ඉදල්ගස්හින්නේ කඳවුරු රාත්‍රියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොළඹ කොටුවෙන් බදුල්ල බලා ධාවනය වන දුම්රියකින් ඉදල්ගස්හින්නට ළඟා විය හැකි පහසුම මාර්ගයයි. නැතහොත් කොළඹින් රාත්‍රි බදුල්ල බස් රථයෙන් පැමිණ හපුතලේ දුම්රිය ස්ථානයෙන් උදේ 7.40 බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වන පොඩි මැණිකේ දුම්රියෙන් ඉදල්ගස්හින්නට ළඟා විය හැකිය.

 

උඩරට දුම්රිය මාර්ගය වැටී ඇති පරිසරය සොබාව සෞන්දර්යයේ අපූර්ව වූ චමත්කාර නිමැවුමක්. මේ මනස්කාන්ත මං පෙතෙහි හමුවන දිය ඇලි කඳු පන්ති මහා වනාන්තරවල ඒ ආශ්වාදය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් මනරම්. 

ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානය...?

දන්නවද කොහෙද කියලා? 

ඒ තමයි සුළං කපොල්ලේ දුම්රිය නැවතුම - ‘‘ඉදල්ගස්හින්න’’. මෙවර අපේ සංචාරය යෙදුනේ ඉදල්ගස්හින්නට. ඉදල්ගස්හින්න කියන්නේ කඳු නගින්න, Camping කරන්න යන්න ලංකාවේ තියෙන ලස්සනම තැනක්. ඒ වගේම ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් මහවැලි ගං මිටියාවත වලවේ ගං මිටියාවත මැදිව නිර්මාණය කර ඇති ඉතාම සුන්දර දුම්රිය ස්ථානයක්. 

මුහුදු මට්ටමේ සිට මීටර් 1615 (අඩි 5,299) උසින් පිහිටා ඇති ඉදල්ගස්හින්න කන්ද පිහිටා ඇත්තේ ද හපුතලේ නමුනුකුල කඳු පන්තියට මැදිව. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ ඔහිය දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා ඇති ඉදල්ගස්හින්න නම් මනරම් දුම්රිය නැවතුමේ තවත් විශේෂත්වයක් ඇත. ඒ මෙම දුම්රිය නැවතුමේ ඉදිරිපස වහලේ ජලය මාතොටිල්ල ඔයෙන් මහවැලි ගංගා ද්‍රෝණියටත් පිටුපස වහලෙන් වැටෙන ජලය වේලි ඔය හරහා සමනල වැවට එක්වී වලවේ ගංගා ද්‍රෝණියටත් මුසු වීමයි.

ඉදල්ගස්හින්න දුම්රිය නැවතුම ශ්‍රී ලංකාවේ දකුණු කොටස සහ නැගෙනහිර කොටස වෙන්වන කඳු මුදුනේ සුළං කපොල්ලක ඉදිකර ඇති එකම දුම්රිය නැවතුම මෙය වීම තවත් සුවිශේෂත්වයක්.

ඒ වගේම මේ ස්ථානයේ සුවිශේෂි පිහිටීම නිසාම හරිම ඉක්මනින් වෙනස් වන කාලගුණයක් අත්විඳිය හැකියි මොහොතක පැහැබර වූද තවත් මොහොතක ගණ මීදුමෙන් වැසී යමින් සීතල දේශගුණයක්ද ගතට දැනෙයි.

උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ශනයක් දිනාගත් ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ළඟා වෙන සියළුම දෙනා බොහෝ ප්‍රිය කරන්නේ ඉදල්ගස්හින්න කඳුමුදුනට ළඟා වීමටය. සිංහල දමිල මිශ්‍ර ජනතාවක් ජීවත් වන මේ ඉදල්ගස්හින්න ග්‍රාමය ඉතාම නිස්කලංක පරිසරයකි. ඒවගේම ඉදල්ගස්හින්නට පැමිණෙන සංචාරකයින්ව ඔවුන් බොහොම ඉහළින් පිළිගන්නවා වගේම අවශ්‍ය කෑම බීම පවා ලබා දෙනවා.

මෙවර අපේ ඉදල්ගස්හින්න සංචාරයට එකතු වුණු කණ්ඩායමේ ගොඩක් දෙනාගේ පළමු කඳු නැගීම සහ පළමු කෑම්පින් අත්දැකීම වීම ද තවත් විශේෂත්වයක්. ඉදල්ගස්හින්න කන්ද කියන්නේ පැය ගණනාවක් තරණය කරන කඳුවැටියක් නොවෙයි. ඉතාම පහසුවෙන් පැයක් එකහාමාරක කාලයකින් ඉතාම ඉක්මනින් View point එකට ළඟා විය හැකියි. 

