කලාවැව ළඟ වෙසෙන බුදු හිමි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වනාන්තරයේ රූස්ස ගස් කොළං අතරින් බේරී පෙරී එන සුළඟ සුනිල ජල තඩාගයට ඉහළින් පියා සලයි. එහෙත් ඒ සුළඟ නිල් දිය මතද හැපී රැලි සරැලි නගන හැටි අපූරුය.

සුළඟද පිපාසයෙනි.

නිල් දියේ හැපී දිය බී සිසිල සොරාගන්නවා යැයි මගේ සිත කියයි.

රූස්ස සියඹලා ගසක සෙවනේ සිටින බැවින් මට අව් රශ්මිය නොදැනේ. සුළඟේ සිසිල මගේ වත සිපගෙන ගත පිරිමැද යන බැවින් මට දැනෙන්නේ දිව්‍යලෝක සුවයෙකි.

මම බලා ඉඳිමි.

ජල තලය පුරාවටම මතුවන රළ සරැලි දඟකරමින් මගේ ළඟටම එයි. අන්තිමේදී මේ විසල් බැම්මේ වැදී බිඳී යයි. එහෙත් එක් රලක් බිඳෙනවිට තවත්  රල දහසක් වත් මේ බැම්ම වෙත පැමිණ බැම්මේ වැදී බිඳී යයි.
නෙත සනහන ලස්සනම චිත්‍රයකි. මම ඒ සිත්තම නෙත් තුළ හංගා ගනු රිසින් එදෙසම බලා ඉඳිමි.

එහෙත් එක් මොහොතක මගේ නෙත් අකීකරු වෙයි. ජල තලයෙන් ඔබ්බට දිවයයි. එවිට පෙනෙන්නේ කඳුයායක දසුනයි. ඊට මදක් ඔබ්බෙන් තවත් උස් වූ ශිඛරයක්ද පෙනෙයි. තනිකරම හරිත පැහැයට පෙනෙන ශිඛරයක් වූ එයද ගස් කොළං වලින් ආවරණය වී තිබේ.
මගේ නෙත් අකීකරුය. ඔබ මොබ දුවන්නේ මේ ලස්සන ඇස් පිය යට ගංගා ගැනීමේ වුවමනාවෙනි.

මම මේ රැඳී සිටින්නේ කලාවැවේ යෝධ බැම්ම මතය. සියඹලා, කෝන්, හුලං හික්, සූරිය මාර, ඇහැළ වැනි රූස්ස ගස් වලින් හෙවන වූ කලාවැවේ බැම්ම මතය. මොනතරම් ගිම්හානයක වුවද, ඒ සූර්ය තාපය හිසට වද නොදෙන තරමට මේ තුරු පවුර සිසිල රැකගනී.
වර්තමාන මිනුම් ක්‍රමයේ හැටියට හෙක්ටෙයාර් 2590 ක් පුරා පැතිරුණු කලාවැව, මුලින්ම බිහිවූයේ ධාතුසේන රජතුමාගේ මනසේය.
ජල කඳක් ගෙන නිසංසලේ ගලා ගිය ගෝණ නදිය වස්සානයේදී වියරු වී ඉවුරු බිඳගෙන දෙගොඩ තලා ගොස් කළේ මහා විනාශයකි. අන්තිමේදී මුහුදට ගොස් මුහුදු දියේ සැඟව ගත්තේය.

එනිසාම ධාතුසේන රජතුමා ගෝණනදිය හරහා බැම්මක් බැඳ එහි ගමනට තහංචි දැම්මේය. අන්තිමේදී බිහිවූ වැව් කොමලිය වස්සානයේදී වතුර කඳක් මුහුදට යා නොදී පුරවා ගත්තේය.

මේ මීට වසර එක් දහස් හත්සියකට පමණ පෙර අතීතයේදීය. ඒ ක්‍රිස්තු වර්ෂ 4 ත් 5 ත් යන දෙසිය වසට අයත් කිසියම් කාල වකවානුවකය.

