අවුරුදු පහේදී තමයි මම මුලින්ම රඟපාන්න ආවේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පිණියක් ලෙස ඔබ කවුරුත් දන්නා රිසොනි ලෙහන්සා මෙවර අපගේ තරු කතාබහට සම්බන්ධ වුණා. දැනට ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේම ඔබ දුටු ලෙහන්සා දේශිය සිනමාව තුළද ප්‍රේක්ෂක ඔබට දකින්නට පුළුවන. මේ දිග හැරෙන්නේ ලෙහන්සාගේ කතාවයි.

ඔබ රංගන ශිල්පිණියක්?

මම මුලින්ම රංගනයට ආවේ මට අවුරුදු 5ක් විතර සපිරෙද්දි. මම ගොඩක් පොඩියි එතකොට. රූපවාහිනි වෙළෙඳ දැන්වීමක් තමයි මම මුලින් කළේ. ඒකට මාව සම්බන්ධ කලේ අපේ තාත්තාගේ මිතුරෙක්. මගේ මතකය හැටියට නම් 2011 වසරේදී. එදා ඉඳන්ම මම රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉඳලා තියෙනවා. අද වෙන කොට මම වෙළෙඳ දැන්වීම් 30කට වඩා වැඩි ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා.

දැනට ඔබ දායක වුණ කලා නිර්මාණ මොනවද?

වෙළෙඳ දැන්වීම් වලට අමතරව මගේ මුල්ම චිත්‍රපටය විදිහට මම දායක වුණේ උදාර පල්ලියගුරු මහත්මයාගේ සාම කුමරු කතාවට. එතකොට මට අවුරුදු 10යි. තව හිරු හා සිරස රූපවාහිනි නාලිකාවල විකාශය වුණ කෙටි ටෙලි හා චිත්‍රපටවල මම සම්බන්ධ වෙලා තියෙනවා. මගේ පළමු ගීත රූප රචනාවට මම දායක වුණේ මට වයස අවුරුදු අටේදී. 2020 වසරේදී තවත් මම ගීත රූප රචනාවකට දායක වුණා. මම 2020 ඉඳන් 2022 වෙනකන් හිරු රූපවාහිනි නාළිකාවේ විකාශනය වුණ මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ සෙලීගේ චරිතයට පණ පෙව්වා.  ඊට පස්සේ එම නාලිකාවෙම විකාශය වුණ අසිරිමත් දළදාගමනය ටෙලිනාට්‍යයටත් දායක වුණා.

කලාවට සම්බන්ධ වුණ එක ගැන මොකද හිතෙන්නේ?

ගොඩාක් සතුටුයි. මම මේ ක්ෂේත්‍රයට ආවේ ගොඩක් පොඩි කාලේ.  මාත් සමග එකට වැඩ කරපු මගේ වයසේ ළමයි ගොඩක් දැන් මේ ක්ෂේත්‍රය තුළ නැහැ. දැන් අලුතින් ගොඩක් අය එකතු වෙනවා. ඒත් මම තරඟ කරලා නිර්මාණ වලට යන්න කැමති නැහැ. මාව හඳුනන අය, යම් කිසි නිර්මාණයකට මාව සුදුසුයි කියලා හිතලා එයාලාම මට කතා කළොත් විතරයි මම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. ඒවගේම මම බලනවා ඒ නිර්මාණ මටත් සුදුසු ඒවාද කියලා.

ඔබ සිනමාවටත් දායක වුණ තරුණ රංගන ශිල්පිණියක්?

මම කලින් කිව්වා වගේ මම පොඩි කාලේ තමයි සිනමාවට එකතු වෙන්නේ. ඒ උදාර පල්ලියගුරු මහත්මයාගේ තවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. එහි රූපගත කිරිම් මාර්තු මාසයේ ආරම්භ කරන්න නියමිතයි.

පවුලේ අය කැමති වුණාද ඔබ කලාවට සම්බන්ධ වෙනවට?

ඔව්. මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි විතරයි. මම තමයි පවුලේ එකම දරුවා. කලාවට වගේම මගේ අනිත් හැම දේටමත් මට උදවු කරන්නෙ මගේ පවුලේ අය. අනිත් එක කලාව කියන්නේ ගොඩක් හොඳ ක්ෂේත්‍රයක. ගොඩක් සතුටින් වැඩ කරන්න පුළුවන් වගේම අපේ ජීවිතේට අත්දැකීම් රාශියක් එකතු කරගන්න පුළුවන් ක්ෂේත්‍රයක් කියලාත් මම හිතනවා.

ඉදිරි ඉලක්ක මොනවද?

මුලින්ම මගේ ඉගෙනීම් කටයුතු හොඳින් අවසන් කරන්න ඕනා. ගිය වසරේදී තමයි මම අපොස සාමාන්‍ය පෙළ අවසන් කළේ.  උසස් පෙළ මේ වසරේදී ඉඳන් පටන් ගන්නවා.  ඊට අමතරව මම පාසල් යන ගමන්ම පෞද්ගලික උපාධියක් හදාරන්නත් පටන් අරගෙන තියෙනවා. හොඳට ඉගෙනීම් කටයුතු කරගෙන ඒ අතරතුර හොඳ නිර්මාණ වලට කතා කළොත් ඒවාට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

බුද්ධික සේනාධිර