අහස සිඹින ‘කබරගොයා’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“හෙමිහිට ඇද හැලෙන පොද වැස්සේ සීතලත් මහා වනාන්තරේ පයිනස් ගස් අතරින් හමාඑන සුළඟත්, වැහි වළාකුලින් වෙලාගත් නිල් අහසත් ටිකෙන් ටික මීදුමෙන් වැහී ගෙන එන කබරගල කඳුපන්තියත් මනරම් චිත්‍රයක් මවා ඇත. මම වසඟ වූ ඇසින් ඒ දෙස බලා සිටිමි. අව් රශ්මියත් සමඟ දහවල තිබූ විඩාබර මනසට හීනියට වැටෙන පොද වැස්ස සන්ධ්‍යාවට මිහිරක් බව අමුතුවෙන් කිවයුතු නැත. විඩාව නිවන්නටත් නතර නොවූ අප කණ්ඩායම අඩියට දෙකට මහ වන මැදින් කඳු මුදුනට ළඟා වූයේ මහ වැස්සට පෙර කූඩාරම අටවාගන්න අභියෝගාත්මක බලාපොරොත්තු වෙනි. ස්වභාවික චිත්‍ර අතර අතරමං වී සිටි මා පියවි සිහියට ආවේ කූඩැල්ලන්ගේ දැවැන්ත ආක්‍රමණයට ද ගොදුරු වෙමිනි.”

සොබාව සෞන්දර්යයේ අතිශය සුන්දර තැන්වල උරුමක්කාරයන් වුණු ලාංකික අපට දැන් ප්‍රියකරන ස්වභාවික දියඇළි කඳුපන්ති, මහා වනාන්තරවල ඒ ආශ්වාදය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් මනරම්ය. දොළොස්බාගේ කඳුපන්තියේ උසම කඳුරාජිණිය ලංකාවේ මා තරණය කර ඇති කඳු අතුරින් නෙත් වශී කරවූ කඳුපන්තියකි. 

අසුපිනි ඇල්ල, ගල්පොත්ත, සුදුගල ඇල්ල, කඩියැල්ලෙන, ගලබොඩ ඇල්ල ආදී මනරම් දිය ඇලි අතරින් බුලත්කොහුපිටිය, දේදුගල හරහා දොළොස්බාගේ කඳුවැටියේ උසම කන්ද වන මීදුමෙන් වැහුණු කබරගල කන්ද සොයා ගිය මේ ගමන ඉතා සුවිශේෂී චාරිකාවකි. 
අනෝරා වැසි කටුක අත්දැකීම් බාධා මැද වුවත් මේ රමණීය කඳු පන්තිය අලංකාර භූමි දර්ශනය අපේ ගතට මනසට ගෙනදුන්නේ පුදුමාකාර අශ්වාදයකි. 

කබරගල යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරයට යාබද සොබාව සෞන්දර්යයේ අපූරු වූ විශ්මිත නිර්මාණයක් වන කබරගොයෙකුගේ හැඩය ගත් කඳුපන්තියකි. දොළොස්බාගේ කඳු පන්තියේ උසම කන්ද ලෙස හඳුන්වන කබරගල මුහුදු මට්ටමේ සිට උසින් මීටර 1506ක් පමණ වේ. මෙම කබරගල කඳුවැටිය බොහෝ දෙනා නොයන විශේෂයෙන් කඳු නගින්නන් සහ රාත්‍රි කඳවුරු බඳින්නන් අතර ජනප්‍රිය අමුතුම අත්දැකීම් ලබාදෙන කදිම පාරාදීසයක් කිවහොත් නිවැරදිය.

එමෙන්ම පරිසරයේ විවිධත්වය මනාව පිළිබිඹු කරන මෙම කඳුකරය තෘණ භූමියක් මෙන්ම වළාකුළු වනාන්තරයක් ලෙසත් හැඳින්විය හැකිය. පරිසර ආර්ද්‍රතාවය ඉහළ මෙම භූමියේ ඉලුක්, මාන පඳුරු වැනි විවිධ තෘණ වර්ග පවතින අතර විවිධ වූ කෘමි විශේෂයන් ද මේ මහ වනයට ආවේණික වේ. ඒ වගේම ලස්සන ලස්සන සමනලුන් ද මේ කඳු පන්තියට ගෙන දෙන්නේ පුදුමාකර අලංකාරයකි. සුලබ සෙරැලියා, ඉන්දු මලවියා, ශ්‍රී ලංකා මුදුවා, සිරිති මුදුවා වැනි සමනල විශේෂ විශාල සංඛ්‍යාවක් ද මේ සංචාරයේ දී හමු වූ අතර ඉන් බොහෝ සමනලුන් මධ්‍යම කඳුකරයේ පතන ආශ්‍රිතව පමණක් හමුවන දුර්ලභ සමනල විශේෂයන් බව ගැමියෝ පවසති.

