පොළොන්නරු රාජධානියේ නටඹුන් 03



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200109polonnaruwa-4

ඓතිහාසික පොළොන්නරුව රාජධානියේ ඉතිරිව ඇති නටඹුන් කිහිපයක් පිළිබඳව පසුගිය ලිපි දෙකෙන්ම ඔබට ගෙන ආවෙමු. පොළොන්නරුව නටඹුන් නගරයේ ඉතිරිව ඇති හඳුනාගත් සහ හඳුනා නොගත් නටඹුන් අප්‍රමාණය. ඉන් තවත් කිහිපයක් පිළිබඳව මෙම ලිපියෙන් ඔබට ගෙන ඒමට අප බලාපොරොත්තු වන්නෙමු.

වටදාගේ

20200109polonnaruwa-3

පොළොන්නරුව රාජධානියේ නටඹුන් පිළිබඳව කතා කිරීමේදී අමතක කළ නොහැකි ස්ථානයක් ලෙස වටදාගේ හඳුන්වන්න පුළුවන්.  පොළොන්නරුවෙහි දක්නට ලැබෙන නිර්මාණයන් අතුරින් විශිෂ්ටතම නිර්මාණයක් ලෙස වටදාගේ හඳුන්වන් ලබයි. වටදාගේ යන්නෙහි අර්ථය වන්නේ වටකුරු ධාතු ගෘහය යන්නයි. පරාක්‍රමබාහු රජු විසින් පොළොන්නරුවෙහි ශෛලමය වටකුරු දළදා ගෙයක් කළ බව සඳහන් වන බැවින්, දළදා මළුව තුළ පිහිටි මෙම වටදාගේ ඇතැම්විට ප්‍රථමයෙන් දළදා මන්දිරය ලෙස භාවිත වන්නට ඇත. එහෙත් ගල්පොත ලිපියට අනුව නිශ්ශංකමල්ල රජු විසින් දළදා මළුව තුළ වටදාගෙයක් කළ බවත් සඳහන් වන අතර එය රතනගිරි වටදාගේ නමින් හඳුන්වන බවත් සඳහන් වීමෙන් පෙනෙන්නේ අවම වශයෙන් නිශ්ශංකමල්ල රාජ සමයේදීද, නවකම් කිරීමක් හෝ ප්‍රතිසංස්කරණයක් මෙහිදී සිදුවී ඇති බවයි. දිවයිනේ පිහිටි අනෙකුත් වටදාගේවල් මෙන්ම මෙම වටදාගෙයද දිස්වන්නේ ස්තූපයක් වටා ඉදිවුණු වටකුරු මන්දිරයක් ලෙසය. වර්තමාන ස්වරූපය මෙයට ලැබී ඇත්තේ නිශ්ශංකමල්ල සමයේදී හෝ දඹදෙණි යුගයේදී සිදුවු වූ නවකම් හෝ ප්‍රතිසංස්කරණවලදී විය හැකිය. මෙහි පියස්ස ගල් ටැම් මත දැව පරාල යොදා උළු සෙවිල්ලා තිබෙන්නට ඇත. මෙහි ඉහළ මාලකයෙහි උතුරු දිශාවට මුහුණලා ඇති සඳකඩපහණ සහ නැගෙනහිර දිශාවට මුහුණලා ඇති මුරගල් යුගලයේ පොළොන්නරුවේ දක්නට ලැබෙන එම වර්ගයේ විශිෂ්ටතම නිදර්ශන ලෙස හැඳින්විය හැක.

පබලු වෙහෙර

20200109polonnaruwa-2

පොළොන්නරු පැරණි නගරයට පිවිසීම සඳහා නැගෙනහිර දොරටුවේ සිට වැටී තිබුණු මහා වීදියට දකුණෙන් වන පරිදි පිහිටා ඇති මෙම වෙහෙර මහා පරාක්‍රමබාහු රජුගේ බිසවක් වූ රූපවතී බිසව විසින් ඉදිකර වූ බවට විශ්වාස කරයි. එහෙත් මෙහි පැරණි නම හෝ මෙය ඉදිකරනු ලැබුවේ කවුරුන්ද යන්න තවමත් නිශ්චිතවම තහවුරු කර නොමැත. ජනප්‍රවාද ගතව එන පබළු වෙහෙර යන නම මේ අවටින් විශාල ලෙස පබළු හමුවීම නිසා පටබැඳුනක් විය හැකිය. ස්තූපය වටා පිහිටි මළුව මත පිළිම ගෙවල් රැසක් දක්නට ලැබේ. ස්තූපයේ දකුණු දෙසින් එහි පේසාවන් වෙත නැගිය හැකි පරිදි පටු පියගැටපෙළවල් තුනක් යොදා තිබීම මෙම ස්තූපයේ විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.

සත්මහල් ප්‍රාසාදය

20200109polonnaruwa-1

සාම්ප්‍රදායික සත්මහල් ප්‍රාසාදය ලෙස මෙම ගොඩනැගිල්ල හැඳින්වූවත්, මෙහි පැරණි නම හෝ අනෙකුත් තොරතුරු මෙතෙක් නිශ්චිතවම හෙලිදරව් කරගෙන නොමැත. අග්‍රගන්‍ය පාලකයෙකු වූ මහා පරාක්‍රමබාහු රජු විසින් පොළොන්නරුවේ සත් මහල් ප්‍රාසාදයක් කර වූ බවට මහාවංශයේ සඳහන් වන අතර ඒ මෙම ගොඩනැගිල්ල බව විශ්වාස කරන්නට අපහසු බව පුරාවිද්‍යාඥයෝ පවසයි. ඉහළට නැගෙන විට ක්‍රමයෙන් කුඩාවන ලෙස ඉදිකළ මහල් හතකින් යුත් මෙම අටල්ල විරල ගණයේ ස්තූපයක් විය හැකිය. තායිලන්තයේ ලමින්හ  වාත් කුකුත් විහාරයේ ස්තූප මීට බෙහෙවින් සාමානය. අග්නිදිග ආසියාතික රටවල වාස්තු විද්‍යා ලක්ෂණ මෙම සත්මහල් ප්‍රාසාදයේ දක්නට ඇත.

කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග