කවදාවත් නොමියෙන ඉන්දියාවේ ඉර්ෆාන්

දියමන්තියක් කියන්නෙ කොච්චර වටිනා වස්තුවක් වුණත් වැරදි ඇඟිල්ලක රැඳුනොත් ඒක නිකම්ම නිකම් ගලක් විතරයි. .රංගනය කියන්නෙත් දියමන්තියක් වගේ දෙයක්.ඇත්තටම කලාව කියන්නෙ දෙවියන් ගෙන් ලැබුණු දෙයක්ද කියලා හිතෙන තරමට එය විස්මිත ත්‍යාගයත් .හැබැයි දෝතට ලැබුණත් ඒ ත්‍යාගය පරිස්සම් කරන්නනම් හැමෝටම බැහැ. ඒ ත්‍යාගය පුදුමාකාර විදිහට පරිස්සම් කළ කෙනෙක් තමයි ඉර්ෆාන් ඛාන් කියන්නෙ......
ඉර්ෆාන් යනු සැබැවින්ම රංගන ශිල්පියෙක්ට ඊර්ෂ්‍යා හිතෙන තරම් අතිදක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු වැනි මිනිසෙකුගෙන් අපට ගන්න පුළුවන් ලොකුම ආදර්ශය නම්, වසර ගණනාවක් පුරාවට ඔහු ලැබූ සියලු ප්‍රතික්ෂේප කිරීම් හමුවේ ඔහු කොයිම මොහොතකදිවත් තමන් ගැන පසුතැවිල්ලක් ඇති කර ගත්තේ නැති අතර , තමන් ගැන තිබූ විශ්වාසය කිසිදා අත් හැරියේද නැහැ.
ඉර්ෆාන් තමන්ට කවදාවත් කාල සීමාවක් පනවා ගත්තේ නැහැ. රඟපෑම කියන්නේ තමන්ගේ ජීවිතයේ අරමුණ බව ඔහු දැනගෙන හිටියා. ක්ෂේත්‍රය තුළ යන්තමින් රැඳී සිටීම වෙනුවෙන් කළ යුතු ඕනෑම දෙයක් කිරීමට ඔහු තීරණය කළා. 2001 වසරේ The Warrior වැනි චිත්‍රපට ලැබෙන තෙක් වසර ගණනාවක් ඔහු ඉතා අසීරුවෙන් තමයි ක්ෂේත්‍රයේ රැඳී සිටියේ.
මරණය කියන්නේ ජීවිතයේ තියෙන අවම වැදගත්කමක් තියෙන කොටස කියලා මම හැමදාම විශ්වාස කළා. කෙනෙක් කොයි විදියටද, කවදාද මැරෙන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ, තමන් ජීවත් වෙලා හිටපු කාලය ඇතුළත මොනවද කළේ කියන එකයි. ඉර්ෆාන් තමන්ගේ ජීවිතය ඇතුළත විශාල මෙහෙවරක් සිදු කළා. නමුත් ඉර්ෆාන්ගේ මරණයත් එක්ක මගේ ඒ පැරණි විශ්වාසය ගැන මට ආයෙ ආයෙත් හිතන්න සිද්ධ වුනා. මොකද ඉර්ෆාන්ගේ කාරණයෙදි, ඔහුගේ මරණය සිදු වූ කාලය සහ එය සිදුවූ ස්වභාවය දරාගන්න බැරි බලපෑමක් ඇති කළා. ඉර්ෆාන් කියන ඒ අපිරිමිත දක්ෂතාවය සහ නොසැලෙන කැපවීමයි කියන මහා අයිස් කන්දෙන් අපි දැක්කේ ඉතාම සුළු කොටසක් පමණයි. එහි ගැඹුරේ සැඟවුනු ඉතිරි මහා දක්ෂතාවයන් දකින්න අපිට වාසනාව නැති වුණා. මෙවැනි අවස්ථාවක අපට කළ හැක්කේ ඉර්ෆාන්ව ආදර්ශයක් ලෙස සලකා සැනසීම පමණයි.
