මම මුදල් වියදම් කරලා පැජන්ට් දිනලා නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2021324radika-1

රධිකා කියන්නේ ජාත්‍යන්තරය ජයගත් දක්ෂ නිරූපණ ශිල්පිනියක්. දැනට වසර ගණනාවක පටන් ඇය නිරූපණ ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ තිබෙනවා. ඉදිරියේදී රධිකා ලංකාවේ නිරූපණය පිළිබඳව පාසැලක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒ ගැන දැනගන්න ඇයව සාරවිට කතාබහකට සම්බන්ධ කරගන්න අප සිතුවා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම රධිකා ගුණවර්ධන. මම නිරූපණ ශිල්පිනියක් ලෙස වසර පහළොවක් පමණ ක්ෂේත්‍රයේ වැඩ කරනවා. වෙළඳ දැන්වීම් සහ සඟරාවලට නිරූපණයෙන් දායක වෙනවා.

රධිකා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?

මම ෆීල්ඩ් එකට එන්නේ Miss Working Girl - 2005 තරඟාවලිය හරහා. හැබැයි Miss Working Girlවලට කලින් Capri Queen - 2005 තරඟාවලිය පැවැත්වුවා. 2005 ඒ ආපු ගමන නිසා තමයි මේ වෙනකල් ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ. මේ වෙද්දි මම පැජන්ට් පහළොවක් පමණ දිනලා තිබෙනවා.

ඔබ ජයග්‍රහණය කළ පැජන්ට් ගැන කිව්වොත්?

Capri Queen - 2005 (Looks of the year, Finalist), Miss Working Girl - 2005 (Miss Photogenic, 2nd Runner up), Ms. Lanka - 2005 (Ms. Cat walk, Ms Talent, Winner), Sirasa Kumariya - 2007 (2nd Runner up, Miss tourism queen internationl), Mrs. World Gold medalist 2013, Mrs Sri Lanka for Mrs. Asia International All Nations 2015,  Mrs Sri Lanka for Mrs. Asia International Best Figure 2015, Mrs. Asia International - 2015 (Best National Costume, Mrs. Elegance), Mrs. Universe Sri Lanka - 2015 යන පැජන්වලින් ජයග්‍රහණ ලබා තිබෙනවා.

ඒ පැජන්ට්වල අත්දැකීම් ගැන කියමුද?

මම ජාතික හා ජාත්‍යන්තරව දිනපු හැම තරඟයක්ම මගේ හැකියාවෙන් දක්ෂතාවයෙන් දින්නේ. මම මුදල් වියදම් කරලා හෝ ඇඟ විකුණලා දිනලා නැහැ.

දැන් පැවැත්වෙන පැජන්ට් සහ ඒ දවස්වල තිබුණු පැජන්ට් අතරේ විශාල වෙනසක් තිබෙනවා. මම 2015 වෙනකල්ම පැජන්ට්වලට සහභාගී වුණු නිසා ඒ කාල දෙක අතරේ තිබෙන වෙනස්කම් හොඳට පැහැදිලියි. නැෂනැල් ඩිරෙක්ටර්ව පෞද්ගලිකව හඳුනනවා නම් හෝ සල්ලි වියදම් කරන්න පුළුවන් නම් දැන් ගොඩක් පැජන්ට් දිනන්න පුළුවන්. දැන් මුදලට පැජන්ට් එකක් විකිනෙනවා. හැබැයි ඉස්සර එහෙම නෙවෙයි. හොඳ තත්ත්වයක් තිබුණා.

2021324radika-2

ඔබ දායක වුණු වෙළඳ දැන්වීම් ගැන කිව්වොත්?

මයිලෝ, ශ්‍රී ලංකන් එයාර්ලයින්, SLT, CDB, හච් වගේ ගොඩක් වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා.

ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලේදී ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය සහ සහයෝගය කොහොමද?

ලොකු බලපෑමක් තිබුණේ නැහැ. මම පොඩි කාලේ ඉඳලාම නිරූපණ ක්ෂේත්‍රයට හරි කැමැතියි.

ඒ කියන්නේ පොඩි කාලේ බලාපොරොත්තුවක්ද මේ ඉෂ්ට වෙලා තියෙන්නේ?

ඔව්. මම පුංචි කාලේ ඉඳලා ආසා කරපු චරිතයක් තමයි රෝසි සේනානායක මහත්මිය. ඒ කාලේ මමත් හීන දැක්කේ බියුටි ඉන්ඩ්‍රස්ටි එක පැත්තෙන් කවදාහරි එයා වගේ කෙනෙක් වෙන්න.

රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?

ආරාධනා ගොඩක් ලැබිලා තිබෙනවා. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදී සිරස නාලිකාවේ වැඩ කළා. ඒ දවස්වල ඉඳලා මට ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා. හැබැයි ඒ කාලේ මම රට යන්න බලාපොරොත්තුවෙන් හිටියේ. ඒ නිසා මම ඒ එකකටවත් සහභාගී වුණේ නැහැ.

අද නවකයින්ට ක්ෂේත්‍රයට එන්න පුළුවන් තත්ත්වයක් නැද්ද?

නවකයින්ට එන්න ඕනෑ තරම් අවස්ථා තිබෙනවානේ. ඉස්සරට වඩා හොඳ අවස්ථා අද ආධුනිකයින්ට ලැබෙනවා.

ඒ වුණාට ඔවුන් ක්ෂේත්‍රයේ රැඳෙන්නේ ඉතා අඩුවෙන් නේද?

ඒ ක්ෂේත්‍රයට ඇවිත් හරි විදිහට ඉන්නේ නැති නිසානේ. ක්ෂේත්‍රය ඇතුළේ වෘත්තීමය ගරුත්වය තියාගෙන හරි විදිහට වැඩ කරනවා නම් එයා අනිවාර්යෙන්ම ක්ෂේත්‍රයේ රැඳෙනවා. වෙන වෙන අවශ්‍යතාවලට ෆීල්ඩ් එකට ආවාම මගදි හැලෙනවා.

ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවාද?

මම මේ වෙද්දි ඉන්දියානු සමාගමක Consultant කෙනෙක් විදිහට රැකියාව කරනවා. ඊට අමතරව තව ඉන්දීය සමාගමකට මොඩ්ලින් කරනවා. එතකොට මම ලංකාවේ මොඩ්ල් ස්කූල් එකක් පටන්ගන්න ඉන්නේ. ඒ හරහා නවක නිරූපණ ශිල්පිනියන්ව බැංගලෝර්වල නිරූපණයට සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙදි ඔවුන්ට හොඳ ගෙවීමක් සහ හොඳ තත්ත්වයක් නිර්මාණය වෙනවා.

උදව් කළ අය ගැන කිව්වොත්?

මම මේ ගමන ආවේ මගේ උත්සාහයෙන් තනියම. හැබැයි සිරසෙන් මට ගොඩක් උදව් කළා. එහි සුසාර දිනාල් මහත්මා ඇතුළු සිරසට මම ස්තූතියි කරනවා. එතකොට දුලීකා මාරපන අක්කා සහ සුජීව අයියාටත් ස්තූතියි කරනවා.

කැළුම් දේවින්ද

2021324radika-3 2021324radika-4 2021324radika-5 2021324radika-6 2021324radika-7