‘‘අපි කන බොන හැමදේම සෞඛ්‍යයට බලපාන නිසා ඒ ගැන මම ගොඩක් හිතනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෑම කියන්නේ අපිට ජීවත් වෙන්න අත්‍යවශ්‍යම කාරණා වලින් වැදගත්ම කාරණාවක්. ඉතින් බොහෝ දෙනා කෑම ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ වගේම බොහෝ දෙනා විවිධ වර්ගයේ කෑම රස බලන්න කැමතියි. ඒ නිසා විවිධ රසට කෑම හදන්න, ඒ වගේම වෙනත් තැනකින් ඒ වගේ කෑම කාලා බලන්න ප්‍රිය කරනවා. මේ හැමදේම එක්ක අපි කෑම ගන්නකොට ශරීර සෞඛ්‍යයට අවධානය යොමු කිරීම තවත් වැදගත් දෙයක්. ඉතින් මේ කෑම එක්ක තියෙන රස මතක බෙදාගන්න ජනප්‍රිය රංගන ශිලපිනී නිපුනි ගුණවර්ධන මෙවර සඳැල්ල අපිත් එක්ක එකතු වුණා.

නිපුනි වැඩිපුරම කෑම ගන්නේ ගෙදරින්ද එළියෙන්ද ?

වැඩිපුරම කෑම ගන්නේ නම් ගෙදරින්. අම්මා උයන කෑම කන්න තමයි වැඩිපුරම කැමති. සමහර අවස්ථාවල එළියෙන් කෑම ගන්න වෙලාවල් තියෙනවා.

අම්මා හදන කෑම වලින් වැඩිපුරම කන්න කැමති කෑම මොනවද ?

අම්මා හදන හැම කෑම එකක්ම රසයි සහ මම ඒවා කන්න ගොඩාක් කැමතියි. මොකද අපෙ අම්මා ගොඩාක් රසට කෑම උයනවා. ගස්ලබු කරි එකක් හදනවා ඒක හරිම රසයි. තව හදනවා කිරිබත් එකක්. ඒකට දානවා රතු කව්පි, වෙලාවකට කඩල ටිකකුත් දානවා මම හිතන්නේ. ඒක හදලා ඒකත් එක්ක කන්න හදනවා රසම රස උම්බලකඩ සම්බෝලයක්, හරියට උම්බලකඩ ලුණු මිරිසක් වගේ. ඒකටම එයා රසම රස පොළොස් කරි එකක් හදනවා. ඒ කෑම එක හැදුවම හැමදාම වුණත් ඒක කන්න පුලුවන්. මම හරිම ආසයි. ඒක ඒ තරම්ම රසයි.

වැඩිපුරම කන්න කැමති කෑම සහ බොන්න කැමති දේවල් ?

වැඩිපුරම කන්න ආස සී ෆුඩ් වර්ග තමයි. බොන්න කැමති තැඹිලි, කුරුම්බා වගේ දේවල්.

කන්න අකමැති කෑම බීම මොනවද ?

එහෙම විශේෂයක් නැහැ. ඕනම කෑමක් කන්න අපේ අම්මා අපිව හුරු කරලා තියෙනවා. ඒ නිසා එළවලු එහෙම තෝරන්න බැහැ. නමුත් මම ශෝටීස් වලට ලොකු කැමැත්තක් නැහැ. ඒ වගේම කඩවල් වල තියෙන කෘතීම රසකාරක බීම වර්ග වලට එහෙම කැමති නැහැ. මම ඒ වගේ බීම ජාති බොන්නේ නැහැ.

එළියෙන් කනවනම් කන්න කැමති කෑම මොනවද ? 

මම එළියෙන් කෑම ගන්නවනම් වැඩිපුරම කන්නේ සී ෆුඩ්ස් තමයි. ගොඩක් වෙලාවට එළියෙන් කෑම ගන්න යන්නෙත් අම්මා එක්ක තමයි.

නිපුනි ගෙදර කෑම හදනවද ? ඒ මොනවද ?

