කවුරුත් කතාකරන්නෙ පැංචා කියලා

  • 25-11-2020
  • Views 1372

20201124Dulan (3)

අපි නම් කයි මයියොක්කා...
අපි නම් තෙමෙයි වැස්සට...
ප්‍රේක්‍ෂකයින්ට මේ දෙබස් හොඳින්ම මතක තියෙන්නෙ විකාශය වූ සුනිල් කොස්තාගේ ‘‘සුදු ඇඳගෙන කළු’’ නාට්‍යයේ ‘‘පැංචා’’ නිසයි. පැංචා ලෙස ඉතා අපූරු රංගනයක යෙදුණු ඔහු නමින් දුලාන් මංජුල ලියනගේ. දුලාන් මේ දිනවල ප්‍රේක්‍ෂකයින් අතරට එන්නේ සුනිල් කොස්තාගේ ‘‘කැන් යූ හියර් මී’’ (Can You hear me) නාට්‍යයේ අශාන් නමැති චරිතය සමගයි. මේ කතාබහ එලෙසින් හමුවන ‘‘දුලාන්’’ එක්කයි. 

 

• දුලාන් ගැන විස්තර ටිකක් කියමු?

ගම ගාල්ල. විද්‍යාලෝක විද්‍යාලයට ගියේ. පවුලේ අම්මයි, තාත්තයි, මමයි, අයියයි විතරයි. තාත්තා විභාග දෙපාර්තමේන්තුවේ සේවය කරලා දැන් විශ්‍රාමිකයි. අයියා ග්‍රැෆික් ඩිසයිනින් කරන්නෙ.

• දුලාන්ගෙ අරමුණු වුණේ? 

මට තේරුම් ඇති වයසේදී වගේ රඟපෑමටත් ආසා කළා. ඒත් ඉගෙන ගන්නවටනෙ ගෙදරින් බල කරන්නෙ. උසස් පෙළ කළේ ඉංජිනේරුවරයකු වීමේ අරමුණ ඇතිව කිව්වොත් හරි. ඒත් ඇතුළාන්තයේ නිතරම තිබුණේ රඟපෑමට හිත.

• ඇයි රඟපෑමට ආසා කළේ? 

පොඩි කාලයේ ඉඳලාම ෆිල්ම්ස් එහෙම බලද්දී, මට දැනුණු හැඟීම නිසා වෙන්න ඇති. පවුලේ කවුරුවත් රඟපාලා තිබුණෙ නැහැ. තාත්තාට චිත්‍ර ඇඳීමේ දක්‍ෂතාවය තියෙනවා.

• පාසලේදී විසේකාර චරිතයක් වුණාද? 

නැහැ. බොහොම සරල, පාඩුවේ තමුන්ගෙ වැඩ ටික කරගෙන හිටපු චරිතයක්. 

• රඟපෑමට තිබුණු ආසාව, ඉටු කරගත්තෙ කොහොමද? 

බාහිරව අධ්‍යාපනය ලබද්දී, ඒ ස්ථානවලදී පොඩි පොඩි ඩ්‍රාමා එහෙම හදලා, යාළුවෝ එක්ක එකතු වෙලා ඒවා කරලා තියෙනවා. එහෙම එහෙම ඇවිත්, කලා කටයුතු කරගෙන ගියා. මුලින්ම ‘‘බටහිර අහස’’ නාට්‍යයේ තිර පරීක්ෂණයකට ගියා. යාළුවෙක් මට ඒ අවස්ථාව ගැන කිව්වෙ. ඒක පොඩි චරිතයක්. නමුත් එතැනදි කැළුම් උඩුවාවල අයියා හඳුනාගන්න ලැබුණා. 
අයියේ මට අලුත් ටෙලි එකක ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබුණොත් කියන්න කිව්වා. ‘‘මල්ලි සුනිල් කොස්තා මහත්තයාගෙ අලුත් වැඩක ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා, උඹ පලයං තේරුණොත් ගොඩ කිව්වා. 
දින දෙකක් පුරා පැවැති ඊට බොහෝ පිරිසක් ඇවිත් හිටියා. මගේ වෙලාවට අන්තිමට මාව ‘‘පැංචා’’ චරිතයට තේරුණා. ප්‍රධාන චරිතයක් ලැබීම ලොකු භාග්‍යයක්. මාව සොයා ගත්තෙ සුනිල් කොස්තා මහතා. ‘‘සුදු ඇඳගෙන කළු’’ නාට්‍යයේ මට ලබාදුන් අවස්ථාවට එතුමාට ස්තූතිය පුදන්න ඕනෑ. 
ඒ අවස්ථාවෙන් පසුව තමයි මේ දිනවල විකාශය කෙරෙන එතුමාගේ ‘‘කැන් යූ හියර් මී’’ චරිතයට අවස්ථාව ලැබුණේ. ඊට පෙර සුපුන් රත්නායක මහතාගේ බ්ලැක් ටවුන් ස්ටෝරි නාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලැබුණා. ඒකත් ලොකු අවස්ථාවක්.

• අපි කතා කරමු, ‘‘කැන් යූ හියර් මී’’ නාට්‍යයේ චරිතය ගැන?