එකල ගෝණ නදිය හරස් කර තැනූ දැවැන්ත වැවේ වතුර අනුරාධපුරය කරා ගෙනයන්නට ඇළ මාර්ගයක්ද නිම කරවනු ලැබිණි. ජය ගඟ ලෙසින් නම් කෙරුණු මේ ඇළ මග දිගේ වැවේ වතුර අනුරාධපුරය තෙක් ගලා ගියේ දෙපස කුඹුරු යායවලටද සිසිල දෙමිනි.
ඒ වනවිටත් සම්මතව තිබූ සිංහල සංස්කෘතියේ උතුම් අංගය වූයේ වැව සමග දාගැබක්ද නිර්මාණය විය යුතුය කියාය. වැව තැනූ රජු ඊළඟට බැලුවේ දාගැබක් හදන්නට තැනකි. වැව පේන මානයේම වූ ගල්පව්ව රජුගේ දෙනෙත පැහැරගත්තේය. වන බූටෑවට රිංගා ගත් රජු අරකී ගල්පව්ව අසලට ගියේය. වැවේ සිට සැතපුමකට පමණ ඔබ්බෙන් වූ ඒ ගල්පව්ව ලෙන්වලින් සමන්විත විය. ලෙනෙන් ලෙනට ගොස් බලනවිට පෙනුණ ඒ ලෙන් බිත්ති මත කොටා තිබූ ඉපැරැණි අකුරුය. ඒ ඔස්සේ රජු වටහා ගත්තේ සියවස් කිහිපයකට පෙර පටන් මෙබිම පින්බිමක්ව පැවැති බවය. රහතුන් වැඩ විසූ බිමක් බවය. උස්වූ ගල්පව්වේ අපූර්වත්වයක් තිබිණි. එක පැත්තකින් එහි මුහුණ යොමුව පැවතුණේ වැව දෙසටය. අනෙක් පැත්තෙන් ගල්බිත්තිය ඍජුව උස්ව නැගී තිබිණි.

දාගැබක් නෙවෙයි මේ ගල්පව්ව මම බුදු පිළිමයක් බවට පත්කරනවා.

රජු තීරණය කළේය.

ඔහු මනසින් අර ගල් පව්වේ ඍජු උස් බිත්තියේ බුදු පිළිමයක් මවාගත්තේය. එය වැවට ආශීර්වාදයක් වනසේ වැව දෙස බලා ඉන්න ඉරියව්වකින් නිමකළ යුතුයැයි තීරණය කළේය.

රජු එවකට තම රාජධානියේ ජීවත් වූ දක්ෂතම ගල් වඩුවා කැඳෙව්වේය. බරණ නම් වූ ඔහුට ඍජු ගල් බිත්තිය පෙන්වා එහි බුදු පිළිමයක් නෙලන ලෙසට අණ කළේය.

ඒ වනවිටත් අවකන් දේශයේ ගල් බිත්ති මත බුදු පිළිම නෙලා තිබිණි. එදා භාරතයට අයත් වූ අවකන් දේශයේ තනා තිබුණ ලෝකයේ උසම සෙල් බුදු පිළිමය. බාමියන් නිම්නය ලෙසින් හැඳින්වුණ ප්‍රදේශයේ තනා තිබූ මේ බුදු පිළිම, නොදුටුවද රජු ඒ ගැන අසා තිබිණි.
මම ඔබට උපදෙස් ලබා ගැනීමට අවකන් දේශයෙන් ගල් වඩුවෙක් ගෙනැවිත් දෙන්නම්.

රජතුමා බරණට පොරොන්දු විය.

කාලය මාස කිහිපයකින් ගෙවී ගියේය. ඒ කාලය තුළ බරණ කාල සේලයේ වූ අර උස් ගල්පව්ව නිතර පරීක්ෂා කරමින් සිටියේය. අන්තිමේදී අවකන් දේශයෙන් ගල්වඩුවකු පැමිණියේය. ඔහු ගල්පව්ව නිරීක්ෂණය කර ඉන් බුදුරුව මතු කරගන්නා හැටි කියා දුන්නේය. බාමියන් නිම්නයෙන් අහසට නැගුණ බුදු පිළිම ඇඳ පෙන්නුවේය. ඒ ගල් පව්වට වැඳ ඊට අධිපති දෙව් දේවතාවුන්ගෙන් අවසර ගත් බරණ කළු ගලට ‘පණ’ දෙන්නට පටන්ගත්තේය.

