වින්දන ආරියවංශ එතෙර ජූරියක් හමුවට
ප්‍රේමය නම්,මලකි දුවේ නුඹ වැනි සිනමා කාව්‍යයන් ශ්‍රී ලාංකික සිනමාවට තිළිණ කරමින් සුවහසක් ප්‍රේක්ෂක හදවත් දිනාගත් නිර්මාණශීලී සිනමාවේදී වින්දන ආරියවංශට ලොව ප්‍රමුඛතම A-ශ්‍රේණියේ (FIAPF A-list) ජාත්‍යන්තර සිනමා උළෙලක් ලෙස හැඳින්වෙන එස්තෝනියාවේ Tallinn Black Nights Film Festival (PÖFF) හි 30 වැනි සංවත්සර සිනමා උළෙලේ නිල ජූරි සභිකයෙකු ලෙස කටයුතු කිරිමේ අවස්ථාව හිමිව ඇත.
සිනමාවේදී වින්දන ආරියවංශට හිමිව ඇත්තේ එස්තෝනියානු ලේඛක ජෑන් කවුස් (Jan Kaus) සහ ඉන්දීය චිත්‍රපට නිෂ්පාදිකා සුප්‍රියා සූරි (Supriya Suri) සමඟ එක්ව ආසියානු සිනමා නිර්මාණ ඇගයීම සඳහා පත්කළ තිදෙනෙකුගෙන් යුත් ජාත්‍යන්තර ජූරි මණ්ඩලය නියෝජනය කිරීමේ අවස්ථාවයි.
Tallinn Black Nights Film Festival (PÖFF) යනු කෑන්ස් (Cannes), බර්ලින් (Berlin) සහ වැනිස් (Venice) වැනි ලොව විශිෂ්ටතම A-ශ්‍රේණියේ සිනමා උළෙලවල් 15 අතරට අයත් උතුරු යුරෝපයේ විශාලතම සිනමා උළෙල වන අතර මෙහි 30 වැනි සංවත්සර උළෙල 2026 නොවැම්බර් 6 සිට 22 දක්වා එස්තෝනියාවේ ටැලින් (Tallinn) සහ ටාටු (Tartu) නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය .
උළෙලේ විවිධ තරගකාරී අංශ නියෝජනය කරන ආසියානු සිනමා නිර්මාණ නරඹා, ඒ අතරින් විශිෂ්ටතම ආසියානු චිත්‍රපටය තෝරා ගැනීම POFF 30 ජූරි මණ්ඩල අතරින් NETPAC ජූරි සභාවේ ප්‍රධාන වගකීමයි.
උළෙලේ සමාරම්භක ජූරි හමුවෙන් පසු, ජූරි සභිකයින් ලෙස වින්දන ආරියවංශ ඇතුළු කණ්ඩායමට දින ගණනාවක් පුරා දිවෙන දැඩි චිත්‍රපට දර්ශන කාලසටහනකට (Film Screenings) සහභාගී වීමට සිදුවන අතර එහිදී සෑම චිත්‍රපටයකම කලාත්මක ගුණාත්මකභාවය, තිර රචනය සහ ආසියානු සිනමා අනන්‍යතාව පිළිබඳව සෙසු ජූරි සභිකයින් සමඟ ගැඹුරු සාකච්ඡා පවත්වා සම්මානලාභී නිර්මාණය තීරණය කරන්නට සිදුවේ.
ලොව ප්රමුඛ පෙළේ A-ශ්‍රේණියේ සිනමා උළෙලක නිල විනිශ්චය මණ්ඩලයකට ශ්‍රී ලාංකික සිනමාවේදියෙකු තෝරා පත්කර ගැනීම, ශ්‍රී ලාංකික සිනමාව හා සිනමාවේදීන් ජාත්‍යන්තරව හිමිකරගත් ජයග්‍රහණයකි.
