ශාස්ත්‍රීය රස වෑහෙන අමුතුම හැන්දෑවක් - සිංහාභින විඳින්න එන්න නෙළුම් පොකුණට
නර්තනයත් ගීතයත් සංගීතයත් ත්‍රී මූර්තියක්යැයි සිතන තරමට ඒ සුසංයෝගය ඔස්සේ ගලා එන අපරිමිත රස දහරාවන් මානව මනස ආධ්‍යාත්මික භාවනාමය දිශානතියක් ඔස්සේ මෙහෙයවයි.
සැබවින්ම සුභාවිත සුභාෂිත සුලාලිත නර්තනයකට ගීතයකට සංගීතයකට කවියකට මේ ආදී කලාවේ නෙක දහරාවන්ට හුදෙක් රස වින්දනයෙනුත් ඔබ්බට මානවීය සුවවත් භාවය උදෙසා කළ හැකි දෑ බොහෝ වෙත්. චමත්කාරය යනු සියලු සෞන්දර්යයන්ගේ හරය එක් තැන් වූ තෝතැන්න වේනම් ඒ තෝතැන්න යනු ලෞකිකත්වය තුළ මා දකින නිර්වාණයයි.
ඉතින් සිංහාභින වෙනුවෙන් එවන් පෙරවදනක් ලියා තබන්නට මට සිත් විය.
දිනය :2026.09.02
වේලාව : හවස 6.00
තැන :නෙළුම් පොකුණ
අභින ඩාන්ස් ඇකඩමිය ගෙනඑන සිංහාභින ප්‍රසංගය පිළිබඳව ඔබට ප්‍රවේශපත් මිලදී ගැනීම හෝ වෙනත් මොනයම් හෝ තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්
071 6175517 සහ 070 4266141 යන දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳව විමසන්න පුළුවන් .......

ඉතින් අවසරයි සිංහාභින නියමුවාණන්. ගුරුදේව දිනේෂ් ඈපාසිංහ සමඟ නර්තනය සහ කලාව හා අත්වැල් බැඳගත් මෙහෙවර ගැන කතා කරන්නට.
Q: ඔබ ආ දිගු ගමනේ සමාරම්භය ගැන අපි කතා කරමු ?
2006 වසරේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වලින් තමයි මේ ගමන මම පටන් ගත්තේ.මොකද මම මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට ගියා.කොළඹ ලුම්බිණි විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබපු මම ඉන්පසු ජාතික තරුණ සේවා සභාවෙන් සහ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. ඉන්පසු කොළඹ ඉසිපතන විද්‍යාලයේ නර්තන ගුරුතුමා විදිහට මම පත්වීම් ලැබුවා.කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඉගැන්වීම් කළ වසර තුනක කාලය තුළත් මම ලොකු ජයග්‍රහණයක් ලැබුවා. ඒ තමයි වසර විසි හතකට පසු ඉසිපතන විද්‍යාලයට නර්තන අංශයෙන් සමස්ත ලංකා පළවෙනි තැන දිනා දෙන්න මට පුළුවන් වුණා.ඉන් පසු තමයි මම ඔස්ට්‍රේලියාවට යන්නේ.
Q: ඉතින් ඊට පස්සේ?
ඔස්ට්‍රේලියාවෙ ඉද්දි මට අවස්ථාවක් ලැබුණා නිදහස් උත්සවය වෙනුවෙන් දියණියකට නර්තන අංගයක් නිර්මාණය කරන්න.ඇත්තටම මට ඒ ලැබුණු අවස්ථාව වචනයෙන් කියන්න බැරි තරම් මිහිරක් ගෙනාව දෙයක්. මොකද නර්තනය හා තියෙන ආත්මීය බැඳීමෙන් මට ගැලවෙන්න මේ ලෝකයේ කුමන රටකට ගියත් මට බෑ කියලා මම දැනගෙන හිටියා. එදා ඒ නර්තන අංගය මම නිර්මාණය කළ දියණිය තමයි 2014 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත්තේ.ඇය තමයි ගම්‍යා විජේදාස.ඇත්තටම ඇය තමයි ඕස්ට්‍රේලියාවේදී මගේ පළවෙනි ශිෂ්‍යාව වුණේ. එතකොට මට වයස අවුරුදු විසි හතයි. ගම්‍යාට වයස අවුරුදු 14යි.ගම්‍යා විජයදාස මගේ පළවෙනි ශිෂ්‍යාව වුණ දවසෙම රෑ මට ඇමතුමක් ආවා රේණුකා බාලසූරියගේ පුතාගෙන්.