උදේ පාන්දරින් ගල් පව්වේ මුදුනටම නැගුණ ඔහු පලමුව බුදු සිරස කනින්නට පටන්ගන්නේය. ගල් කටුවට මිටියෙන් ගසන හඬ සුළඟ හමන හඬ ඉක්මවා ඇසිණි. ඒ හඬ බරණගේ කනටම විඩාවක් පීඩාවක් වුවද ඔහුට එය ඇහුණේවත් නැත. දිනෙක ගලෙන් මතුවන බුදු රුව පමණක්ම ඔහුගේ මනසේ හොල්මන් කළේය.

රළු ගලකින් මුදු කරුණාව දයාව වෑහෙන පිළිමයක් නෙලීම එසේ මෙසේ කටයුත්තක් නොවේ. පිහිටි ගලෙන් එවැන්නක් මතු කරගත යුතු බැවිණි. එහෙත් බරණ නමැති ගල්වඩුවා සිය නිර්මාණ කාර්ය සියයට සියයක්ම සාර්ථකව ඉටුකළේය. ඒ සඳහා කාලය කෙතරම් ගතවෙන්නට ඇද්දැයි කවුරුවත් නොදනී. සමහරවිට අවුරුද්දක් වෙන්නටද පුළුවන. ඊට වඩා වැඩිවීමට ද බැරි නැත.

කෙසේ හෝ වේවා, කෙදිනක හෝ දවසක ඔහු රජුට තම කටයුත්තේ නිමාව දැනුම් දුන්නේය.

රජතුමා කලාගමට පැමිණියේය. රළු ගල්කුළ මැදින් බුදු රුවක් මතුවී පෙනිණි. රජුට ඇස් අදහා ගත නොහැකි විය. දිගු කන්, ඝන ඇහිබැම තිලොවට තිලක බව පෙන්වුණ පෞරුෂය යන සියල්ල ඒ බුදුමුහුණෙහි පෙනෙන්නට තිබිණි. හිසට ඉහළින් වූයේ සිරස්පතකි. එක් අතකින් අභය මුද්‍රාව ඵල කෙරුණු අතර අනෙක් අතින් සිවුර අල්ලාගෙන සිටින අයුරින් දෙඅත නිර්මාණය කර තිබිණි.
යෝධ බුදු බඳ දිගේ නෙත් පහළට පහළට ගෙනන විට පෙනුණේ දෙපතුලය. ඒ දෙපා අතර හරිමැදත් හුමුණෙහි වූ නාසයත් එකම රේඛාවක පිහිටා තිබිණි.  වැසි වැටෙන විට නාසයෙන් පහතට වැටෙන වතුර බිංඳුව පතිතවූයේ හරියටම දෙපා අතරටය.

බුදු පිළිමය නිර්මාණය කර තිබුණේ එපමණටම සැලකිල්ලකිනි.

රජු බොහෝ වේලාවක් මේ බුදු පිළිමය දෙසම බලා සිටියේය.

සරැලි නගන මහා වැව දෙස බලා සිටියද සතුටින් සැඟවුණු සිතට මේ සෙල් බුදු රුව දැකීමෙන් වඩාත් සංවේදී බවක්, නිමල බවක් දැනිණි.
රජු ඒ මොහොතේම බරණට නින්ද ගමක් පැවැරුවේය. එය ගල්වඩුවාගම ලෙසද හැඳින්විණි.

අපේ ඉතිහාස පුරාවෘත්තිය ලියා තිබූ මහාවංශය කතුවරයා මේ බුදු රුව ගැන සඳහන් කළේ කාලසේල පතිමා නමිනි.
එහෙත් අද මේ ලස්සන බුදුරුව හැඳින්වෙන්නේ අව්කණ නමිනි. එනිසාම එදා කලාගම විහාරයද අව්කන රජමහා විහාරය ලෙස හැඳින්වෙයි. කාලසේලය අව්කන වූයේ කෙසේදැයි ඉතිහාසයේ නිවැරදිව සටහන් වන්නේ නැත. ඒ පිළිබඳව ඇත්තේ අනුමාන කිරීමය. එක් අනුමානයක් වන්නේ මේ සෙල් බුදුරුව මත නිරතුරුවම තද අව්වක් පතිත වූ බැවින් අව්ව කන යන වචන දෙක එකතුව අව්කන වූ බවය.