ඔව් මම ගෙදර කෑම හදනවා. නමුත් වැඩිපුරම කෑම හදන්නේ අම්මා තමයි. අම්මාට කෑම හදන්න බැරි වෙන අවස්ථාවන් වල මම කෑම හදනවා. බත් සහ කරි වර්ග හදනවා. ඊට අමතරව ස්පැගටි, නූඩ්ල්ස්, රොටී වර්ග, තෝසේ වගේ කෑම වර්ග හදනවා.

නිපුනි කන්න කැමති, රස කෑම එකක් හදන විදිය රෙසිපි එකක් කියමුද බලන්න ?

මම කන්න ආසම ගස්ලබු කරිය හදාගන්න විදිය කියන්නම්.  ඒකට අවශ්‍ය වෙනවා හොඳට පැහිච්ච ගස්ලබු ගෙඩියක්. ටිකක් පාට වෙච්ච වගේම පොඩ්ඩක් පැණි රස වුණාට, ළාවට ඉදුණට ප්‍රශ්නයක් නැහැ. මුලින්ම ගස්ලබු ගෙඩිය හොදට සෝදලා, සුද්ද කරලා, ඒක පොඩියට කෑළි වලට කපාගෙන හොදට සෝදලා වළදකට දා ගන්නවා.  පරිප්පු මිටක් විතර හොදට සෝදලා අරගෙන අර වළඳටම දාගන්නවා. ඉන් පස්සේ ඒකට රතුළූණු, අමු මිරිස්, උළු හාල්, කරපිංචා එහෙම දාලා, මිරිස් තුනපහ, කහ ටිකක් දානවා. ඊට පස්සේ අපිට අවශ්‍ය පදමට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඒකට වතුර හරි දිය කිරි ටිකක් හරි දාලා ලිපේ තියන්න ඕන. ටික වෙලාවකට පස්සේ ඒක ටිකක් හොදට තැම්බුණාම ඒක පැත්තකින් තියලා වෙන ඇතිලියකට තෙල් ටිකක් දාලා ඒකට සුදු ළූණු, රතු ළූණු, අබ, කරපිංචා, රම්පේ දාලා ඒකටම වේලිච්ච මිරිස් කරල් දෙක තුනකුත් දාලා ඒ ටික හොදට බැදුණම අර කලින් උයපු ගස්ලබු ටික ඒකට එකතු කරගෙන මිශ්‍ර කරගන්න ඕන. ඒ විදියට තමයි මම කන්න ආසම ගස්ලබු කරි එක හදන්නේ.

ගෙදර විශේෂ අවස්ථා වල හදන කෑම මොනවද ? 

ගෙදර විශේෂ අවස්ථා වල වැඩිපුරම කෑම හදන්නේ අම්මයි මමයි. ඒ වෙනුවෙන් එක එක ජාතියේ කෑම හදනවා. බත් සහ කරි වර්ග වගේම විශේෂ කෑම හදනවා. ගෙදරට එන අය එක්ක ඒක වෙනස් වෙනවා.

නිපුනිගේ කෑම වලට කට්ටියගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

ගෙදර අයගෙන් වගේම විශේෂ අවස්ථා වල ගෙදරට එන අයගෙනුත් ගොඩක් හොද ප්‍රතිචාර තියෙනවා කෑම බීම වලට.

ප්‍රධාන අාහාර වලට අමතරව කන්න කැමති, පැණි රස, ඩෙසර්ට් වර්ග එහෙම තියනවද ?

මම පැණි රස කෑම කන්න නම් ගොඩාක් කැමතියි. ඒත් ගොඩාක් කන්න හොඳත් නැහැ. මම වැඩිපුරම කන්න කැමති චීස් කේක්, වටලප්පන් වගේ දේවල්. ඒ වගේම අපේ අම්මා හදනවා මික්ස් ෆෘට් සැලඩ් එකක් ඒකට එක එක පළතුරු ලස්සනට පොඩිවට කපලා හදන්නේ ඒක හරිම රසයි සහ මම ඒ ෆෘට් සැලඩ් එක කන්න ගොඩක් කැමති.