‘‘අශාන්’’ නමැති චරිතයක්. ‘‘පැංචාට’’ වඩා හාත්පස වෙනස් චරිතයක්. අපට තියෙන ප්‍රශ්න අහන්න කෙනෙක් නැහැ, කියන්න කෙනෙක් නැහැ, ඇතුළාන්තයේ ප්‍රශ්න තියාගෙන අපිම විසඳුම් හොයමින් සිටින ජීවිත ගැන වූ කතාවක්. ‘‘අශාන්’’ තමුන්ගෙ ජීවිතයට රෝල ගහගන්න දඟලන කොල්ලෙක්. ඒත් අර කී ස්වභාවය හමුවේ නගරයේදී සම්පූර්ණයෙන් වෙනස්වන චරිතයක්. 

• සැබෑවට ගත්තොත්, පැංචා වගේද? නැත්නම් අශාන්ටද ඔබ වඩා සමීප?

අශාන් වගේ නම් නෙවෙයි. පැංචාට ටිකක් සමානයි. සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන පාඩුවේ ඉන්න කෙනෙක්. හැමෝම එක්ක සුහඳශීලීව ඉන්න කෙනෙක්. 

• මේ හැර වෙන රැකියාවක් කරනවද? 

කලින් ඇක්සස් ආයතනයේ වගකීම් සහිත රස්සාවක් කළා. දැන් නම් වෘත්තීය මට්ටමින් රඟපෑම තමයි.

• ගෙදරින් බනින්නෙ නැද්ද? රඟපෑම තෝරා ගැනීම ගැන? 

මුලදී ටික්ක ප්‍රශ්න තිබුණා. ඒත් දැන් එහෙම නැහැ. ගෙදර අයත් කැමතියි.

• කොහොමද මේ ‘‘පැංචාගෙ’’ ආදරේ එහෙම? 

පුද්ගලික ජීවිතයේ තවම පෙම්වතියක් නම් නැහැ.

• ‘‘ආදරය’’ කියලා ඔබ හිතන්නෙ? 

කෙනෙක් තේරුම් ගැනීම සහ විශ්වාසය මත යන බැඳීමක්. ඒ දෙක නැත්නම් ඒක බොරුවක්. මම විශ්වාස කරන්නෙ එහෙමයි. 

• මිනිස්සු ඔබව හඳුනා ගත්තෙ කොහොමද? 

අද ‘‘අශාන්’’ වුණත්, තවමත් කතා කරන්නෙ ‘‘පැංචා’’ කියලයි. ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මත් එහෙමයි. ඒ වගේ චරිතයකින් ප්‍රේක්ෂකයින් අතරට යාමට ලැබීම ඒක ඇත්තටම වාසනාවක්. මිනිස්සුන්ගෙ ඒ ආදරය ලැබීමම මා ලැබූ පිනක්. ‘‘සුදු ඇඳගෙන කළු’’ නාට්‍යයේ පැංචා වූ නිසා රයිගම් ටෙලීස් නැගී එන නළුවා ලෙස නිර්දේශ වුණා. ඒකම ලොකු ජයග්‍රහණයක්. ඇත්තෙන්ම මගේ මේ ගමනේ අරමුණ ලංකාවේ හොඳම නළුවකු වීමයි.

• රඟපෑම හැර – ඔබ සතු වෙන දක්‍ෂතා මොනවාද? 

චිත්‍ර අඳින්න ටිකක් විතර පුළුවනි. 

• මේ මොනවත් නොකළ නම්? 

මම දිව්වෙ මේ හීනය පස්සෙ, එහි දුර ගමනක් යන්න තියෙනවා. ඒ සිහින ගමන මේ තරම් ඉක්මණට, ප්‍රේක්ෂකයාට සමීප වේවි කියලා මම හිතුවෙ නැහැ. ‘‘සුදු ඇඳගෙන කළු’’ නාට්‍යයේ රඟපෑ ප්‍රවීනයන්ගෙන් මට ලැබුණු සහයෝගය හරිම ඉහළයි. ආධුනිකයින් ලෙස අපට සැළකුවේ නැහැ. අඩුපාඩු කියලා දීලා ලොකු සහයෝගයක් ලබා දුන්නා. ආනන්ද කුමාරුන්නැහේ, ලක්ෂ්මන් මෙන්ඩිස් සහ නිරෝෂන් විජේසිංහ ප්‍රවීනයින් හරි අව්‍යාජ මිනිස්සු. 

• මේ හැර ඉදිරි නිර්මාණ මොනවද? 

ෆිල්ම් එකකට ආරාධනා ලැබුණා. වේදිකා නාට්‍යයකටත් ආරාධනා ලැබුණා. ඒත් මේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ ඒ වැඩ තවම පටන් ගත්තේ නැහැ.

• ‘‘දුලාන්ට’’ තව මොනවද කියන්න තියෙන්නෙ? 

මේ ආ ගමනේදී බොහෝ දෙනෙක් නිරන්තරයෙන් මාව දිරිමත් කළා. ඒ සියලු දෙනාට බොහෝම පින්. ඒ අතරින් ධනුෂ්ක කරුණාතිලක, ශාලිත අයියා සහ ලක්මා අක්කාව විශේෂයෙන් සිහිපත් කරන්න කැමතියි. 

සඳුන් ගමගේ

20201124Dulan (1) 20201124Dulan (2) 20201124Dulan (4)