මගේ ජීවිතයත් එක්ක නර්තනය ගොඩක් සමීපයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210302praveena-2

මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි 'නාඩගම්කාරයෝ' කියන්නේ. එහි පාඨලීගේ යෙහෙළියගේ චරිතය වන ගීතිකාගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ ප්‍රවීණා. ප්‍රවීණා කලා ක්ෂේත්‍රයට අළුත් චරිතයක්. ඉතින් සාරවිට මේ පිළිසඳර ප්‍රවීණා සමගින්.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම ප්‍රවීණා කල්පනී දිසානායක. මම තවම උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. ඒ වගේම මේ දිනවල නාඩගම්කාරයෝ නාට්‍ය සමග ජීවිතය ගෙවෙනවා.

නාඩගම්කාරයෝ කියන්නේ ප්‍රවීණාගේ මුල්ම නිර්මාණයද?

ඔව්. මම නර්තනය තමයි හැදෑරුවේ පොඩි කාලේ ඉඳලා. තවමත් නර්තනය හදාරනවා. ටෙලි නාට්‍යකට මුලින්ම සම්බන්ධ වෙන්නේ නාඩගම්කාරයන්ට තමයි.

නාඩගම්කාරයෝ නාට්‍යට සම්බන්ධ වෙන්නේ කොහොමද?

අවස්ථාව ලැබෙන්නේ අහම්බයක්. කලා ක්ෂේත්‍රයට එකතු වෙන්න ලැබුණ එක අහම්බයක් විදිහට තමයි මම හිතන්නේ. නිෂ්පාදක චාමර සමරවික්‍රම මහත්මයා, තිර පිටපත රචනය කරන සද්ධා මංගල සූරියබණ්ඩාර මහත්මයා සහ අධ්‍යක්ෂ ශිවගුරුනාදන් මහත්මයා තමයි මට අවස්ථාව දෙන්නේ. මට අවස්ථාව ලැබෙන්නේ සංගීත් ප්‍රභූ අයියා හරහායි. 

'ගීතිකා'ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. හොඳ සහ නරක ප්‍රතිචාර දෙකම ලැබෙනවා. ඒවා නිහතමානීව භාර ගන්නවා.

පහුගිය දිනවල නාඩගම්කාරයෝ රූ ගත කිරීම් කෙටි කාලයකට නැවතුණා නේද?

ඔව්. අපේ රංගන ශිල්පීන් කිහිපදෙනෙක් අසනීප වුණු නිසා පොඩි කාලයකට තාවකාලිකව නවත්වන්න සිදුවුණා. අපේ අසනීප වුණු අය හැරෙන්න අනිත් හැමෝම නිරෝගීව ඉන්න නිසා දැන් නැවතත් ආරක්ෂිතව රූ ගත කිරීම් පටන්ගන්න සූදානමින් ඉන්නවා. 

නාඩගම්කාරයෝ නාට්‍යට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණාම ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?

මම කරන වැඩවලට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒගොල්ලෝ මගේ කැමැත්තට ඉඩ දෙනවා. නාඩගම්කාරයෝ ගැන විස්තර කිව්වාම හැමෝම සතුටු වුණා.

20210302praveena-3

මේ නාට්‍යයේ ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් ඉන්නවා. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඔව්. ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පීන් ගොඩක් නාඩගම්කාරයෝ සමග එකතු වෙලා ඉන්නවානේ. රූ ගත කිරීම්වලදී මට ඔවුන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. එයාලගේ උපදෙස් එක්ක මම එතැනට අළුත්, ආධුනිකයි කියලා මට දැනෙන්න දෙන්නේ නැහැ. දර්ශනතලයේදී අපි හැමෝම එකට සහයෝගයෙන් ඉන්නේ.

කලාව පැත්තෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

ඔව්. කලාවෙන් ඉස්සරහට යන්න කැමතියි. ලැබෙන ආරාධනා ගැන හිතලා බලලා හොඳ නිර්මාණ භාර ගන්නවා.

ඔබ පාසැල් වේදිකාවේත් ජනප්‍රිය චරිතයක්ද?

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් තමයි මම ද්වීතීක අධ්‍යාපනය හදාරන්නේ. පාසැලේදී මාව ගොඩක් අය දන්නේ නැටුම් කරපු නිසා. පාසැලේ හිටපු යාළුවොත් හොඳ ප්‍රතිචාර දෙනවා. කතා කරනවා. මුළු පාසැලේම සහයෝගයත් ලැබෙනවා.

නාඩගම්කාරයෝ නාට්‍යයේදිත් ඔබ නර්තන සිසුවියක්. ඒ චරිතය දැනෙන්නේ කොහොමද?

ඇත්තටම මගේ ජීවිතයත් එක්ක නර්තනය ගොඩක් සමීපයි. ඒ නිසා මගේ නර්තනය සම්බන්ධ දැනුමයි, ප්‍රවීණයින්ගෙන් ලැබෙන සහයෝගයයි නිසා ගීතිකා චරිතය නිරූපණය කරන්න මට ගොඩක් පහසු වුණා.

මේ ජනප්‍රියත්වය මත අළුත් නිර්මාණවලට ආරාධනා ලැබුණාද?

අළුත් නිර්මාණ කිසිවක් දැනට භාරගෙන නැහැ. නාඩගම්කාරයෝ එක්ක තමයි මේ දවස්වල ජීවිතේ යන්නේ.

විශේෂයෙන් මතක් කළ යුතු අය කවුද?

මුලින්ම මගේ පවුලේ අයව මතක් කරන්න ඕනේ. ඊටපස්සේ නාඩගම්කාරයෝ නාට්‍යයේ සියළුම ශිල්පීන් සහ ශිල්පිනියන්ව. එතකොට එහි නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතාව, තිර රචක සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා සහ අධ්‍යක්ෂ ශිවගුරුනාදන් මහත්මයාව. ආදරණීය මෙහෙයවීමක් ඔහුගෙන් ලැබෙනවා. ඊට අමතරව මගේ යාළුවෝ හැමෝමවත් මතක් කරනවා.

සාකච්ඡා - කැළුම් දේවින්ද

20210302praveena-420210302praveena-1