ඔය අතරේ සෞඛ්‍යය ගැන හිතනවද ? 

සෞඛ්‍යය ගැන නම් ඇත්තටම හිතනවා. හිතන්න පුරුදු කළේම අම්මා තමයි. මොකද පොඩි කාලේ ඉඳලම අම්මා කෑම හදලා දීල පුරුදු කළේ එහෙම තමයි. අපි ගොඩාක් පොඩි කාලේ එහෙම ශෝටීස් වගේ දේවල් කෑවේ නැහැ. ගොඩක්ම බත් එක්ක පලා වර්ගයක්, මාළු සහ මොනවහරි එළවලු වර්ගයක් එක්ක තමයි අපි කෑම කෑවේ. ඉතින් ඒ විදියට තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න හුරු වුණේ. හැම වෙලාවෙම වර්ක් අවුට් කරන්න බැහැ. නමුත් මම ගොඩක්ම කැමති පයින් යන්න, ඇවිදින්න. මොකද ඒ විදියට හෝ ව්‍යායාමයක් මම මගේ ශරීර සෞඛ්‍යය වෙනුවෙන් කරනවා. ඇත්තටම ගොඩක් වෙලාවට කෑම පාලනය කරනවා. කාබෝහයිඩ්‍රේට් වැඩිපුර අඩංගු කෑම පාලනය කරලා තියෙනවා. පැණි රස කෑම කන්න ආස වුණාට සමහර අවස්ථාවල ශරීර සෞඛ්‍යය වෙනුවෙන් පාලනය කරනවා.

නිපුනිට කෑම ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද ?

හැමෝම එක එක විදියේ කෑම කන්න කැමතියි. මමත් ඒ වගේ කෙනෙක් කෑම කද්දි අපි ඒ ගැන දැනුවත් වෙලා කෑම කනවනම් ඇත්තටම ගොඩක් හොදයි. ශරීර සෞඛ්‍යය ගැන එහෙම හිතන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. නමුත් එහෙම හිතන්න වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ වගේ දේවල් අඩු කරගෙන අපේ ඉදිරිය ගැන හිතලා හොඳ දේවල් විතරක්  කෑමට එකතු කරගත්තොත් අපේ සෞඛ්‍යයට ගොඩාක් හොඳයි. අපි කන බොන හැමදේම අපේ සෞඛ්‍යයට බලපානවනේ. කෑම කියන්නේ ගොඩාක් හොද දෙයක් අපිට ජීවත් වෙන්න ලොකුවටම බලපාන්නේ කෑම බීමනේ. ඒ නිසා ඒ ගැන හිතලා කටයුතු කරන එක ගොඩක් වටිනවා. 

නිපුනි කන්න ආසාවෙන් හිටපු කෑමක් හොයාගෙන ගිහින් කාලා තියෙනවද ? එහෙම කන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද ?

ලංකාවේ නම් එක එක විදියට හදන නොයෙක් විදියෙ කෑම කාලා තියෙනවනේ. මම ආසවෙන් හිටියා ඩුබායි වල තියෙනවා එක එක කෑම. ඒවා කන්න ආසාවෙන් ඉන්නකොට ඩුබායි යන්න අවස්ථාවක් ලැබුණා මටයි අම්මටයි දෙන්නටම ඉතින් අපි දෙන්නම ඒ රටට ආවේනික කෑම ජාති ​ගොඩක් ට්‍රයි කලා ඒක ඇත්තටම ගොඩක් සතුටු හිතෙන අවස්ථාවක්. මොකද ඒ රටවල් වල වෙන වෙන ටේස්ට්නේ තියෙන්නේ ඒ වගේ විවිධ රටවල් වල ඒ කෑම ටේස්ට් කරන්න මම හරිම කැමතියි. 

අමා අලහකෝන් / ඡායාරූප -  සජීව ලක්ෂාන්