ගැමි සුවඳ තැන්පත් කළ මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සොබා සෞන්දර්යයට මනා ලෙස ඇළුම් කළ ගැමි සුවඳ සිය නිර්මාණ සඳහා නොමඳව යොදාගත් ගත්කරුවෙක් වේ නම් ඊට මාර්ටින් වික්‍රමසිංහ හෙවත් කොග්ගල මහා ප්‍රාඥයායි. මාර්ටින් වික්‍රමසිංහයන් උපත ලැබුවේ ගාලු පුරවරයේ කොග්ගල නම් ග්‍රාමයේය. ඒ 1890 මැයි 29 දා ය. කුඩාකල සිටම ගැමි පරිසරයේ හැදී වැඩුණු වික්‍රමසිංහයන් ජීවත් වුණු නිවෙස සොබා සෞන්දර්යයෙන් අනූන වටපිටාවක පැවතියේය. කොග්ගල මුහුදු තීරය, මඩොල්දූව, කුරුලු දූපත, ගල් දූපත ඇතුළු දූපත් කිහිපයක් ඔහු විසූ කොග්ගල අවට තිබීය. වික්‍රමසිංහයන්ගේ අභාවයෙන් පසුව ඔහු ජීවත් වුණු නිවස ‘මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය’ නමින් විවෘත වන්නේ ඔහු කලාවට සිදුකළ සේවයට කෘතගුණයක් ලෙසිනි. මෙවර සාරවිට ඔබව රැගෙන යන්නේ මෙම මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය වෙතය.

දකුණු පුරවරයේ ගාල්ල නගරයේ සිට මාතර දෙසට කිලෝමීටර් පහළොවක් පමණ දුරින් පිහිටා ඇති කොග්ගල නගරය සැබැවින්ම සොබා සෞන්දර්යයෙන් පිරි වටිපිටාවක් සහිත ගමකි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකතාවන්ට පාදක වුණු බොහෝමයක් වස්තු බීජ ඇත්තේ කොග්ගලය. මාඩොල්දූව, අපේගම, කළුනික සෙවීම ඊට කදිම නිදසුන්ය.මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයේ පිවිසුමට පැමිණි පළමුව එහි ඇති සොබා සෞන්දර්යයට හිත වශීකෘත වනවා නොවනුමානයි.

ජන කෞතුකාගාරයේ පලමු කොටසේ දක්නට ලැබෙන්නේ හෙළ ගැමියාගේ දෛනික ජීවිතයට උපකාරී වූ දෑය. ඉපැරැණි මැටි භාණ්ඩ, ආහාර පිසීමට භාවිතා කළ විවිධ උපාංග, මැනීමට භාවිතා කළ මිනුම් උපකරණ මෙන්ම පුස්කොල පොත, ගල්ලෑල්ල වැනි එකල අධ්‍යාපනික කාර්යයන් සඳහා භාවිතයට ගත් දෑ මෙහි ඇත. එමෙන්ම ගැමි ජනයා තුළ තිබූ ආගමික සහ ඇදහිළි විශ්වාසයන්ට අයත් පෞරාණික දෑද පළමු කොටසෙහි දක්නට ලැබේ.

එමෙන්ම එකල පැවති විවිධ කර්මාන්තවලට අදාල ඔවුන් භාවිතා කළ යන්ත්‍ර, භාණ්ඩද මෙහි දක්නට ලැබේ. රා කර්මාන්තයේදී භාවිතා කළ දෑ, ධීවර කර්මාන්තය, බීරළු කර්මාන්තය, මැටි කර්මාන්තයේදී භාවිතා කළ දෑ මෙම ජන කෞතුකාගාරයේ තවත් කොටසක ප්‍රදර්ශනයට තබා ඇත.  ගැමියා සිය මහන්සිය නිවා ගැනීමට සහ විනෝදාස්වාදය ලබා ගැනීමට සිදු කළ ගැමි ක්‍රීඩා සහ ඒ සඳහා භාවිතා කළ ක්‍රීඩා භාණ්ඩද මෙහි තැන්පත් කර තිබේ.

