සංචාරක ආකර්ශනයට නතු වන පරාක්‍රම සමූද්‍රය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1576

'පොළොන්නරුව' කියූ සැනින් එකවරම අප කාගේත් මතකයට නැගෙන නාමයන් කිහිපයකි. පොළොන්නරු රාජධානියේ ඉතිරිව ඇති ශේෂයන්, පරාක්‍රමබාහු රජු සහ පරාක්‍රම සමූද්‍රය ඉන් කිහිපයකි. අද කතා කතා කරන්නේ පොළොන්නරුවෙහි ජල ආධිපත්‍යය රඳවාගෙන තිබෙන පරාක්‍රම සමූද්‍රය පිළිබඳවයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාතම ජල සැපයුම ලෙස හඳුන්වන්නේ පාරාක්‍රමබාහු රජු විසින් කරවූ පරාක්‍රම සමූද්‍රයයි. තෝපා වැව, එරමුදු වැව, දුඹුටුළු වැව, කලහගල වැව සහ භූ වැව යන වැව් කිහිපය එකට එකතු කරමින් නිර්මාණය කර තිබෙන පරාක්‍රම සමූද්‍රය වර්ග කිලෝමීටර 22.6ක වපසරියක පැතිර තිබේ. පොළොන්නරුව යනු ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලනයකට උරුමකම් කියන ඉතිහාසයක් ඇති දිස්ත්‍රික්කයකි. කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවිකාව කරගත් පොළොන්නරු වැසියන් ලංකාවේ සහල් අවශ්‍යතාවයට විශාල දායක්වයක් දක්වන අතර මිරිදිය ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයකම නිරත වෙයි. මොවුන්ගේ බොහෝ ජීවිකාවන් බැඳී ඇත්තේ පරාක්‍රම සමූද්‍ර ජලයත් සමගය.

පරාක්‍රම සමූද්‍රයෙහි සන්ධ්‍යා කාලය ඉතා සුන්දරය. සන්ධ්‍යා සමයට රක්ෂිත තුළ සිටින වල් අලින් සිය ජල අවශ්‍යතාවය සඳහා පරාක්‍රම සමූද්‍රයේ ඉස්මත්තට පැමිණීම දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ද මහත් ආස්වාදජනකව නරඹති. ජලස්නානය සඳහා පැමිණෙන අලි ඇතුන්ගේ ජල ක්‍රීඩා පරාක්‍රම සමූද්‍රය අවට නිරන්තරයෙන් දැකිය හැකිය. එමෙන්ම පරාක්‍රම සමූද්‍රයෙහි මිරිදිය ධීවර කටයුතු කරන ධීවරයින්ටද ගොවිතැන් සිදු කරන ගොවීන්ට නිරතුරුවම වන අලි ප්‍රහාරයන්ටද ලක් වන බවද අපට දැනගන්නට ලැබිණි.

ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ රැසක්ම සිටින පරාක්‍රම සමූද්‍රය නිරතුරුවම කුරුළු විශේෂයන්ගෙන් සහ වන සතුන්ගෙන් පිරී තිබීමද මෙහි විශේෂත්වයකි. සමූද්‍රයෙහි කලහගල වැවට මදක් ඈතින් පිහිටා ඇති කුරුළු දූපතෙහි කුරුල්ලන්ට අමතරව වන අලිද ජීවත් වෙයි. පරාක්‍රම සමූද්‍රයෙහි තවත් කොටසක ජලයෙන් යටවුණු සීත මාලිගාව පිහිටා තිබෙන අතර එය වියළි කාලගුණ කාලයේදී නැවත උඩට මතුවෙයි. මෙම සීත මාලිගය පරාක්‍රමබාහු රජු විසින් ගිම්හාන ඍතුවේදී වාසය කිරීම සඳහා භාවිතා කළ බවට සැලකේ. වියළි කාලගුණය පවතින කාලයේදී මෙම මාලිගය දැක බලාගැනීමට බොහෝ සංචාරකයින් පැමිණේ. පොළොන්නරුවෙහි නටඹුන් නගරය නරඹා සන්ධ්‍යා කාලයේදී පරාක්‍රම සමූද්‍රයෙහි අසිරිය නැරඹීමට සංචාරකයින් මහත් ආශාවක් දක්වයි.

'අහසින් වැටුණු වැසි බිඳක් පවා මනුෂ්‍ය ප්‍රයෝජනයට භාජන නොවී මුහුදට ගලා නොයා යුතුයි' යනුවෙන් ප්‍රකාශ කල පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයේදී ලංකාව ස්වයංපෝෂිත ආර්ථික රටාවකට හුරු කළේය. එහි ප්‍රතිපලයක් ලෙස නිමවුණු පරාක්‍රම සමූද්‍රය එදා සිට අද දක්වාත්, අනාගතය දක්වාත් පොදු ජනතාවගේ ආර්ථිකයට විශාල ශක්තියක් වෙයි.

 

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග

 

 2019-12-18-ent-1570 2019-12-18-ent-1571 2019-12-18-ent-1572 2019-12-18-ent-1573 2019-12-18-ent-1574 2019-12-18-ent-1575