කුඩා වැල්ලේ දිය වෙඩිල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-1852

මුහුද හඬයි

ඒ හැඬිල්ලේ ඉවරයක් නැත. සැබැවින්ම එය මහා වැළපිල්ලකි.

ඈත අනන්තයේදී උපන් රළගෙඩි දුරුකතර ගෙවාගෙන වෙරළ වෙත එන්නේ මහා බලාපොරොත්තු ඇතිවය. කලෙකින් නුදුටු වෙරළ සිපගන්නටය. වෙරළට ආදරය කරන්නටය. ඒ එන්නේද නිකම්ම නොවේ. ප‍්‍රීති ඝෝෂා නගමිනි.

රැුල්ලේ බලාපොරොත්තුව ඉටුවේ

දිගු වෙරළ තීරයේ ඇති සුදෝ සුදු වැලිපලස මහත් ආදරයෙන් වැළඳගනී.

රැුල්ලත් වෙරළත් සතුටිනි.

ආදරය උතුරායයි.

මැවෙන්නේ කිරි සිනාවකි.

එහෙත්?

ඒ හමුවීම ඇසිල්ලකට සීමාවෙයි

කිරි සිනා වියැකී යයි.

සිඳී බිඳී ගිය රළගෙඩිය සයුරු දියේ බොඳවෙයි.

එහෙත් යළිත් හමුවීමේ බලාපොරොත්තු සිතේ උපද්දාගෙන තවත් රළක් ලෙස වෙරළ සොයා එන්නට හැම රැුල්ලක්ම සැරසේ.

ආදරය එබඳුය.

මේ සංසිද්ධීන් ලංකාව වටේදීම අපි දැක බලාගන්නෙමු. සයුරේ නිරන්තර ඝෝෂාව අසාඉමු. රළ නැගෙන හැටි, රළ බිඳෙන හැටි බලා හිඳිමු.

වෙරළේ බොඳව යන කිරි පෙණ පිඬු දෙස බලා සිටිමු.

එහෙත් කුඩාවැල්ලේදී අපට දකින්නට ලැබෙන්නේ ඊට වඩා වෙනස් දෙයකි.

එතැන වෙරළක් නැත. එහෙත් මහා කළු ගලකි. ඈත සිට එන යෝධ රළ ගෙඩි වැදෙන්නේ අන්න ඒ කළුගලේය. එවිට නැගෙන්නේ මහා ඝෝෂාවකි.

ඉනික්බිති රළ බිඳෙන සීමාවට මඳක් ඔබ්බෙන්, මල් වෙඩිල්ලක් අහසට නැගේ. අඩි හතලිහක් පනහක් තරම් උසකදී ඒ වෙඩිල්ල පුපුරා යයි.

යළි හතර දිග් භාගයටම පතිත වන්නේ වතුරය.

එසේ නම් එය මල් වෙඩිල්ලක් නොවේ, දිය වෙඩිල්ලකි.

මේ දිය වෙඩිල්ලට නමක් තිබේ. හුම්මානය යනුවෙනි.

හේතුව, මේ දිය වෙඩිල්ල අහසට විදින්නේ හූම් හඬක් නගාගෙන බැවිනි.

ඒ ‘හූම්....’ හඬ, නිසා හුම්මානය යන නම ඊට ලැබිණි.

හුම්මානයේ උපත වෙනස්ම කතාවකි. වෙරළක් සොයා කඩාගෙන බිඳගෙන එන රළගෙඩි කළුගල් පව්වේ වදියි.

එවිට කළුගල් පව්වේ ඇති දෝනාවක් ඔස්සේ ඇතුල්වන ජලය ඒ දෝනාවේ ඇති විවරයකින් අහසට පනී. දිය වෙඩිල්ලක් මැවෙන්නේත් ‘හූම්’ හඬ නැගෙන්නේත් එවිටය.

මේ දෝනාවට ඇතුළුවන සයුරු රළේ වේගය, දියවෙඩිල්ලේ උසත් බලයත් තීරණය කරයි.

ඇතැම් දිය වෙඩිල්ලක් අඩි විස්සක් තරම් ඉහළ නැගෙද්දී, තවත් එකක් අඩි අසූවක් අනූවක් තරම් ඉහළ නැගෙයි.

මුහුදේ වාරකන් ස්වභාවය අනුවද හුම්මානයේ ලස්සන තීරණය වේ. දකුණු මුහුද වියරුවන තරමට හුම්මානයේ උස වැඩිය. ලස්සන වැඩිය. පුපුරන දිය වෙඩිල්ලේ දිය විසිරෙන දුර ප‍්‍රමාණය වැඩිය. කුඩා වැල්ල ධීවර වරාය අසලින් ඇති හුම්මාන මාවත දිගේ පා ගමනින් විත් උස් ශිඛරය නැග්ග විට හුම්මානයට ළඟා විය හැකිය.