"අයියේ මම රෝයල් ගියේ ඉස්කෝලෙ මට බෙර ගහන්න පුළුවන්.මට අයියා ගාවට ඇවිත් බෙර ගහන්න පුළුවන්ද " කියල ඇහුවා . මම කීවා කිසිම ප්‍රශ්නයක් නෑ එන්න කියලා. ඊට පස්සේ රේණුකා බාරසූරියගේ පුතා බෙර ගැහුවා. මමයි ගම්‍යයි මෙල්බර්න්වල පළවෙනි ප්‍රසංගය කළා. එදා මගෙන් මවුපියන් විස්සක් තිහක් විතර ඇහුවා ඔයා ක්ලාස් කරනවද ක්ලාස් පටන් ගන්න අපි උදව් කරන්නම් කියලා.එතනින් තමයි මම ඔස්ට්‍රේලියාවේ නර්තන පන්ති ආරම්භ කළේ.ඊට පස්සේ හැමෝම පන්තියට නමක් ඕනේ නමක් ඕනි කියද්දී ගම්‍යා මගෙන් ඇහුවා දිනේෂ් අය්යා කැමති ඔයාගේ නමින් පන්තියේ නම යනවටද නැත්නම් වෙන නමකින් පන්තියේ නම යනවටද කියලා.මම කිව්වා මගේ නමින් යනවට මම කැමති නෑ කියලා.මට ඕන තේරුමක් තියෙන නමක් දාන්න කියලා. මම කිව්වා.අභින ඩාන්ස් ඇකඩමි නමින් පන්තියේ නම දැම්මේ ඕස්ට්‍රේලියාවෙදි තමයි.
Q: අභින ඩාන්ස් ඇකඩමිය පටන් ගත් පසු ඔස්ට්‍රේලියාවේ කරපු පළවෙනි ප්‍රසංගය ගැන ඔබේ මතක මොනවද?
මීට අවුරුදු 20කට 25 කට උඩදී සෝම හාමුදුරුවන්ගේ පන්සලේ බුදු ගේ හදල තිබුණේ නෑ.එහේ අය මගෙන් ඇහුවා බුදු ගේ හදන්න සල්ලි එකතු කරන්න ප්‍රසංගයක් කරමුද කියලා.මම කිව්වා කිසිම ප්‍රශ්නයක් නැහැ බුදුගෙය හදන්න අපි ප්‍රසංගය කරමු කියලා.2000 වර්ෂයේ නර්තන සහස්‍රා නමින් අපි එම ප්‍රසංගය කළා. ඒ ප්‍රසංගයේ ඔක්කොම නැටුවේ ඔස්ට්‍රේලියාවේ ඉපදුනු ලාංකික දරුවන්.එය අතිශය සාර්ථක ප්‍රසංගයක් වුණා.ඇත්තට ඒ සතුට මේ මොහොතෙත් මම විඳිනවා.
Q: පළමු ප්‍රසංගයෙන් ඔබ නැවතුණේ නැහැ ?
ඔව් දෙවැනි ප්‍රසංගය මම කළේ මයුරාභිරංගන කියලා. මෙහෙම ඉද්දි මට ආරාධනාවක් ආවා බ්‍රිස්බේන් වලින්. ඩොක්ටර් සාගරිකා අත්තුඩාවගෙ තමයි මට ඒ ආරාධනාව කළේ. ඇයගේ උදව් ඇතිව මම බ්‍රිස්බේන්වලත් පන්ති පටන් ගත්තා. සෙනසුරාදා උදේ පහයි හතළිහේ ගුවන් යානයෙන් මම බ්‍රිස්බේන්වලට ගිහින් එහෙන් හවස 6.20 ගුවන්යානයෙන් මම මෙල්බර්න් එනවා. ඒ සොඳුරු වෙහෙසට අදත් මම ආදරෙයි .
Q: නර්තනයත් එක්කම ගෙවුණු ජීවිතයේ වෙනසක් වුණේම නැද්ද?