මෙම කබරගල කන්ද තරණය කිරීමට ළඟා විය හැකි මාර්ග කිහිපයක්ම ඇත. කොළඹ සිට පැමිණෙන විට බුලත්කොහුපිටිය දේදුගල හරහා දොළොස්භාගෙට පැමිණ නාවලපිටිය මාර්ගයේ මෙරිවිල හන්දියේ ගණදෙවි කෝවිල ළඟින් වැටී ඇති තේවත්ත පාරේ කන්ද තරණය කළ හැකිය.

ඒ වගේම පේරාදෙණිය හරහා ගම්පොල නගරයට පැමිණ කුරුඳුවත්ත නව නගරය ඔස්සේ ද මෙරිවිලට පැමිණ කන්ද තරණය කළ හැකිය. තවද ගිනිගත්හේන නාවලපිටිය දොළොස්බාගේ පාරෙනුත් ගම්පොල කුරුඳුවත්ත දොළොස්භාගේ පාරෙනුත් කන්ද තරණය කළ හැකිය. කබරගල තරණය කිරීමට කොළඹ සිට පැමිණෙන්නේ නම් ලංකාවේ ලස්සනම දුම්රිය මාර්ගය වන කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය ඔස්සේ නාවලපිටියට පැමිණීම පහසුම මාර්ගය වන අතර තවත් බොහෝ දේවල් නැරඹීමට ද හැකියාව ලැබෙනු ඇත. කොළඹ සිට බස් රථයක පැමිණෙන්නේ නම් ඔබට ළඟා විය හැකි පහසුම මාර්ගය කොළඹ හැටන් බස් රථයක පැමිණ ගිනිගත්හේනෙන් බැස එතැන් සිට නාවලපිටියට පැමිණීමයි.

මේ කඳු පන්තිය, සමනලුන්, විවිධාකර සතුන්ගෙන් වගේම කූඩැල්ලන්ගේ ද රජදහනකි. කබරගල තරණය කරන්නේ නම් කූඩැල්ලන්ට පිළියම් ඔබ සොයාගෙන පැමිණිය යුතුය.

කන්ද තරණය කරන්නට ආරම්භ කර පැය කිහිපයකින් (පැය 3-4) ඇතුළත කබරගල පළමු View Point එකට ළඟා විය හැකිය. මෙම කන්ද තරණය කරන බොහෝ දෙනා මෙම View Point එකට පැමිණ නැවත හැරී යයි. නමුත් දොළොස්භාගේ උසම ස්ථානය පිහිටා ඇත්තේ තවත් පැය හතර පහක දුරකිනි. එම ස්ථානයට ළඟාවීම යම් තරමකට දුෂ්කර වන නමුත් කන්ද මුදුනට ගිය විට දැනෙන සැහැල්ලුව, සුන්දරත්වය වචනයෙන් කියන්න බැරි තරමට ආස්වාදජනකය.

සැනෙකින් වෙනස් වන කාලගුණයක් ඇති කබරගල නිතරම මීදුමෙන් වැසි ඇති කඳු පන්තියකි. කබරගල කඳු මුදුනට ගිය විට ශ්‍රී පාදය, අම්බුලුවාව, නෙල්ලිගල, කොත්මලේ ජලාශය, මොණරකන්ද, සප්ත කන්‍යා කඳුවැටිය, කිනිහිර/ රාක්ෂගල කඳුවැටිය ඉතා පැහැදිලි ලෙස දිස්වේ. මෙම කබරගල කඳු රාජිනියට පුරාවෘත්ත කතාවන් රැසක් ඇත. 