ගැමි ජනයාගේ සෞන්දර්යය, රස වින්දනය උදෙසා අතීතයේ ගැමියාට තිබූ ගැමි කලා පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයේ තවත් කොටසක ප්‍රදර්ශනය වේ. කෝලම්, සොකරි, දකුණට ආවේණික වෙස් මුහුණු කලාව, රූකඩ, පහතරට නර්තනය, උඩරට නර්තනය, යාපනයට ආවේණික වූ සංස්කෘතික විශේෂාංග එහි දක්නට ලැබේ.

ඉන් අනතුරුව පිවිසෙන්නේ මුල් කාලයේ සිට වර්තමානය දක්වා ජනයා විළි වසාගැනීමට භාවිතා කළ දෑ ඇතුළත් කොටසටය. මුල් කාලීන මානවයා කොළ අතු, ගස් පොතු සහ සත්ත්ව හමෙන් විළි වසාගත් ආකාරයේ සිට, අමුඩය, රෙද්ද හැට්ට, පට කම්බා සරම් දක්වාද, එකළ ජීවත් වූ ප්‍රභූන්ගේ ඇඳුම් විලාසිතාවන්ද, නූතනයේ භාවිතා වන ඇඳුම් විලාසිතාවන්ද මෙහි ඇත. තවද මෙහි පැරණි ගැමියා ප්‍රවාහන පහසුකම් සපයා ගත් දෑද වික්‍රමසිංහ කෞතුකාගාරයේ දක්නට ලැබේ.

ජන කෞතුකාගාරයෙන් එළියට පැමිණි විට ඉන්පසුව නැරඹිය යුත්තේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් උපන් ගෙයයි. ඒ තුළ ඔහු ලියූ නවකතාවල මුල්පිටපත්, ඔහුගේ අත් අකුරෙන් ලියූ ලිපි, ඔහුගේ ජීවිතයේ විවිධ අවස්ථාවල ලබාගත් ඡායාරූප, සිත්තරුන් ඔහුව චිත්‍රයට නගා ඇති ආකාරයද, ඔහු භාවිතා කළ පෑන්, උපැස් යුවළද නැරඹිය හැක. එමෙන්ම වික්‍රමසිංහයන් මෙලොව එළිය දුටු කාමරය, ඔහු නැළවුණු තොටිල්ල සහ ඔහුගේ කෑම කාමරය ඒ අයුරින්ම ප්‍රදර්ශනයට සුදුසු ලෙස සකසා තිබීම ඉතා විශේෂිතය. එමෙන්ම මාර්ටින් වික්‍රමසිංහයන් සහ ඔහුගේ ප්‍රිය බිරිඳ ප්‍රේමා වික්‍රමසිංහයන් මිහිදන් කළ වික්‍රමසිංහ ස්මාධියට ඔහු උපන් නිවසට ඔබ්බෙන් පිහිටා ඇත.

මාර්ටින් වික්‍රමසිංහයන් ගත කළ ජීවිතය, ඔහුගේ කෘතිවලට පදනම් වුණු සොබා සෞන්දර්යය, චරිත, සහ එකල ගැමි ජන ජීවිතය පිළිබඳව පත පොතින් ලබාගැනීමට නොහැකි බොහෝ දෑ මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය තුළින් ලබාගත හැක. දැනුමට, සාහිත්‍යට මෙන්ම සංචාරයට කැමති ඕනෑම අයෙකුට මෙහි පැමිණිය හැකි අතර සතියේ දින හතම උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කෞතුකාගාරය විවෘතව ඇත. පැමිණෙන ඔබගෙන්ඉල්ලා සිටින්නේ මෙහිඇති පරිසරයට හානි නොකරමින් ඔබේ මතකය පමණක් නැවත ගෙන යන ලෙසයි.

සටහන සහ ඡායාරූප - කැලුම් දේවින්ද