අනෙක් මතය වන්නේ බරණ ගල්වඩුවාට අවශ්‍ය උපදෙස් දෙනු ලැබූයේ අවකන් දේශයෙන් ආ ගල්වඩුවකු බැවින් මේ පිළිමය අව්කන ලෙස නම් ලබන්නට ඇති බවයි.

කෙසේ හෝ කම් නැත අද මේ මහඟු පිළිමය හඳුන්වන්නේ අව්කන බුදු හිමි ලෙසිනි.

තවත් රසබර ජනප්‍රවාදයක් තිබේ. ඒ අව්කන බුදු රුව සහ රැස් වෙහෙරේ බුදුරුව එකම කාල වකවානුවක ගුරා සහ ගෝලයා යන දෙදෙනෙක් විසින් නිර්මාණය කරන ලද බවයි. ගුරුවරයා රැස් වෙහෙරේත් ගෝලයා අව්කනත් බුදු පිළිම නෙලීම ඇරඹූහ. එහෙත් ගෝලයාට ගුරුවරයා පරාද විය. රැස්වෙහෙර අංගසම්පූර්ණ පිළිමයක් සේ නොපෙනෙන්නේ ඒ නිසා යැයි කියති.
රැස්වෙහෙර කලාවැවෙන් කිලෝමීටර් දහසයක් දුරින් පිහිටියකි. එහෙත් අව්කන හා රැස්වෙහෙර පිළිම දෙක තනා ඇත්තේ මුහුණට මුහුණ පෙනෙන ආකාරෙයනි.

එහෙත් රැස් වෙහෙර බුදු පිළිමය අංගසම්පූර්ණව නිර්මාණය වී නොමැත. එසේම එය තනා ඇත්තේ පිහිටි ගල හාරමිනි. එනිසා රැස්වෙහෙර පිළිමය අව්කන පිළිමයට සියවස් කිහිපයක් කලින් නිර්මාණය කරන්නට ඇති බව ඇතැම් පුරාවිද්‍යාඥයෝ මත පලකරති.
අනුරාධපුර රාජධානිය ඉතිහාසයේ සැඟවී යද්දී  වෙහෙර විහාර වැව් ආදී සියල්ල වනය විසින් ගිලගනු ලැබිණි. වන සීපාවුන්ටත් නිදන් හොරකම් කළ දෙපා සතුන්ටත් ඉනික්බිති මේ වනගහනය උරුම විය. අගනා චෛත්‍ය, බුදු පිළිම නටබුන් බවට පත්විය. කලාවැවටත් අව්කනටත් උරුම වූයේද ඒ ඉරණමමය. මේ මහඟු සම්පත් යළි වනයෙන් ගොඩ ගත්තේ ඉංග්‍රීසි ආණ්ඩුව පැවැති කාලයේදීය. අව්කන සහ කලාවැව යළි සොයාගත්තේ එමර්සන් ටෙනන්ට්ය.

විවිධ නම් ගත් පුරාවිද්‍යාඥයන් අව්කන බුදු හිමි දකින්නට ගියේ අනතුරුවය. ඔවුන්ගේ මතවාදවලට අනුව මෙය නිර්මාණ කාල වකවානුව වෙනස්ය. සමහරු තුන් හතර සියවස් ද තවත් අය ඉන් පසු කාල වකවානුද සඳහන් කරයි. එසේම ඇතැම් පුරා විද්‍යාඥයකුට අනුව අව්කන බුදු හිමි දීපංකර බුදු හිමි බව සඳහන් වේ. හේතුව පිළිමයේ උසය. පිළිමය යටින් දෙව්වරුන්ගේ රූ තැන්පත් කර තිබීමය.
අව්කන පිළිමයේ සිරස්පතද කලෙක කැඩී වැටී තිබිණි. පසුකලෙක මේ සිරස් පත යළි සවිකර තිබේ.

පිහිටි ගලේ නිර්මාණය වූ බුදු පිළිම ලංකාවෙන් හමුවන්නේ අතළොස්සකි. ඒ අතරින් අව්කන පිළිමයට සුවිශේෂත්වයක් හිමිවෙන බව ඉතිහාස කතාවෙන් සනාථ වෙයි.