ඉර්ෆාන්ගේ රංගන ප්‍රතිභාව ගැන මුළු ලොවම දන්නා අතර,එය සදාකාලිකව පවතිවී. නිසැකවම ඔහු ඉන්දියාවේ බිහිවූ විශිෂ්ටතම රංගනවේදියෙකු ලෙස සදා අනුස්මරණය කරනු ඇති. ඔහු රඟපාන දෙස බලා සිටින විට, ඔහුගේ සිතේ ඇති දේ කියවිය හැකි යැයි අපට හැඟෙනවා. ඔහු කිසිවිටෙකත් ප්‍රේක්ෂකයා වෙත ළඟා වීමට බලහත්කාරයෙන් උත්සාහ කලේ නැහැ. රංගන ශිල්පියෙකු ලෙස ඉර්ෆාන් තුළ තිබූ විස්මිත පරස්පරය මෙයයි. සාමාන්‍යයෙක් රංගන ශිල්පියෙකු ප්‍රේක්ෂකයා වෙත ළඟා වීමට මහත් වෙහෙසක් දරණ නමුත්,ඉර්ෆාන් දැන සිටියේ ප්‍රේක්ෂකයන් තමා සොයා එන බවයි. ඔහුව පෞද්ගලිකව දැන නොසිටි, ඔහුගේ නිර්මාණ හරහා පමණක් ඔහුව දැන සිටි අය පවා ඔහු සමඟ සමීප පෞද්ගලික බැඳීමක් ඇති කර ගත්තා. රංගන ශිල්පියෙකුට ප්‍රේක්ෂකයෙකු වෙනුවෙන් කළ හැකි වටිනාම මෙන්ම අගනාම දේ එයයි. බොහෝ නළුවන්ට ප්‍රේක්ෂකයා මවිත කිරීමට හෝ සතුටු කිරීමට හැකියාව ඇතත්, ප්‍රේක්ෂකයාගේ ලේ නහර තුළට කා වැදී " ඔහු අපේම කෙනෙක්" යන හැඟීම ඇති කිරීමට ඉර්ෆාන්ට තිබුණේ අපූරු හැකියාවක්.
බොහෝ දෙනෙක් ඔහුව පෞද්ගලිකව අඳුනන්නේ නැති වුනත්,ඔහු සැබෑ දියමන්තියක් බව වටහාගත් නිසාම මේ තරම් විශාල ජනතාවක් අද ටත් ඔහු වෙනුවෙන් මේ විදියට ශෝක වෙනවා. එයින් පෙනී යන දෙය නම් ඔහු තම රංගන කලාව කොයිතරම් ප්‍රගුණ කර තිබුණේද යන්න සහ ඔහු තුළ තිබූ නොසැලෙන ආත්ම විශ්වාසයයි. ඔහු ලැබූ සියලු ජයග්‍රහණවල රහස එයයි. ඔහුගේ රංගනය තුළින් නිරන්තරයෙන් විහිදුනු ඒ බුද්ධිමත් බව දුර්ලභ ලක්ෂණයක්. එමගින් ඔහුගේ රංගනයට අමුතුම ආකර්ෂණීය බවක් එක් කළා. සම්පූර්ණ මනස ඒකාග්‍ර කරගනිමින්, දින ගණනාවක් පුරා වර්ණවත් කුඩු භාවිතා කරමින් සංකීර්ණ රටා මවන බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ කැපවීම මට ඔහුව සිහිපත් කරනවා. එම නිර්මාණය අවසන් කළ පසු, ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව එය මකා දමනවා. එය කවුරුන් හෝ දැක්කාද නැද්ද යන්න ඔවුන්ට වැදගත් වන්නේ නැහැ ; වැදගත් වන්නේ එය නිර්මාණය කිරීම සඳහා ඔවුන් තම උපරිමය කැප කළා යන්න පමණයි. ඉර්ෆාන්ගේ රංගනය දෙස බලා සිටින විට මට නිරායාසයෙන්ම සිහිපත් වුනේ එවැනි මිනිසුන්. ඔහු කිසි විටෙකත් තම රංගනයන් ගැන කතා කළේ හෝ තම නිර්මාණ ගැන වර්ණනා කරගත්තේ නැහැ. ඔහු ඉතා නිහඬව තමාගේ කාර්යය ඉටු කළා. අනෙක් සියළුම නළුවන්ට වඩා අතිශයින්ම විශිෂ්ට වූ නළුවෙකුගේ රංගනය ඔහු තුළින් අපි දැක්කා.
