සමනොල මුදුනට පෙනෙන හිරු උදාවේ අසිරිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අලුත් ඉරක් පායන්නේ අලුත් අලුත් බලා පොරොත්තු සමුදායක් තිලිණ කරමිනි.  අලුත් වසරක් එළඹෙන මොහොතේ වසරේ පළමු හිරු, පෙරඹර සිතිජයෙන් එබී බලන මොහොතේ සුවිශේෂී වටිනාකමක් වෙයි. එළඹෙන මුළු වසර පුරාවටම, උදාවන හැම දවසක්ම දුකින් ලතැවුලෙන් තොර ප්‍රමෝදයෙන් නැහැවුණු සොඳුරුතම දවසක්ම වේවායි පැතුම ඇතිව මේ හිරු උදාව දැකබලා ගත යුතුයි. 
ඒ වෙනුවෙන් මෙලොව ඇති සොඳුරුම තැන පූජනීයම තැන වන්නේ සමනොල ගිරි සිරසයි.

හිරුත් යළි යළි මතුවෙමින් සම්බුදු සිරිපතුලට වැඳ නමස්කාර කරමින් පෙරඹර සිතිජයෙන් මතුවන මොහොත සමනොල ගිරි හිස මතම රැඳී හිඳිමින් දැක බලාගන්නට ඇත්නම් 

ඔව්! හිම මිදෙන සීතලේ ගැහෙමින් වෙව්ලමින් දෑත පපුවේ බැඳගෙන සමනොල ගිරි හිස මතට වී මම බලා හිඳිමි. 

අහස ගිලගෙන තිබූ කළු අඳුර බිඳිමින් මඳ ආලෝකයක් නැගෙනහිර සිතිජයේ පැතිරෙන්නේ රාත්‍රියේ අවසානය හඟවමිණි. 

රතුපාට වලා කැටියක් සිතිජ රේඛාවේ ඔබ මොබ පාවයන්නේ අලස ලෙසය. එසේ වුව ඒ රත් පැහැති වලාසළු සිතිජ රේඛාවේ අඳින්නේ අපූරුතම සිත්තම්ය. විටෙක හාවෙකුගේ රුව අඳින වලාසළු ඊළඟට නාරි දේහයක හැඩ මවමින් විසිරෙයි. තවත් මොහොතකින් එතැන සිටින්නේ අලියෙකි. 

ඊළඟ මොහොතේ තවත් සිත්තමක් ඇඳෙද්දී  සිතිජය මතුපිට රත්තරන් වර්ණ සිහින් රේඛාවක් ඇඳෙන හැටි අපූරුය. 
ඉර පායන්නේ ඒ රන් රේඛාවේ කොතැනින්දැයි   සිතන්නට අපහසු වුවත් රන්වන් ආලෝක රේඛාවේ කොතැනකින් හෝ ඉර මල පිපෙන බව සියයට සියයක්ම විශ්වාසය අර රතුපාට වලාකුළුවලට ඉහළින් ඇත්තේ සුදු පාට වලාකුළුය. අහස එකම සැණකෙළියකි !
දැන් අහස් රේඛාවේ බොඳවුණු රතු පැහැයට සිහින් දම් පැහැයක්ද එක් වී ඇති සැටි පෙනේ. 

විලිරුදා මැද දරුවකු උපදින්නේ මේ හිරු උදාව ලෙසින්මද! ජීවිතයේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වන්නේත් මේ හිරු සේමද? ජීවිතය ගැන ලෝකය ගැන සිතන්නට කොයි තරම් දේ වෙත්ද?

එකවරම හිරුගේ රක්තවර්ණ රේඛාවක් සිතිජයෙන් මතුවේ. හැබැයි ඒ හිරු මතුවන්නේ මෙතැනිනැයි සිතූ තැනට බොහෝ දුර වූ වෙනස්ම තැනකිනි. 

