්නෙ කොහොම ද?

හිතන තරම්ම ලේසි නැහැ. ගොඩාක්ම සුන්දරත් නැහැ. ජීවිතය සුන්දර කරගන්න උත්සාහ කරගන්න ඕනෑ. අපට ලෙහෙසිටයන් දෙයක් ලැබෙන්නෙ නැහැ. ලබාගන්න අපි උත්සාහවන්තව කැපවෙන්න ඕනෑ.

• දැන් වයස? 

23 යි.

• සචින්තනීට බැරි මොනව ද?

බොහෝ දෙනෙක් මගෙන් ඔහොම අහනවා. බොහෝ දේ ඉගෙන ගන්න කැමති කෙනෙක්. හැමෝටම උත්සාහ කළොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන්. පොඩියට හරි, පොඩි උත්සාහයක් හරි ගන්න පුළුවන් නම් අපට ජයගන්න පුළුවන්.

• මේ වයසට මෙච්චර පැහුණෙ කොහොම ද?

පොඩි කාලයේ ඉඳලාම අම්මා තාත්තා මග පෙන්වීම හැර ‘බාධා’ දැම්මෙ නැහැ. අපට තනියම ඉගෙන ගන්න, වැටෙන්න, අභියෝගවලට මුහුණ දෙන්න දුන්නා. ඒ විදියට ජීවිතය හදා ගන්න අවකාශය දුන්නා. අපි ඒවා වැරදියට පාවිච්චි කළේ නැහැ. හරි දේ කළොත් හරි යනවා.

• කොහොමද ආදරණීය වසන්තය තවම ගිම්හානයට සමීපවෙලා නැද්ද?

තවම මම පෙම්වතියක් නෙවෙයි. මට ආදරය තියෙනවා. අම්මා, තාත්තා, නංගි, ගුරුවරු සහ යාළුවන්ගෙ ආදරය ලැබෙනවා. කලා ක්ෂේත්‍රයෙන්ම ආදර යෝජනා ආවා. ඒත් තවම ඒ ගැන හිතලා නැහැ.

• තවත් මොනව ද සචින්තනීට කියන්න තියෙන්නෙ ?

ඉගෙනීම් වැඩ එක්ක මේ බාහිර දේ කරනවාට තාත්තා මුලින් කැමති වුණේ නැහැ. ඒත් අද අම්මා - තාත්තා නංගි ලබා දෙන සහයෝගය ඉතා ඉහළයි. වැරදි දේ නොකර හොඳ මාවතක යාම ගැන එයාලා ආඩම්බර වෙනවා. ඒ වගේම රංවල බලකායේ සහන් සර් ඇතුළු පිරිසත් මතක් කළ යුතුමයි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

20210330Hot-1 20210330Hot-2 20210330Hot-3