ගෞතම බුදුන් වහන්සේ ශ්‍රී පාදයට වැඩම කිරීමට පෙර මෙම කඳුවැටියට වැඩම කළ බවත් ඉන් අනතුරුව මෙම වනයේ බහුලව කබරයන් ජීවත් වූ හෙයින් බුදුන්ගේ ශ්‍රී පාදය මෙම භූමියේ තබන්නට නුසුදුසු යැයි කී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ සමනල කන්දට වැඩම කළ බව ද කියවේ.

ගඟ ඉහළ කෝරලේ පිහිටා ඇති මෙම රමණීය කඳු වැටියේ අවසාන කොටස රාක්ෂගල හෙවත් කිනිහිරයි. මෙම කඳුවැටිය රාවණා ඉතිහාසයට දිව යන බව ද ගම්මු විශ්වාස කරති. කබරගල කන්ද පාමුල තොලබෝවල නම් ගම්මානයක් ඇති අතර, සීතා කුමාරිය විවාහ කර ගැනීමට රාවණ රජු තොලබෝ නම් පැළයක් රෝපණය කළ ස්ථානය බවද ගම්වාසීහු විශ්වාස කරති. එමෙන්ම කෙම්මුර දිනයන් හිදී කබරගල කන්දේ සිදුවන අද්භූත සිදුවීම් අතර කබරගල කන්දේ සිට රාක්ෂ ගල හෙවත් කිනිහිර දක්වා තැනින් තැන විශාල පන්දම් 7ක් දැල්වී වී එක් ස්ථානයක දී නිවී යන බව ගම්මුන් පවසයි. සිද්ධිය දුටු මහලු ගම්වැසියෝ ද තවමත් මෙම ගමෙහි ජීවත් වෙති.
වැස්සෙන් අව්රශ්මියෙන් වගේම කූඩැල්ලන්ගේ පහර කෑම් එක්ක View Point එකෙන් පසුව රාත්‍රිය ගතකිරීම සඳහා කඳවුරු බැඳීමට කඳු මුදුනට ළඟා වෙන්න ඉලුක් ගාල හරහා ගමන් කළ මාර්ගය ඉතාම දුෂ්කර විය. එහෙත් කඳු මුදුනේ සිසිලස ඒ දුෂ්කරතාවය, විඩාව මුළු රාත්‍රිය පුරාවට අමතක කරලීය. 

වැහි අඳුරින් වැසීගිය අහසට සහ මීදුමෙන් වැසුණු කබරගල කඳුරාජිණියටත්, ඝන අඳුරෙන් වෙලා ගත් මහ වනයටත් කූඩාරමේ එල්ලා තිබූ ලන්තෑරුම එළිය දුන්නේ සඳක් පෑව්වා සේය. එපමණක් නොව රාත්‍රිය පුරාවටම ගෙනදුන් පොද වැස්සත් සිහිල් සුළඟත් අපේ කඳවුරු රාත්‍රියට එක්කළේ අමුතුම මිහිරියාවකි.

කබරගලත් අහිමි වීමට පෙර දෙයක් කිවයුතුමය.

නෙත ගැටුණු ඉතාමත් දුක්මුසු කරුණ නම් කඳවුරු බැඳීමට එන පිරිස එම ස්ථානයේ දමා ඇති කුණු කන්දරාවය. විශේෂයෙන් බෝතල්, ඉටිකොළ, ටින් වර්ග මෙම පරිසරයට මුදාහැරීම ඊට හේතුවයි. කන්ද උඩට මේ ද්‍රව්‍ය රැගෙන යන උනන්දුව හිස් වූ පසු බෝතල් හිස් ටින් ඉටිකොළ නැවත කන්ද පහළට රැගෙන ඒමට වගබලා ගන්නේ නම් විඳින්නට පරිසරයක් ඉතිරි වනු ඇත. එසේ නොවන්නේ නම් කබරගල ද සංචාරකයින්ට තහනම් වන දවස වැඩි ඈතක නොවනු ඇත.

(ගම පිළිබඳ, කන්ද පිළිබඳ සහ කඳවුරු බැඳීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමේ දී සහයෝගය දැක්වූ මෙරිවිල ගමේ පැතුම් බුද්ධික මහතාට විශේෂ ස්තූතිය.)

නදීශා අතුකෝරළ