හිරුගේ පළමු රැස් වැටෙන වෙරළ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උදා හිරුගේ පළමු රැස් දහර මුලින්ම පතිත වන්නේ නැගෙනහිර වෙරළටයි. ඒද මඩකලපුවටය. එනිසා වෙරළක සිට හිරු උදාවේ මනමෝහනීය දර්ශනය දැකබලා ගන්නේ නම් අප යා යුත්තේ මඩකලපුවටය. නැත්නම් කල්ලඩි වෙරළටය.

ඕනෑවටත් වඩා පළල් වූ සුන්දර කල්ලඩි වෙරළේ රළ බිඳෙන සීමාවට වී මම හිරු උදාව බලා හිඳිමි. රැයේ මුහුදු ගිය ධීවර පිරිසක් ඔවුන්ගේ බෝට්ටුවක, මාළු පුරවාගෙන වෙරළට පැමිණ සිටී. ඔවුනට හිරු උදාවේ විශේෂත්වයක් නැත. ඔවුන් හැමදාමත් මේ මනමෝහනීය දර්ශනය දැක තිබෙන නිසාය.

පෙරඹර අහස රන්වන් පැහැයෙන් සරසමින් හිරු උදාවිය. උදා හිරුගේ පළමුවැනි රැස් දහර කල්ලඩි වෙරළට නිරන්තරයෙන් හාදු දෙන මුහුදු දියේ කිරි පෙණ මතට පතිතවන හැටි ඇත්තටම සුන්දරය.

මේ රන් හිරු රැස් ඊළඟට සිප ගන්නේ කල්ලඩි කලපුවේ දිය දහරය. කලපුව මත විරාජමානව නැගී සිටින කල්ලඩි පාලමය.
කල්ලඩි පෙදෙසට සුවිශේෂ අන්‍යතාවයක් ද සංචාරක ආකර්ශනයක් ද එකතු කරන්නේ කල්ලඩි පාලමයි. ලංකාවේ දිගින් වැඩිම යකඩ පාලම ලෙසද ඉතිහාසයේ නම තැබූ කල්ලඩි පාලමට යන්නට මත්තෙන් මම කල්ලඩි කලපුවේ ගී කියන මාළු සොයමි.

කල්ලඩි කලපුව සොබා දහමේ විචිත්‍ර නිර්මාණයකි. එහෙත් බොහෝ අතීතයේ දී මේ කලපුව මතින් මඩකලපුවේ සිට කල්මුණේ දෙසට ගමන බොහෝ අසීරු විය. ඒ වෙනුවෙන් එකල තිබුණේ බෝට්ටු සේවයකි. එක් කෙළවරක සිට කලපුවේ අනෙක් කෙළවර දක්වා යන්නට සිදු වූයේ බෝට්ටුවෙනි. ඒ සඳහා ගෙවිය යුතු මුදල් ශතයකි. ඊට පසු කලෙක යාන්ත්‍රික බෝට්ටු කලපුවේ සේවයට එකු විය.
නවසිය විසි ගණන්වල දී මඩකලපුවට දුම්රිය ගමන් අරඹද්දී කලපුවට උඩින් දිග පාලමක් ඉදි කිරීමට අවශ්‍ය බව පෙනී ගියේය. එකල ලංකාව පාලනය කළේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. ආණ්ඩුකාරයා විලියම් මැනින්ය. පාලමක් හදන්නට අදහස් කළේ ඔහුය.

1924 වසරේ දී අරඹන ලද පාලමේ වැඩ කටයුතු පුරා වසර හතරකට පසු නිමාවෙද් දී ලංකාවේ දිගම දුම්රිය පාලම කල්ලඩියට හිමි වී තිබිණි.

එදා මේ පාලමට ලැබුණේ ‘ලේඩි මැනින්’ නමය. අදටත් මේ යකඩ පාලම ලේඩි මැනින්ය. එහෙත් රටේ පමණක් නොව ලෝකයේත් ප්‍රසිද්ධව ඇත්තේ කල්ලඩි යන නමය. ඉතින් අපිත් කල්ලඩි පාලම යන නම කියමු.

මේ කල්ලඩි පාලමට හා හා පුරා කියා දුම්රියක් ඇතුළු වූයේ 1928 දීය. එදා පටන් හැමදාමත් මඩකලපු කෝච්චිය, කල්ලඩි පාලම උඩින් ගමන් කරයි. ඒ වෙලාවට වැහෙන රේල් ගේට්ටුව, විවර වූ පසුව සාමාන්‍ය මගීන්ට ඔවුන්ගේ පාපැදි සංචාරයන්ට විවර වෙයි.
කල්ලඩි පාලම විවෘත කළ දවසේ පටන් මගී බෝට්ටුව, කල්ලඩි කලපුවට අහිමි විය. ඉනික්බිති කලපුවේ ගමන් කළේ ඉස්සන් කකුළුවන් අල්ලන ධීවරයන්ගේ බෝට්ටු පමණකි.