නිතරම මීදුමෙන් වසාගත් මෙම පරිසරයේ ඇස ගැටෙන හැම මානයකම තිබෙන්නේ තේවතු හෝ පයිනස් යායන්ය. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් බැස උපතැපැල් කාර්යාලය අසලින් දිවෙන කොන්ක්‍රීට් මාර්ගයේ යම් දුරක් ගිය විට තේ වතු අතරින් ඉදල්ගස්හින්න කන්ද වෙත දිවෙන අඩි පාර හමුවේ.

බොහෝ දේශීය විදේශීය සංචාරකයින් ‘‘රේල් හයිකින්’’ සඳහා ද ඉදල්ගස්හින්න තෝරා ගැනීම ඉතාම ජනප්‍රියය. ඉදල්ගස්හින්න ඔහිය දුම්රියපලවල් දෙක අතර වැඩිම බිංගෙවල් සංඛ්‍යාවක් ඇති නිසා ‘‘රේල් හයිකින්’’ යාමට කැමති සංචාරකයින් ඔහිය දුම්රිය නැවතුමෙන් බැස ඉදල්ගස්හින්න දුම්රියපල වෙත පාගමනින් ළඟා වීමට පුළුවන්  හැබැයි‘‘රේල් හයිකින්’’ සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසරය අනිවාර්යයෙන් ලබාගත යුතුයි.

මෙම කඳු තරණයේ දී ෆයිනස් යායට පිවිසීමෙන් පසුව සෞම්‍ය දේශගුණය සහ මීදුමෙන් වැසී ගිය ෆයිනස් කැලයේ පිනි පතිත බිමෙන් බිමට වැටී ඇති ෆයිනස් පත් නිසා අධික ලෙස මාර්ගය ලිස්සන අතර විශාල කඳු බෑවුම් සහිත ෆයිනස් භූමි ප්‍රමාණය තරණය කිරීමේදී ප්‍රවේසම් විය යුතු බව ද මතකයේ තබා ගත යුතුය.

එමෙන්ම මෙම මනරම් කඳු පන්තිය තුළ සතුන් වර්ග රැසක් ද ජීවත් වන අතර කළු දිවියා ඉන් ප්‍රධාන තැනක් ගනී.

ඉදල්ගස්හින්න කඳු මුදුනට, කළුපහන වංගෙඩිගල, බාලතුදුව, ගොම්මෝලිය, බඹරකන්ද දිය ඇල්ල, උඩවලව ජලාශය ඉතා පැහැදිලිව දිස්වේ. එමෙන් රාවණා රජු සම්බන්ධ පුරාවෘත්ත කතාවන් රැසක් ද ඉදල්ගස්හින්න කඳු වැටිය ආශ්‍රිතව ඇත.

ඝන මීදුමින් වැසී ගිය පයිනස් වනයේ ගස් අතරින් පැහැදිලි අහසේ තාරකාවන් එළිය දුන්නේ සඳක් පෑයුවා හා සේය. ඉඳහිට අයිස් කැට මෙන් ඇදහැලෙන වැහි බිංදුත් සීතලත් අපේ කඳුවුරු රාත්‍රියට එක් කළේ අමුතුම මිහිරියාවකි. වලාවන් යට සැඟවුණු ලෝකයක විචිත්‍රවත් සිතුවමක් කඳු මුදුනේ සිට නැරඹීමට අප කණ්ඩායම වාසනාවන්ත වූයෙමු. සීතල කඳු මුදුනේ හිරු උදාව උණු උණු කෝපි කොප්පයක මිහිරට බද්ධ වූ විට දැනුණේ අපුරු ආශ්වාදයකි.

විශේෂයෙන් කඳවුරු බැඳීමට එන පිරිස කන්ද උඩට මේ ද්‍රව්‍ය රැගෙන යන උනන්දුව හිස් වූ පසු බෝතල්, හිස් ටින්, ඉටිකොළ නැවත කන්ද පහළට රැගෙන ඒමට වගබලා ගන්නේ නම් විඳින්නට පරිසරයක් අපට ඉතිරි වනු ඇත. එසේ නොවන්නේ නම් ඉදල්ගස්හින්න ද සංචාරකයින්ට තහනම් වන දවස වැඩි ඈතක නොවනු ඇත.

නදීශා අතුකෝරළ