ශ්‍රී පාදයත් පේන කොළඹ වරයාත් පේන හෝමාගම ගලේ පන්සල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හෝමාගම ප්‍රදේශය අතීතයේ සිටම විශාල ගල්තලාවලින් සපිරුණු ප්‍රදේශයකි. එම ගල්තලා අතර උසම ගල්තලාව ඉඹුලකන්ද යන නමින් හැඳින්වේ. සෞම්‍ය වූ පරිසරය පිහිටි ඉඹුලකන්ද මීට දශක කිහිපයකට පෙර විහාරස්ථානයක් ඉදිවිය. ඒ ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරයයි. විශාල ගල්තලාවක් මත පිහිටි මෙම විහාරය අතීතයේ සිටම ගැමියන් හැඳින්වූයේ ‘ගලේ පන්සල’ යන නමින්. මීට වසර කිහිපයක් වනතුරුත් කුඩාවට සහ අඩු පහසුකම්වලින් පැවතුණු මෙම විහාරය අද වනවිට සැදැහැවතුන්ට පහසුකම්වලින් සපිරුණු විහාරයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. මෙවර සාරවිට සංචාරයට ගියේ මේ ගලේ පන්සල වෙතයි.

ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරය ආරම්භ වී ඇත්තේ 1968 වර්ශයේදීය. එකල මෙම භූමිය විශාල ගල්තලාවකි. හෝමාගම අවට එකල සිටි ගල් ව්‍යාපාරිකයන් මෙම ගල් තලාව කැඩීමට සූදානම් විය. එයින් සිදුවන පරිසර විනාශය විරුද්ධ වුණු ඉඹුලකන්ද අවට ගම්වැසියන් බුදු පිළිම වහන්සේ නමක් පෙරහරින් වඩම්මා කුඩා විහාර ගෙයක් සාදා මෙම ගල් තලාවේ තැම්පත් කර තිබිණි. ඉන්පසුව තරුණයින් සහ වැඩිහිටියන් එක්ව විවිධ වූ පිංකම් මේ කුඩා පූජා භූමියේ සිදු කර තිබේ. කාලයත් සමග ස්වාමීන් වහන්සේලා ඉඹුලකන්ද විහාරයට වැඩම කර තිබේ. එකල ගල්තලාව මත ඉදි වූ මෙම කුඩා පංසල් භූමියේ කිසිදු පහසුකමක් නොවීය. පසුව ගම්වැසියන්ගේ එකතුවෙන් හැකි අයුරින් කුඩා ආවාස ගෙයක් තනා වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගේ පහසුකම් සලසා දුනි. කෙසේනමුත් ඉන්පසුවත් ඉඹුලකන්ද ගල්තලාව කැඩීම නතර නොවීය. විවිධ දේශපාලඥයින්ගේ උදව් ඇතිව ගල් ව්‍යාපාරිකයන් විවිධ පැති හරහා ගල්තලාව කැඩීමට උත්සාහ කර තිබේ. ගම්වැසියනුත් එයට විරුද්ධව දිගින් දිගටම කටයුතු කර ඇත. ගම්වැසියන් උද්ඝෝෂණ පවත්වමින් නීතිය ඉදිරියට යමින් ඉඹුලකන්ද සුරැකීමට කටයුතු කළහ. එමෙන්ම මෙකල විහාරස්ථානයේ තරුණ බෞද්ධ සංගමයක් ආරම්භ කර තරුණයන්ගේ දායකත්වයෙන් බාධක මැද විහාරස්ථානයේ වැඩ කටයුතු සිදු කර තිබේ.  ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරයේ වර්තමානයේ විහාරාධිපති හිමියන් වන යහමුල්ලේ අනුරවංශ හිමියන් 2010 වසරේදී මෙම පන්සලට වැඩම කරන්නේ විහාරය ආරම්භ කර පරම්පරා පහකට පසුවය. උන්වහන්සේ මෙම විහාරයට වැඩම කරනවිටද මෙම භූමිය රජයට අයත් භූමියක්ව පැවතිණි.

ඉඹුලකන්ද විහාරයේ ගල්තලාව මතට නැගි පසු අවට ප්‍රදේශය දැකගත හැකිය. එමෙන්ම උදෑසන මෙහි පැමිණෙන්නන් හට ශ්‍රී පාදස්ථානයද ඈතින් දැකගැනීමට හැකිය. දුර ඈතින් කොළඹ වරායත්, කොළඹ නගරයේ ඇති විශාල ගොඩනැලිද පැහැදිලිව දැක ගැනීමට මෙම ගල්තලාවට පිවිසි විට ලැබේ.

‘ඉඹුලකන්ද’  යන නාමය මෙම ප්‍රදේශයට ලැබී ඇත්තේ අතීතයේ මෙහි කටු සහිත විශාල ඉඹුල්ගස් පැවති නිසා බව පැරණි ගම්වැසියන්ගේ මතයයි. ඉන් හැර වෙනත් කතාවක් ඉඹුලකන්ද සමග නැති බවට ගම්කියන් කියයි. එමෙන්ම ඉඹුලකන්ද වනලැහැබ තුළ අදටත් ඉඹුල්ගස් දක්නට ලැබේ. එමෙන්ම හෝමාගම යන නමද ලැබී ඇත්තේ අතීතයේ මෙම ප්‍රදේශය යාග - හෝම සඳහා විශාල ප්‍රසිද්ධියක් ඉසිළු බව කියන නිසාය. අදටත් පැරණි දේවාල හෝමාගම අවට දක්නට ලැබේ. එමෙන්ම ඒවාහි අදටත් වාර්ශිකව විවිධ ශාන්තිකර්ම සිදු කරයි. එම යාග - හෝම පැවැත්වීමේදී ඉඹුලකන්ද ඇතුළු අවට ගල්තලාවල උස් ස්ථානද ඒ සඳහා භාවිතා කරන්නට ඇති බව ගම්මුන්ගේ අදහසයි.

මෙම කන්ද තුළ විශාල ඖෂධ ගස් රැසක්ම පවතී. අක්කාපාන, මැල්ල, බෝවිටියා, ඇතුළු ඖෂධ ගස් මෙම විහාර භූමිය තුළ දක්නට ලැබෙන අතර දිවයිනේ විවිධ ප්‍රදේශ තුළින් බොහෝදෙනා ඖෂධ පැලෑටි සොයාගෙන මෙහි පැමිණෙන බවද විහාරාධිපති හිමියන් අප සමග පැවසීය. එමෙන්ම මෙම විහාරය වැඳ පුදාගැනීමට මෙන්ම අවට පරිසරය අත්විඳ ගැනීමටද සංචාරකයන්ද මෙහි නිරන්තරයෙන් පැමිණෙන බවද අපට දැකගන්නට ලැබිණි.

සටහන සහ ඡායාරූප - කැළුම් දේවින්ද