සාධු... සාධු 
එක් සැදැහැති කාන්තාවක හිරු දෙවියන්ට නමස්කාර කරනු ඇසේ !
මේ මොහොතේම හිරු දෙවියන්ද සාධු කාර දෙනු නියතය!!
 ඒ සමනොල ගිරි හිස මත රැඳුණු සම්බුදු සිරිපතුලට නමස්කාර කරනු පිණිසය.
අර හිරු රේඛාව කෙමෙන් පුලුල් වෙයි. හේතුව හිරු සිතිජයෙන් ටිකින් ටික මතුවීම නිසාවෙනි. 
එහෙත් එක්වරම හිරු යළි සිතිජයේ සැඟවුණි. හැබැයි මොහොතකින් යළි පෙරට වඩා විසල් රේඛාවක් ලෙසින් මතුවිණි. 
හිරු මුහුදේ ගිලෙමින් යළි මතුවෙමින් යළි ගිලෙමින් යළිත් මතුවෙමින් මේ කරන්නේ සම්බුදු සිරිපතුලට නමස්කාර කිරීමයි. !
අන්තිමට විනාඩි දෙක තුනක් ඇතුළත හිරු සම්පූර්ණ බෝලයක් සේ සිතිජ රේඛාව මත රැඳිණි. 
ඉර බෝලය සිතිජ රේඛාවෙන් මතුවී සිය ප්‍රථම රැස් දහරින් සමනොල කඳු සිරස සෝදද්දී සමනොළ කන්දට පසුපසින් බටහිර පැත්තේ තවත් අපූරු දසුනක් මැවෙයි. එය වූ කලී කඳු ශිඛර මත ඇඳෙන සමනොල කන්දේ සෙවනැල්ලයි. සුදෝසුදු වලාකුළුවලින් වැසීගිය කඳු ශිඛර මත සමනොල සෙවනැල්ල ත්‍රිකෝණාකාර හැඩයකින් පතිතව ඇති අයුරු පෙනෙයි. 
හිරු කෙමෙන් අහස් ඉනිමගේ උඩට  පා තබන විට අර හෙවනැල්ල වඩාත් අඳුරු වී පෙනෙයි. 

එහි අපූරු හැඩතලයක් තිබේ. 

මේ දසුන අපේ රටේ කි දාහක් දෙනා දකින්නට ඇත්ද?

ලෝකයේ ඇති අසිරිමත්ම දර්ශන අතරට මේ හිරු උපදින මොහොතද අයත්වේ. එහෙත් මුහුදු වෙරළක සිට හිරු උදාව දකිනවාට වඩා කඳු මුදුනක සිට හිරු උදාවන හැටි බැලීමෙන් වැඩි සෞන්දර්යක් විඳගත හැකිය. කන්දක් නැගීම මොනතරම් වෙහෙසකරද’’ ඒ වෙහෙස මුළුමනින්ම පලවා හැරීමට මේ අසිරිමත් දසුනට පුළුවන

හැටන් පාරේ නල්ලතන්නියේ සිට පැය හතරකුත් කුරුවිට හෝ රත්නපුර පාරෙන් පැය හත අටකුත් ගෙවාගෙන අප සමනොල නගින්නේ සම්බුදු සිරිපතුලට වඳින්නට බව සැබෑය. ! එහෙත් මේ වන්දනා ගමනේදීම හිරු උදාවන අසිරිමත් දසුනත් දැක බලා ගත හැකිය. ඒ සඳහා අප සිරිපා කරුණාව ඇරඹිය යුත්තේ රාත්‍රියේදීය. රාත්‍රීය සීතල වූවත් පිනි වරුසාවේ තෙමුනා වුවත් හිරු උදාවේ අසිරිමත් දසුන ජීවිත කාලයටම චමත්කාරය ඉතිරි කරනු ඇත!

විලියම් ස්නෙල් නම් පඬිවරයා වරෙක මෙසේ ප්‍රකාශ කෙළේය. 

‘‘වසරකට වරක් වත් හිරු උදාවන හැටි නරඹන්න’’ 

එහෙත් මට නම් හිතෙන්නේ හිරු උදාව යනු හැමදාමත් නැරඹිය යුතු සොඳුරුතම දසුනක් බවය! මේ දසුන උදාවන හැම දවසක අපට ප්‍රබෝධය තිලිණ කරන බැවිනි! 

ශාන්ත කුමාර විතාන