විශ්මිත කලාවැව නරඹන්නට ආ ගමනකදී අව්කන සේම රැස්වෙහෙරද වන්දනා කළ යුතුයැයි කියන්නේ මේ පුදබිම් දෙකම දැක බලාගැනීම වැදගත් වන නිසාය.

එහෙත් මම තාමත් කලාවැවේ බැම්ම මතය. රූස්ස සියඹලා ගස් සෙවණේය. මම දැන් වැව් බැම්ම මතින් ඉදිරියටම ඇවිද යමි. ධාතුසේන රජුගේ ප්‍රතිමාව සහ දේවාලය නෙත ගැටෙන්නේ එසේ ඉදිරියට යද්දීය. මේ රාජ ප්‍රතිමාව තනන්නට ඇත්තේ මෑතකදී කෘතගුණ දත් ජනතාවක් විසිනි.

ගෝණ නදිය, කලාඔය ලෙසත් කලාවැවට ඒ නමත් ලැබුණේ කවදද? කොහොමදැයි මම නොදනිමි. බොහෝවිට ඉතිහාස කරුවා අව්කන පිළිමයට නම් දී තිබුණේ කාලසේල ලෙසිනි. කලාවැව වචනය හැදෙන්නට ඇත්තේ එසේය. එහෙම නැතුව මේ වැවේ පමණක් අන් වැව් වලින් දකින්නට නොලැබෙන තරම් කලා කෞෂල්‍යයක් පෙනෙන නිසා නම් විය නොහැකිය.

තවත් ජනප්‍රවාදයක් තිබේ. අතීතයේදී අව්කන පිළිම වහන්සේගේ දෙනෙතට නිල් මැණික් ඔබ්බවා තිබූ බවය. ඒ මැණික් නෙත් ඍජුවම යොමුව තිබුණේ කලා වැවේ කිසියම් ස්ථානයකය. දෙනෙත් හිරු රැසින් බබලනවිට දෙනෙතින් විහිදුණ ආලෝකය කලාවැවේ කිසියම් තැනකදී දියමතට වැටිණි. ධාතුසේන රජු සිය සම්පත් නිදන් කළේ ඒ ස්ථානයේලු.

කාශ්‍යප රජු ධාතුසේන රජුගේ නිධානය ගැන අසනවිට ඔහු කලාවැව පෙන්වූයේ ඒ නිසායැයි ඒ ජනප්‍රවාදවල සඳහන්ය.

ජනප්‍රවාද යනු කටකතාය. මහාවංශයේ සඳහන්ව ඇත්තේ සැබෑයැයි නැගුණු කතාය. එහෙත් අපට ජනප්‍රවාද ද බොරුයැයි බැහැර කළ නොහැකිය. එහෙත් සත්‍ය කුමක්ද කටකතාව කුමක්ද යන්න වෙනම සොයා බැලිය යුතු කාරණය.

මම යළිත් වැවට ඔබ්බෙන් පෙනෙන කඳු වැටිය දෙස බලමි. ඒ කහල්ල කඳු වැටියයි. ලංකාවේ දිගම කඳුවැටිය ලෙස සැලකෙන කහල්ල අද රක්ෂිත වනාන්තරයකි. කලාවැවට ජල පෝෂකයක්ව ඇත්තේ මේ වන රක්ෂිතයයි. ඊට ඔබ්බෙන් ඇති උස් ශිඛරය රිටිගල කන්දයි. මේ සියලු භූමි දර්ශනද කලාවැව නමැති සිත්තමට වර්ණ ලබාදෙයි.

එනිසාම මම කලාවැවේ වැව් බැම්ම සුන්දර සංචාරයක් කරගනිමි.

එදා මෙදාතුර ජීවත් වූ විවිධ කලාකරුවන්ගේ අපමණ අබිමන පලකෙරන මියුරු ගීතයක පද වැල් ද මගේ මතකයේ අලුත් වෙයි. 
කලාවැවේ නිල් දිය මත සරැලි නංවන පවන ඒ ගීද මුමුණවා වැනිය.