බූසාන් යන ධාරා

  • 25-09-2026

ධාරා මුහුරතට අපි ගියේ කාලෙකට ඉස්සර .උමා අසේනි ,තුමිඳු දොඩන්තැන්න මේ වගේ කට්ටියක් ධාරා එක්ක ඉන්නවා.දැන් ධාරා ලංකාවෙ ප්‍රදර්ශනයට ඉස්සර බූසාන් යන්නත් වරම් ලබාගෙන .

මේ බූසාන් යන  ධාරා ගැන ලියවුණු සටහනක්.

අනුරුද්ධගේ 'ධාරා' බූසාන් උළෙල නියෝජනයට සුදුසුකම් ලබයි....

ආසියාවේ සුවිසල්ම අන්තර්ජාතික සිනමා උළෙල ලෙසට ශ්‍රේණිගතවන  බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ (Busan International Film Festival) 31 වෙනි අදියර එළඹෙන ඔක්තෝබර් මස 06 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දකුණු කොරියාවේ බූසාන් නගරයේදී පැවැත්වීමට නියමිතය. රටවල් 59 කට අයත් චිත්‍රපට 247 ක් නිළ තෝරාගැනීම් (Official Selections) ලෙස උළෙලේ තිරගත වීමට නියමිත අතර, ඒ අතරට ශ්‍රී ලංකා- කැනේඩියානු නිෂ්පාදනයක් ලෙසින් අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ සහ වික්ටර් ගමගේ හා නිරාන් පෙරේරා එක්ව නිෂ්පාදනය කළ "ධාරා" (Lotus & Gun) චිත්‍රපටය එක්ව තිබේ. 

තරගකාරී අංශය (Competition), ලෝක සිනමා අංශය (World Cinema), ආසියානු සිනමාවට කවුළුවක් අංශය (A Window on Asian Cinema), නූතන කොරියානු සිනමා අංශය (Korean Cinema Today) ආදී ලෙසින් අංශ 14 ක් යටතේ උළෙල නියෝජනය කරන චිත්‍රපට තිරගත වන අතර, එහිදී  "ධාරා" චිත්‍රපටය "ආසියානු සිනමාවට කවුළුවක්" නම් වූ අංශය යටතේ උළෙල නියෝජනය කිරීමට තෝරාගෙන ඇත. 

1996 වර්ෂයේදී සමාරම්භය සටහන් කොට ඇති බූසාන් උළෙලේ එදා මෙදා තුර  තිරගත වී ඇති සමස්ත ශ්‍රී ලාංකේය චිත්‍රපට සංඛ්‍යාව 22 කි. ඒ අනුව "ධාරා"  චිත්‍රපටය බූසාන් උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලද 23 වෙනි ශ්‍රී ලාංකේය චිත්‍රපටය වේ. එසේම ආසියානු සිනමාවට කවුළුවක් නම් වූ අංශය (A Window on Asian Cinema) යටතේ උළෙල නියෝජනය කරන 14 වෙනි ශ්‍රී ලාංකේය චිත්‍රපටය "ධාරා" වේ. "ධාරා" ට පෙර 'පුරහඳ කළුවර', 'මගේ වම් අත', 'ඉර මැදියම', 'ආකාස කුසුම්', 'අහසින් වැටෙයි', 'කර්ම', 'නිල්', 'සුළඟ ගිනි අරන්', 'සංසාරේ දඩයක්කාරයා', 'ජංගි හොරා', 'අසන්ධිමිත්තා', 'ගාඩි' සහ 'රහස් කියන කඳු' යන චිත්‍රපට 13 "ආසියානු සිනමාවට කවුළුවක්" නම් වූ අංශය යටතේ තිරගත විය. 

තුමිඳු දොඩංතැන්න, උමා අසේනි, ප්‍රියන්ත සිරිකුමාර, අජා නවරත්ත, ජගත් මනුවරණ, ධනුෂ්ක ඩයස් යන අයගේ රංගනයෙන් හැඩ වන 'ධාරා' චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කැනේඩියානු ජාතික ක්‍රිස් ජෝයිස්ගෙනි. නාමල් ජයසිංහ තිර රචනය කළ, චන්දන ලියනගේ සංස්කරණය කළ, බිබිලදෙණියේ මහානාම ස්වාමින්වහන්සේ සංගීත අධ්‍යක්ෂණය කළ, ඉන්දීය ජාතික තපස් නායක් ශබ්ද නිර්මාණය කළ, ජනක බණ්ඩාර කලා අධ්‍යක්ෂණය කළ, සංජීව කරුණාරත්න ඇඳුම් නිර්මාණය කළ 'ධාරා' හි අංග රචනය ප්‍රියන්ත දිසානායකගෙනි. එයට අමතරව විධායක නිෂ්පාදනයෙන් දමින්ද මඩවලත් , රේඛීය නිෂ්පාදනයෙන් සසික හේරතුත්, නිෂ්පාදන කළමණාකරණයෙන් රංජන් ප්‍රසන්නත්, සහාය අධ්‍යක්ෂණයෙන් සඳුනි ජයපත්මත්, දෙවෙනි සහාය අධ්‍යක්ෂණයෙන් නදීෂානි පියතිලකත් "ධාරා" හා එක්වූහ. 

'ධාරා' චිත්‍රපටයේ මංගල දර්ශනයට (World Premiere) සහභාගී වීම උදෙසා චිත්‍රපටයේ අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහ එළෙඹෙන ඔක්තොබර් 05 වෙනිදා බූසාන් නුවර බලා පිටත්වීමට නියමිතය.