මෙල්බර්නවලදිම යෝජනාවක් අනුව මම විවාහ වුණා..කාලයත් එක්ක මම දුවකට තාත්තා කෙනෙක් වුණා. මට හිතුනා මගේ දුව ලාංකික සංස්කෘතිය සම්ප්‍රදායත් එක්ක හැදෙන්න වැඩෙන්න ඕනේ කියලා.හැබැයි මම ඒකෙන් අදහස් කළේ ඔස්ට්‍රේලියානු සංස්කෘතියේ සම්ප්‍රදායේ වැරැද්දක් තියෙනවා කියන එක නෙමෙයි.කලාවේදියෙක් ලෙස මට මගේ උරුමය ගැන හැඟීම ප්‍රබල වුණා කිව්වොත් නිවැරදියි.ඒ අනුව මම ආයෙමත් ලංකාවට ආවා.
Q: ලංකාවට ආවට පසු ඔස්ට්‍රේලියාවෙ දරුවන්ට ඉගැන්වීම් කරන එක ඔබ නතර කළාද ?
ඇත්තටම නතර කරන්න ඔවුන් මට ඉඩක් දුන්නේ නැහැ. ඔවුන් මගෙන් ඉල්ලීමක් කළා. ස්කයිප් තාක්ෂණය ඔස්සේ අපේ දරුවන්ට උගන්වන්න කියලා. බ්‍රිස්බේන්වල කරපු පන්තිය මම තවමත් කරගෙන යනවා. ලංකාවේ වෙලාවෙන් පාන්දර තුනට නැගිටලා අදටත් මම තාක්ෂණය ඔස්සේ ඔස්ට්‍රේලියාවේ දරුවන්ටට උගන්වනවා. පාන්දර තුනේ ඉඳන් ලංකාව වෙලාවෙන් හවස එක වෙනකම් මම ඒ පන්තිය කරගෙන යනවා.ඉතින් නර්තනය ඔස්සේ ස්ට්‍රේලියානු ඩොලර් මම ලංකාවට ගේනවා.
Q: ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විචාරක ප්‍රේමසර ඈපාසිංහ කියන්නේ ඔබේ සීයා...මොනවද සීය ගැන තියෙන ආදරණීය මතක ?
සීයා කියන්නේ මගේ ජීවිතය ආදරණීයම චරිතයක්. කොළඹ විදුර විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කරන්න මට අවස්ථාව හදලා දුන්නෙත් සීයා.ඉතිං අවුරුදු එකොළහක් තිස්සේ මම නර්තන ගුරුවරයෙක් ලෙස විදුර විද්‍යාලයේ සේවය කරනවා.මේ කාලය තුළ විදුර විද්‍යාලයේ වෙස් මංගල්‍යය තුනක් මම සාර්ථකව සිදුකළා. ඒ වගේම මට අවස්ථාව ලැබුණා විදුර විද්‍යාලයේ ළමයි හතළිස් හත් දෙනෙක් සමග මොස්කව් නුවර නර්තන තරගයකට ඉදිරිපත් වෙන්න.ඒ තරඟයට රටවල් විසි අටක් සහභාගී වුණා. ඒ විසි අටෙන්ම පළමු ස්ථානය විදුර විද්‍යාලයට දිනා දෙන්න මටත් මගේ දරුවන්ටත් පුළුවන් වුණා. Best Costume ඇතුළු වටිනා සම්මාන හතරක් අපි ඒ තරගයේදී දිනාගත්තා. ඒ වගේම ඉන්දියාව ඊජිප්තුව ඇතුළු රටවල් ගණනාවක ප්‍රසංග සඳහා දරුවන් සමඟ යාමටත් මට අවස්ථාව ලැබුණා.
Q: ලංකාවේ වැඩ කරගෙන යද්දි ඔබට ක්ෂේත්‍රයේ හමුවුණු ප්‍රවීණයන් කවුද ?
ආචාර්ය රවිබන්දු විද්‍යාපති, චන්දන වික්‍රමසිංහ ,චන්න විජේවර්ධන වගේ ප්‍රවීණයන් මට මුණගැසුණා.ඒ හැම දෙනාමත් එක්ක ඉතාමත් සහයෝගයෙන් වැඩ කරන්න මට පුළුවන් වුණා. සැබවින්ම කලාව ප්‍රගුණ කරනවනම් ඉවසීම සහ මානසික ශික්‍ෂණය අපි තුළ ඇතිවෙනවා.ඒ ඉවසීම සහ ශික්ෂණය තුළ ඕනම කෙනෙක් එක්ක සහයෝගයෙන් වැඩ කරගෙන යන්න පුළුවන්.

