සල්මාන් ගෙනාපු කෙල්ලෙක්, සායි මංජිකාර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා පවුලකින් බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වුණ තවත් යොවුන් රංගන ශිල්පිණියක් ගැන තොරතුරු කියන්නයි මෙවර අපගේ සුදානම. ඇය නමින් සායි මංජිකාර්. විවිධ භාෂාවන් ඔස්සේ නිර්මාණය වූ ඉන්දීය චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක් රඟපෑ මහේෂ් මංජිකාර්ගේ බාළ දුව. මහේෂ් කියන්නේ නළුවෙක් විතරක්ම නොවෙයි. චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, තිර පිටපත් රචකයෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම සායිගේ මව මේධා කියන්නෙත් දක්ෂ රංගන ශිල්පිණියක්.

සායි මංජිකාර් බොලිවුඩ් සිනමාවට එන්නේ ඇයට වයස අවුරුදු පහළොවේදී. ඒ තම පියා විසින් අධ්‍යක්ෂණය කරපු කක්පර්ශ් කියන මරාති චිත්‍රපටය හරහා. එහි කුෂි කියන තරුණු ගැහැණු ළමයාගේ චරිතය තමයි සායි නිරූපණය කළේ. කොහොම වුණත් ඇය බොලිවුඩ් සිනමාවට තරුවක් විදිහට එන්නේ සල්මාන් ඛාන්ගේ නිෂ්පාදනයක් වුණ ඩබාන්ග් තුන්වැනි චිත්‍රපටය හරහා. ඇය එහි කුෂි කියන චරිතය නිරූපණය කරනවා. කුෂි කියන්නේ ඩබාන්ග් චිත්‍රපටයේ සල්මාන්ගේ පැරණි පෙම්වතිය.

සල්මාන් වැනි සුපිරි තරුවකගේ චිත්‍රපටයක් හරහා බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වීමත් සමග සායිට බොලිවුඩයේ හොඳ පිළිගැනීමක් ලැබුණා. ඊට තවත් හොඳම උදාහරණයක් තමයි 2020 වසරේ පැවති ඉන්දියාවේ ප්‍රකට සිනමා සම්මාන උළෙලයන් රැසකදීම සායිගේ නම හොඳම නැගි එන නිළියට හිමි සම්මානය සඳහා නිර්දේශ වීම. පළමු චිත්‍රපටය හරහා නොසිතු ජනප්‍රියත්වයක් ලැබීමත් සමග සිනමා ලෝලීන් පවා  ඇය ගැන තොරතුරු හොයන්න ඒ කාලේ උනන්ඳු වුණා.

පාසල් යන කාලයේ සිට රංගනයට, ගායනයට මෙන්ම නර්තනයටද එකසේ දක්ෂ සායි මුම්බායි විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය නිමා කළ අයෙක්. එමෙන්ම ඇය රංග හා නාට්‍යය කලාව පිළිබඳව විශේෂ උපාධිදාරණියක්ද වෙනවා. පාසල් අධ්‍යාපනය නිමාවත් සමග කෙටි කාලයක් නිරූපණ කටයුතුවලටද සම්බන්ධව සිටි සායි මේ වනවිට පුර්ණ අවධානය යොමු කරලා තියෙන්නේ රංගනය පැත්තට.
ඩබාන්ග් තුන්වැනි චිත්‍රපටයේ රඟපෑමත් සමග සායිට බොලිවුඩ්, දෙමළ හා තෙළිඟු චිත්‍රපට බොහෝමයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. නමුත්, ඇයගේ අවසානවට ඒ කාලයේ කොවිඩ් වසංගත තත්ත්වය ලොවපුරා ව්‍යාප්ත වීම ආරම්භ වෙනවා. ඇයට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණ සියලු චිත්‍රපට ඒ හේතුවෙන් අතරමඟ නවතා දමනවා.

වසර තුනකින් පසුව සායිව නැවතත් සිනමා ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබෙන්නේ පසුගිය වසරේ තිරගත වූ මේජර් චිත්‍රපටය හරහා. හින්දි හා තෙළිඟු භාෂාවන් හඬකවා ප්‍රදර්ශනය වුණ මෙම ක්‍රියාදාම චිත්‍රපටයේ ඇය පෙනී සිටින්නේ අදිව් ශේෂ් නම් නවක නළුවා සමග. ඉන්දීය කෝටි 30කින් වියදමකින් හැදුණ මේජර් චිත්‍රපටය ඉන්දීය කෝටි 70ක ලාභ ලැබු එකක්ද වීම විශේෂත්වයක්.
දැනට චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වී වැඩ කරන සායි මේ වසරේ කුච් බට්ටා හෝ ජායි චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයින්ට දකින්න පුළුවන්. ඒ වගේම අවුරොන් මේන් කා ඩම් තා චිත්‍රපටයේ රූපගත කිරිම්වලට මේ දිනවල ඇය එකතු වීද සිටිනවා. සුපිරි නළුනිළියන් කිහිප දෙනෙකු යොදා නිර්මාණය කරන චිත්‍රපට කිහිපයක් හරහා ඇයව ඉදිරියේදී අපිට දකින්නට පුළුවන්.  

සායි කියන්නේ මහේෂ් මංජිකාර්ගේ දෙවැනි විවාහයේ දරුවෙක්. සායිට තවත් සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා ඔවුන් සිය පියාගේ පළමු විවාහයේ දරුවන්. ඊට අමතරව තවත් සහෝදරයෙක්ද සායිට සිටිනවා. ඔහු ඇයගේම එක කුස උපන් සහෝදරයා බවයි සඳහන් වෙන්නේ. පාසල් කාලයේ පෙම්වතෙකු සිටියත් සායිට දැන් නම් පෙම්වතෙක් නැහැ. ඇය කියන්නේ තවමත් ඒ ගැන හිතන්න කාලය වැඩියි කියලා.  

කුඩා කාලයේ සිට දන්නා කෙනෙකු වුවද සල්මාන්, සායිගේ සිනමා රසිකාවියක් නම් නොවේ. ඇය වැඩිපුරම ප්‍රියතාවයක් දක්වන්නේ රන්බිර් කපූර් හා ආක්ෂේ කුමාර් දෙන්නට. ඇයගේ එකම හිනයත් ඔවුන් දෙදෙනොගෙන් කෙනෙක් සමග චිත්‍රපටයක රඟපාන්න. සායිගේ සිත්ගත්ම සිනමා නිළිය වෙන්නේ ප්‍රියංකා චොප්රා. එළවලු කෑමවලට දැඩි ලෙස ප්‍රියතාවයක් දක්වන සායි මස් මාංශ කැමවලින් තොර කෙනෙකි.  නිතරම ලොව වටා සංචාරය කරන්නට කැමැත්තක් දක්වන ඇය වැඩිපුරම යන්නේ කියුබාවට. ඒ වගේම සායි අශ්වයන් පිට යාමටත් ඉමහත් කැමැත්තක් දක්වනවා.

බුද්ධික සේනාධීර