මේ අරුණෝදයේදීත් ධීවර බෝට්ටු කිහිපයක්ම කලපුවේ ගමන් කරයි. පාලම උඩටවී කලපුව දෙස බලා ඉන්නා විට පෙනෙන බෝට්ටුවල දසුන් සුන්දරය. උන්හිටි ගමන් උඩ පනින මාළුවෙක් ආපසු කලපු දියටම පතිතව, දියයට සැඟව ගනියි. උඩ පැන්නොත් බිම වැටෙන බව දන්නා බැවින් මට එහි අමුත්තක් නැත. එහෙත් සුන්දරත්වයක් පමණක් හිතේ පොතේ ලියැවෙයි!

කල්ලඩි කලපුවේ කිඹුලන් ද හිඟ නැත. උන්හිටි ගමන් කිඹුලෙක් කලපුව හරහා පීනා යනු පෙනෙයි. කිඹුලකු දකින විට ගී කියන මාළුත් ඔවුන්ගේ ගී හඬ ගොළුකරගෙන වහා උගෙන් ඈතට පීනා යනු ඇත. උන්ගේ ගී නො ඇසෙන්නෙ ඒ නිසා ද?

පරිසරය නිහඬය! උඩ පැන්න මාළුවෙක් යළි කලපු දියට පතිත වීම නිසා මතුවුණු ජල තරංගය මැකී ගිය පසුව කළපු දිය ද නිසල වේ. මේ නිහඬ නිසල පරිසරයේදීත් ගී කියන මාළුන්ගේ ගී හඬ නොඇසෙන්නේ ඇයි?

ජනප්‍රවාදවලට අනුව මාළුන් ගී ගයන්නේ පසළොස්වක සඳ එළියනේ කළපු දිය නැහැවුණු රාත්‍රීන්හිදී පමණක් වන නිසාද?
එසේ නම් මා කොතෙක් බලා සිටියත් ගී කියන මාළුන්ගේ ගී හඬ අද ඇසෙන්නේ නැත.

කල්ලඩි කලපුවේ මාළු ගී ගැයුවේ කවදා පටන්දැයි නොදනිතත් ඒ ගී හඬ මුලින්ම ඇසුණේ නවසිය පනස් ගණන්වල දී කල්ලඩි ශාන්ත මයිකල් විදුහලේ සේවය කළ පියතුමෙකුටය. මේ පියතුමා මේ අපූරු ‘මාළු ගී’ පටිගත කළ අතර එය ශ්‍රී ලංකා ගුවන් විදුලියට යැවුවේය. 1960 වසරේ දිනෙක මෙම මාළු ගී හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය විය. ඒ සමගම සුරංගනා කතාවක් බඳු මේ අසිරිමත් සිදුවීම කල්ලඩි කලපුවට විචිත්‍රත්වයක් එක් කළේය.

ගී කියන මාළු සඳ පහන් රැයක අවදිව එක්රොක්ව, පෙම් ගී ගැයීම අපූරුවකි. අද කල්ලඩි පාලම අද්දර, මේ ගී කියන මාළුන්ගේ අනුරුවක් ද ඇත්තේය. ගී කියන මාළු කල්ලඩියටම අනන්‍යතාවයකි!

ඉතිං මේ පුරාවෘත්තයක් බඳු ඉපැරැණි, කල්ලඩි පාලමෙන් බසිමි. පාලමේ අපූරුව නෙත් පුරා දැකගත හැක්කේ ඈත සිටය. එනිසාම අලුත් පාලමට යා යුතුය. 2013 මාර්තු 22 වැනිදා විවෘත කළ මෙම අලුත් පාලමෙන් දැන් කාර් බස් මෝටර් සයිකල් සාඩම්බර ලීලාවෙන් ගමන් කරති! එහෙත් අර ඉපැරණි යකඩ පාලම, අදටත් කල්ලඩි කලපුවට උඩින් සිට, මඩකලපු දුම්රියට යන්නට එන්නට ඉඩ සලසමින් බලා සිටී.

කල්ලඩි වෙරළේ නොසංසුන් හඬ දැන් දැන් ඇසෙයි. එහෙත් කල්ලඩි කලපුව තාමත් සංසුන්ය. වෙරලෙන් එන සුළඟ කල්ලඩි කලපු දිය මත හැපී ජලය සසල කළත් කලපුව නොසන්සුන් වන්නේ නැත.

ගී කියන මසුන්ද සංසුන්ව සිටිනු ඇත. ඔවුන් නොසංසුන් වන පුන් පෝ දවසක මැදියම් රැයේ මම යළි කල්ලඩියට එමි. එදාටවත් ඔවුන්ගේ ගී හඬ අසන්නට මම බලාපොරාත්තු වෙමි!