Q: උත්තරීතර දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන නුවර දළදා පෙරහරටත් ඔබ ඔබේ නර්තන වින්‍යාසයන් මුසු කරන්න තරම් භාග්‍යවන්ත වෙනවා ?
ඔව් නයි අඩි නර්තන අංගයෙන් අපි ඒ සහයෝගය පෙරහරට ලබා දෙනවා. එය වචනයෙන් කියා නිම කළ නොහැකි සතුටක් සහ ආත්ම තෘප්තියක්. ඒ වෙනුවෙන් ඒ අවස්ථාව ලබා දුන් හැමදෙනාටම මගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා. ඒ අවස්ථාව අපට ලැබුණේ කණ්ඩායම් දහ අටක් අතුරින්. ඒ නැටුම් කණ්ඩායම් 18 අතුරින් විදුර් විද්‍යාලයේ කණ්ඩායමට තමයි ඒ අවස්ථාව ලැබුණේ. ඇත්තටම විදුර විද්‍යාලය හා සම්බන්ධ වීම මගේ නර්තන ජීවිතයේ ප්‍රමුඛ සංධිස්ථානයක් සහ රුවන්මය වාසනාවක් කියලයි මට හිතෙන්නේ.
Q: වසර දහයකට පසු ඔබ ලංකාවේ ප්‍රසංගයක් කරන්න සූදානම් වෙනවා. දැනෙන සතුට කොයිතරම්ද ?
ශාස්ත්‍රීය පදනම යටතේ දරුවන්ට තම ප්‍රතිභාවන් විදාහළ හැකි එමෙන්ම උසස් රස වින්දනාත්මක ගුණයන්ගෙන් පූර්ණ වූ ප්‍රසංගයක් තමයි මම සිංහාභින නමින් පවත්වන්නේ.අද වෙද්දි කෝලම් කලාව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ නිසා මට අවශ්‍ය වුණා කෝලම් කලාව ඔස්සේත් දරුවන්ට යමක් උගන්වන්න සහ ප්‍රේක්ෂකයන්ට උසස් රස වින්දනයක් ලබා දෙන්න.නිර්මාණ දාහතක් අපි මේ ප්‍රසංගයේදී ඉදිරිපත් කරනවා.
ඉතින් මේ මෙහොතේ මට අ යන්නේ ඉඳන් ජීවිතය උගන්වපු ,වචනයකින් හරි මට දිරියක් ආශිර්වාදයක් වූ මගේ ජීවිතයේ හමුවූ හැමකෙනෙක්ටම මම හදවතින්ම ස්තූතියි කියනවා.
ඉතින් ඒ රස මසැසින් දැක මනසින් විඳිය යුතුමය . එහෙයින් ගුරුදේව දිනේෂ් ප්‍රසංගය ගැන තවත් බොහෝ දෑ කීවද ඒ කිසිත් මම ඔබට නොකියමි.ඒ ඔබ එය ඔබේ තුරුල්ලට ගෙන රස විඳිය යුතු නිසාමය.
නර්තනය, සංගීතය සහ ගීතය යනු දිව්‍යමය රස තැවරුණු සාංසාරික වරප්‍රසාදයන් ලෙසත් දෙවියන්ගෙන් ලද දිව්‍යතාග ලෙසත් මම විශ්වාස කරමි. එහෙයින්ම ඒ රස සාර සුබාවට තැවරුණු තැන් ඔබට හමුවේ නම් ඔබ එය මග නොහැරිය.යුතුමය.ඉතින් සැප්තැම්බර් දෙවැනිදා ඒ රස විඳින්න එන්න නෙළුම් පොකුණට....ඉරගල වැටෙන සැඳෑවේ සවස හයට ඔබ වෙනුවෙන් නෙළුම් පොකුණ වේදිකාව මත ඒ රංග ප්‍රතිභාවන් දිගහැරෙනු ඇත..
ගුරුදේව දිනේෂ් ඈපාසිංහ ඇතුළු දරුවන්ට සාරවිට අපගේ ආදරය සහ ප්‍රණාමය

