ඔහු ඉතා මෘදු ගතිගුණ තිබෙන ආදරණීය මෙන්ම පරිත්‍යාගශීලී මනුෂ්‍යයෙක්.
රංගනය ගැන එක් ප්‍රවීණ ගුරුවරයෙක් වරක් මෙසේපැවසුවා: දක්ෂතාවය කියා දෙයක් නැහැ, තියෙන්නේ දක්ෂතාවයේ අඩුවක් පමණයි. දක්ෂතාවයේ අඩුවක් දැනෙන්නේ ඔබ සිටිය යුතු නිවැරදි ස්ථානයේ ඔබ නොසිටිනා විටයි. මට කිව හැක්කේ ඉර්ෆාන් ආරම්භයේ සිටම සිටියේ තමාට උචිතම නිවැරදි ස්ථානයේ බවත් , ඔහු එය මනාව වටහාගෙන සිටිය බවයි. ඔහු කලකිරීමට හෝ අපේක්ෂා භංගත්වයට පත් නොවුනේ ඒ නිසයි. තමාගේ නියම ස්ථානය කොතනදැයි ඔහු දැනගෙන සිටියා. එය අහම්බෙන් ලැබෙන ගුණාංගයක් නොවන අතර ජීවිතය ගැන අවබෝධය,සංවේදීතාව සහ අප්‍රමාණ මනුෂ්‍යත්වය තුළින් ගොඩනැගෙන්නක්. ඉර්ෆාන් උපතින්ම දක්ෂයෙක් යනුවෙන් පැවසීම පහසු වුවත් හැබෑවටම ලෝකයේ එහෙම දෙයක් නැත.මයිකල් ඇන්ජලෝ වැනි ශ්‍රේෂ්ඨ ශිල්පියෙකුට පවා තමන්ගේ කලාව ප්‍රගුණ කිරීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවුනා. ඉර්ෆාන් ද තමාගේ රංගන කලාවේ විශිෂ්ටයෙකු වීම සඳහා අතිමහත් ශ්‍රමයක් සහ කැපවීමක් කළ බව මට නිසැකවම විශ්වාසයි.
දක්ෂ නළුවෙකු වීම පිටුපස විශාල සූදානමක් වගේම පිටතට නොපෙන්වන ආත්ම විශ්වාසය අඩු බවක් සහ දරාගත නොහැකි මානසික පීඩනයක් ද තිබෙනවා. වාසනාවකට මෙන්,ඉර්ෆාන් හැඩ ගැසුණේ ඔහුගේ ජීවිත අත්දැකීමෙන් මිසක් හින්දි සිනමාවෙන් නෙමෙයි.
ආරම්භයේ සිටම අවසානය දක්වාම ඉර්ෆාන්ගේ ජීවිත කතාව සැබැවින්ම ආදර්ශමත්.
සිරගෙවල්වල රළු, රුදුරු රාත්‍රීන් මැද තැවෙමින් වුවද ,හෙට දවසේ රිදී රශ්මියෙන් දිදුලන අරුණෝදයක් පිළිබඳ බලාපොරොත්තුව තම හදවත් තුළ තාරකාවන් මෙන් දල්වාගෙන සිටිනා ඒ මිනිසුන් වෙනුවෙන් ( මුස්තන්දිර් දල්විගේ පරිවර්තනය ).
ඉර්ෆාන් ඉතිරි කර ගිය ඒ රංගන උරුමය හරියට අහසේ දිදුලන තාරකා මණ්ඩලයක් වගෙයි.ඕනෑම රංගන ශිල්පියෙකුට තම රංගන ජීවිතය ආලෝකවත් කර ගැනීමටත්,ආදර්ශයක් ලබා ගැනීමටත් සැමදා පවතින නොනිමෙන ආලෝකයකි. ඔහු සැබැවින්ම සමස්ත රංගන පරපුරේම ගෞරවාදරයට පාත්‍ර වූ, නළුවන්ගේ ද නළුවෙකි.
