වැලිගමට පාරාදීසයක් වූ කලුකන්ද හවුස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාව පාරාදීසයකි. ඒ පාරාදීසය තුළ තවත් පාරාදීස තිබේ. වැලිගම ධීවර ගම්මානයේ පිහිටි සුන්දර කලුකන්ද හවුස් යනුද තවත් එක් පාරාදීසයකි. ඩී. ගිබ්සන් නැමති කාන්තාවකගේ හිතේ පිළිසිඳුණු ආදරණීය සිහිනයක ප්‍රතිඵලය වූ කලුකන්ද හවුස් විලාව යනු සංචාරකයකුට සුවිශේෂ සුපිරි අත්දැකීමක් වනවාට කිසිදු සැකයක් නැත. 

දහසක් වැඩ රාජකාරි මැද්දේ කාර්ය බහුලවන ජීවිතයේ සියලු විඩාවන් සන්තර්පනය කිරීමේ මහඟු වාසනා ගුණයක් කලුකන්ද හවුස් විලාවේ සහ අවට පරිසරයේ පවතී. 

වැලිගම ධීවර ගම්මානයේ සිරි විසිතුරු නැරඹීමට එන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ටද පවුලක් ලෙස පැමිණ නවාතැන් ගන්නට කදිම පියසක් වන කලුකන්ද හවුස්හි දොරගුලු ඇරුණේ 2018 වසරේදීය. එතැන් පටන් මෙහි ආගිය අය අතර චිත්‍රපට පසුතල ටෙලිනාට්‍ය මියුසික් වීඩියෝ පසුතල ඡායාරූප පසුතල සොයා ගිය පිරිස්ද බොහෝ වූහ. 

ගිබ්සන් මහත්මියට අවශ්‍ය වූයේ සුපිරි විලාවක් වුවද එහි ගෘහ නිර්මාණයට වෙනස් හැඩයක් දීමටද අවශ්‍ය විය. එනිසාම ඇය මෙහි වහලයේ සිට දොර ජනෙල් ආදී සියල්ලම නිර්මාණය කළේ කලින් පාවිච්චි කල ලී දඬු වලිනි. එමගින් මේ නිවෙසට ඉපැරැණි වටිනාකමක් දීමට ඇයට හැකි විය. එසේම ඒ සඳහා යොදාගත්තේ ප්‍රදේශයේම වඩුබාස්වරුන්ය. එමගින් ඇය සිය විලාවට ශ්‍රී ලාංකික හැඩය නැත්නම් අනන්‍යතාවයක් ලබා දෙන්නට උත්සාහ ගත්තාය. 

සැබැවින්ම මේ විලාවට පිවිසෙන ඕනෑම කෙනෙකුට පළමුවෙන්ම හැඟෙන්නේ ඉපැරැණි වලව්වකට පැමිණියාය යන හැඟීමකි. වලව්ව වූ කලී සිංහල සංස්කෘතියේ අභිමානවත් අංගයකි. අතීත ලංකා සමාජයේ අදිකාරම් වැනි ඉහළ තානාන්තර දැරුවන්ගේ වාසස්ථාන වලව් ලෙස හැඳින්විණි. ඒ අතීත වලව්වල තිබූ පෞරාණිකත්වය මෙන්ම ගම්භීරත්වයද ඉස්මතු කරන්නට මේ කලුකන්ද හවුස් විලාව හැම අතින්ම සමත්ය. 

බාහිරෙන් එලෙස පෙනෙන මෙම විලාව සතුව යුගල ඇඳන් සහිත කාමර හතරක් තිබේ. ඉන් කාමර දෙකක සඳැල්ලට ගොඩවැදුණු විට පෙනෙන්නේ සුන්දර උද්‍යානයයි. ඒ උද්‍යානය සතු විවිධ ගස් වර්ග හේතුවෙන් සංචාරකයාට හිතෙන්නේ ඔහු වනගතවී සිටින බවකි. තුරුපත් වලින් සිලි සිලි හඬ මවමින් හමා එන සුළඟ ගතට පමණක් නොව හිතටද සැනසිල්ලක් ගෙන දෙයි. සඳැල්ලෙන් නික්ම දොර කවුළු වසා දැමූ විට අවශ්‍ය නම් වායු සමීකරණ ක්‍රියාත්මක කර තරු පංතියේ හෝටලයක පහස ලබා ගන්නටද පුළුවන. දිගු ගැඹුරු නින්දක අශ්වාදය ලබා දෙනු පිණිසම මෙහි ඇති යහන් තනා තිබීමද විශේෂත්වයකි. වයිෆයි පහසුකම් උපරිමයෙන්ම විඳිමින් ලෝකය තම ජංගම දුරකතනය වෙත රැගෙන එන්නටද සංචාරකයන්ට පුළුවන. 