හුම් හඬ නගමින් දියමල් විහිදුවන හුම්මානය දකිනවිට පය ඉක්මන්වෙයි.

මේ අපූරුව මොකක්ද යන කුතුහලය හිතේ උපදී එතැනට දුවන්නට හිතේ. අවට ගල් බිත්ති ඛාදනයවී තිබේ. නිරතුරුවම ඇද වැටෙන ජලය හේතුවෙනි. කෙසේ වෙතත් ඒ ගල් බිත්ති සුන්දර සිත්තමක් සේ පෙනේ.

දිය වෙඩිල්ලක් අහසට නැගේ.

ඇසිල්ලකින් එය පුපුරා යයි.

දිය මල් දහසක් ආපසු බිමට වැටෙයි.

හුම්මානයේ ලස්සන බලන්නට එතැනට රොක් වූ උදවියගේ සිරුරු නැහැවෙයි.

ඒ දිය වෙඩිල්ල වඩාත් උසකදී පිපිරී වැඩි වට ප‍්‍රමාණයකට දිය මල් විහිදීම නිසාවෙනි. නරඹන්නෝ සිනාසෙති. එහෙත් ඒ සියල්ලන්ම තෙමිච්ච කුකුළන් වැන්න.

අතවූ දුරකථන, කැමරා සඟවා ගත්තේ දැන්ය. එහෙත් ඒ සියළු උපකරණද ලූණු වතුරට තෙමී අවසන්ය.

සිරුරු තෙත බරිතය. සියලූ ඇඳුම් තෙතය.

ඒ අල්ල පනල්ලේ තවත් දිය වෙඩිල්ලක් අහසට නැගී පුපුරා ගොස් අවසන්ය.

වෙරළට එන රැුල්ලක් රැුල්ලක් පාසා දිය වෙඩිල්ලක් ඉහළ නැගෙන බැවිනි.

මම අවට බලමි

වෙනස් පරිසරයකි.

හුම්මානයට ඔබ්බෙන් පුංචි උද්‍යානයකි. එහි සිමෙන්ති බංකු එකක් දෙකක් වෙයි. අවශ්‍ය නම් ඒ බංකුවක වාඩිවී විවේක ගන්නට පුළුවන. මුහුදේ වැළපිල්ල අසා සිටින්නට පුළුවන.

නිවී සැනසිල්ලේ ගතව යන මෙවැනි හෝරාවක් සිතට සදාකාලික මතකයක්වීම වළක්වන්නට බැරිය. හිතක උපදින ගී සිතිවිල්ලක් අමරණීය ගීතයක් වීමට ද බැරිනැත.

එහෙත් හුම්මානයට වම් පසින් ඇත්තේ ගස් කොළන් රැුසකි. ඒ ගස් අතරින් ඇවිද යනවිට පෙනෙන්නේ කුඩාවැල්ලේ ධීවර වරායයි. ඊට ඔබ්බෙන් ඇති මුහුද විසිතුරුය.

හුම්මානය ළඟදී දැනෙත වෙනසට වඩා වෙනස් සිතිවිලි උපදවන්නට මේ වෙරළ සමත්ය.

ඉතින් මම එතැනද නවතිමි.

හුම්මානයේ ‘හූම්’ හඬ මෙතැනටද ඇසෙයි.

ලංකාවේ එකම හුම්මානයේ ලස්සනම දර්ශනය යළි යළිත් දකිනු වස් මම එතැනටම යමි. මේ හුම්මානයට දිගු ඉතිහාසයක් ඇත. ආර්.එල්. බ්‍රෝහියර් ලංකාවේ ඇසූ දුටු දේ ගැන පොත ලියද්දී, මේ හුම්මානය ගැන ලිව්වේය. එහෙත් දෙස් විදෙස් සංචාරකයන්ට මේ හුම්මානය රහසක් විය. දික්වැල්ල කුඩාවැල්ල වැනි අවට ප‍්‍රදේශවල ජනතාව පමණක් තම නෑ හිතමිතුරන් ගමට පැමිණිවිට හුම්මානය පෙන්නන්නට එක්කගෙන ගියේය.

හුම්මානය නරඹන්නන් අතරේ සංචාරකයන් අතරේ ප‍්‍රචලිත වන්නේ මීට දශක තුනකට පමණ පෙර පටන්ය. ඒද මාධ්‍යවලින් දැක බලාගැනීමෙන් පසුවය.

අද හුම්මානය ප‍්‍රබල සංචාරක ආකර්ශනයකි. දේශයෙන් පමණක් නොව විදේශයෙන්ද සංචාරකයෝ පැමිණෙති.

හුම්මානය නුදුටු නෙත් කුමටදැයි ඒ හැමෝම සිතනු නියතමය.

 

ශාන්ත කුමාර විතාන

 

2019-08-09-ent-1855 2019-08-09-ent-1851  2019-08-09-ent-1853 2019-08-09-ent-1854