ඔෂාන්ගේ කුළුඳුල් ගීතය ’දඟකාරියේ’ රූප රචනාව එළිදකියි
නළුවෙක් සේම ගායකයෙක් ලෙසද වර්තමානයේ කටයුතු කරන ඔෂාන් විමුක්ති පසුගියදා සිය අලුත්ම ගීතයේ රුප රචනාව එළිදක්වනු ලැබීය. මෙය ඔෂාන්ගේ කුළුඳුල් ගීතය මෙන්ම රූප රචනාවද වන අතර, සිය අලුත්ම ගී නිර්මාණය ගැන ඔහු අපට පැවසුවේ මෙලෙසිනි.
දඟකාරියේ.. ගීතය කොහොමද නිර්මාණය වුණේ?
මගේ මතකය හැටියට දඟකාරියේ.. ගීතය නිර්මාණය කරන්න පටන්ගත්තේ 2023 වසරේදි ජූලි මාසයේ වගේ. ඒක නිකුත් කළේ අගෝස්තුවේදී. රූපරචනාවක් එක්ක නිකුත් කරන්න තමයි මගේ මුල් සැළසුම් වුණේ. නමුත්, ආර්ථික ප්‍රශ්න කිහිපයක් නිසා පස්සේ දඟකාරියේ.. ගීතය විතරක් මට නිකුත් කරන්න සිද්ධ වුණා. මේ ගීතය ගොඩක් අය අතරේ ජනප්‍රිය වුණා. ඒ හින්දා මම හිතුවා මේකට රූප රචනාවකුත් නිර්මාණය කරන්න. මුදල් ටිකක් හොයාගෙන මම මේකට රූප රචනාවක් කරලා පසුගිය පෙබරවාරි 15 වැනිදා නිකුත් කළා. මේ ගීතයේ විශේෂත්වය වන්නේ මේක මා විසින් ගැයූ පළමුවැනි ගීතය.
මේ ගීතය නිර්මාණය කරන්න දායක වුණ අය?
මේ ගීතයෙ පද රචනය කළේ රෙයාශිනි කියන කතුවරිය. රෙයාශිනි කියන්නේ දක්ෂ ගී පද රචිකාවියක්. දඟකාරියේ.. ගී පද රචනාව ඇය මුලින්ම දිලා තිබුණේ කිර්ති පැස්කුවල් මහත්මයාට. ඔහු මගේ ඥාතියෙක් වෙන විශාරද දේවිකා චතුරාණිට දිලා තිබුණා කරන්න කියලා. පස්සේ ඇය මට මේ ගීතය දුන්නා. එතකොට දඟකාරියේ.. සංගීතවත් කළේ සාමී ගුණතිලක හා තුලාශ් කාවිංග. දඟකාරියේ.. ගීතයට රූප රචනාව නිර්මාණය කළේ ඇනිමා ප්‍රඩක්ෂන් ආයතනය වෙනුවෙන් දිස්නක මුතුකැළුම් හා නිසල් දිසානායක දෙදෙනා. රූප රචනාවට පෙනී ඉන්නේ සුරේෂ් පල්ලියගුරුගේ හා ශෂිලා සෙව්වන්දි දෙන්නා.
මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර නම් ඉතා ඉහළයි. මේ ගීතය මම නිකුත් කළේ 2023 වසරේදි. අදටත් මේ ගීතය බොහෝ පිරිසක් අතර ජනප්‍රියයි. ඒ නිසා තමයි මම රූප රචනාවක් නිර්මාණය කළේ. දැනට මම මගේම කියලා යූ ටියුබ් නාලිකාවක් හදලා තියෙනවා. මගේ යූ ටියුබ් නාලිකාවට පිවිසුණොත් මේ ගීතය ශ්‍රාවකයින්ට රසවිඳින්න පුළුවන්.
පළමු ගීතයම මිනිස්සු ආදරයෙන් රසවිඳිවි කියලා ඕෂාන් හිතුවාද?
ඇත්තටම නැහැ. 2023 අගෝස්තු මාසයේදී මේ ගීතය නිකුත් කරපු වෙලාවේ ඇත්තටම මේ ගීතය ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි මේ ගීතය පුදුම විදිහට මිනිස්සු අතරට ගියා. ගොඩක් අය පෞද්ගලිකව දුරකතන ඇමතුම් පවා දීලා මට සුබපැතුවා. ඒ වගේම සමාජ මාධ්‍යයන් හරහා ගොඩ දෙනෙක් අතරට මේ ගිතය හුවමාරුවෙලා තිබුණා.
දඟකාරියේ ගීතයෙන් පස්සෙ?
ඔව්, අලුත් ගීතයක් කරන්න මේ දිනවල සැළසුම් කරමින් යනවා. දඟකාරියේ.. රූපරචනාව දාපු අලුත නිසා මම ටික කාලයක් අරගෙන අලුත් වැඩක් කරන්න තමා හිතාගෙන ඉන්නේ. ඉතින් මගේ ආදරණිය රසික, රසිකාවියන්ට කියන්න කැමතියි මිළඟට නිකුත් කරන මගේ දෙවැනි ගීතයත් ආදරයෙන් රසවිඳින්න කියලා.
ගායකයෙක් වෙන හිනයක් ඕෂාන්ට තිබුණද?
පාසල් යන කාලේදීම තමා. පාසල් යන කාලේ ඉඳලා සංගීතය වගේම ගායනය කියන දේ මගේ ඇඟ තිබුණා. ඉතින් මට අවශ්‍යය කරලා තිබුණේ මගේ මේ තියෙන හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒ වගේම මට රඟපාන්නත් පුළුවන් හොඳට. කලාව පැත්තෙන් ඉදිරියට යන්න මම හීන දැක්කා ඒ කාලේ ඉඳලාම. 2018 වසරේදී පාසල් අධ්‍යාපනය නිමාවත් සමග මම උත්සාහ කළා මගේම කියලා ගීතයක් කරන්න. නමුත්, මුල්‍යමය ප්‍රශ්න තිබුණා. පස්සේ රැකියාවකට යොමු වුණාට පස්සේ හිතුණා ගීතයක් නිර්මාණය කරන්න. ඒ අදහස පෙරදැරි කරගෙන තමා දඟකාරියේ.. ගීතය නිර්මාණය වුණේ.
බුද්ධික සේනාධීර