කලුකන්ද විලාවේ සුන්දර උද්‍යානය ඝර්ම කලාපීය වනයක් වැන්න. උස් තුරු මුදුන් යට ඇති බංකුවක වාඩිවී අවට තුරුලතා සමග දැහැන්ගත වන්නට ලැබීම ද වාසනාවකි. උකුසු සමූහයක් අහසපුරා පාවෙමින් සිටියදී පිළිහුඩුවෙක් පොකුණට පැන මාලුවෙක් අල්ලාගෙන අසල ගසක වසන අයුරු නෙතට රසඳුනකි. මේ සියලු දසුන් දකිමින් රසවත් හිමකිරමක් තොල ගාද්දී හිත මෙන්ම ගතද සිසිලෙන් සිසිල් වෙයි. 

මෙහි පිවිසෙන සංචාරකයකුට ඊළඟට යෝග ශාලාවටද පිවිසීමට පුළුවන. පරිසරය සමග ඒකාත්මික වෙමින් යෝග අභ්‍යාසයක යෙදීම වෙනස්ම අත්දැකීමකි. සිරුර සම්භාහනය කරගත යුතු නම් ඒ වෙනුවෙන් ස්පා ද තිබේ. සැප පහසු අසුනක එරී නවකතාවක පිටු අතරින් ආදරණීය ලෝකයකට හෝ වෙනත් ලෝකයකට මනසින් සක්මන් කරන්නටද පුළුවන. 

නිවාඩු නිකේතනයකට පිවිසෙන සංචාරකයකුගේ ලොකුම පැතුම කටට රසට ආහාර වේලකි. කලුකන්ද හවුස් විලාවේ ආහාරද කටට රසය. ශ්‍රී ලංකා ක්‍රමයට පිසූ බත් සහ ව්‍යාංජන මෙන්ම පැස්ටා හෝ නාසිගුරාන් ආදියෙන් මෙහි බොජුන් හල සමන්විතය. කෑම රහ වැටුණු සංචාරකයකුට මේ කෑම උයන්නේ කෙසේදැයි දැන ගැනීමට අවශ්‍ය විය හැක. එසේ වුවහොත් ඔවුන්ට ඉහුම් පිහුම් පාඩමක් කියාදෙන්නට මෙහි සිටින සුපවේදීන් සුදානම්ය. ඒ වෙනුවෙන් සැකසුණු මුළුතැන්ගෙයද විචිත්‍රය. පිරිසිදුය. අලංකාරය.

ඉර හැංගෙන හැන්දෑවක චමත්කාරය හිතට දැනෙන්නේ මුහුදු වෙරළකදීය. වැලිගම සොඳුරු මුහුදු වෙරළට මෙම විලාවේ සිට ඇත්තේ පයින් ඇවිද යන තරමේ කෙටි දුරකි. අවශ්‍ය නම් සර්ෆ් ක්‍රීඩාවේ යෙදීමටත් නැත්නම් පැඩ්ල් බෝට්ටු පැදීමටත් පුළුවන. සර්ෆ් පිළිබඳව උගන්වන ක්‍රීඩා පාසල් ගණනාවක්ද වෙරළෙහි ඇති බැවින් නිවැරදි ලෙසම සර්ෆ් ක්‍රීඩා කළ හැකිය. 

වෙරළ සක්මන වෙනම විනෝදාංශයකි. නොනැවතී නැගෙන රළ බිඳෙන හඬ අසමින් රැල්ල පාගමින් කරන වෙරළ සක්මන අතරතුර කැස්බෑවකු දෙන්නකු හමුවීමටද පුළුවන. මේ මතකයන් ජීවිතයට සදහටම තනිරකින තරමට චමත්කාරජනකය. උදේ පාන්දරක වෙරළට ගොස් ධීවර බෝට්ටුවකින් දැල් අදින හැටිද මාළු බාන හැටිද දැකගත හැකිය. ඓතිහාසික ගාලු කොටුවේ චාරිකාවක යෙදෙන්නටද කලුකන්ද හවුස් විලාවට එන සංචාරකයන්ට පහසුකම් සලසාගත හැකිය. 

තිරණ්‍යා යලින්දි රණසිංහ - Hi!! සඟරාවෙනි.