ඇහැට හිතට නෙවෙයි පපුවටම කතා කරන්න මිස්ටර් ප්‍රසිඩන්ට්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q ප්‍රියන්ත... 'මිස්ටර් ප්‍රසිඩන්ට්' ගැන අපිට ටිකක් කියන්න?

මේ මොහොතේදි අපි හැමෝම අපි ගැන යම්කිසි විදිහකින් හොයනවා නම් අපි රටේ අද තියෙන තත්ත්වය ගැන කතාබහ කරනවා නම් ඒ ගැන තමයි මේ කතා කරන්නෙ. ''අපි ජීවත් වෙන්නෙ කොහොමද? අපි ඉස්සරහට මොකද කරන්නෙ'' කියලා අපි හැමෝම මේ කාලයේදි කතාබහ කරන්න පටන් අරගෙන තියෙන්නෙ. හවසට කට්ටියක් සෙට්වෙලා පොඩි අඩියක් ගැහුවත් ''දැන් මෙහෙම ඉඳලා වැඩක් නැහැ. අපි අලුතින් හිතන්න ඕනෑ'' කියලා කතා වෙනවා. ඒ නිසා ගයාන් කනිෂ්ක රාජපක්ෂගේ රචනාව ඇතුළේ ඒ ඇතිවන සංවාදය නැවත යම්කිසි විදිහයකින් නිර්මාණාත්මකව නාට්‍යයක් ඇතුළට ගෙනත් තියෙනවා. අපි හැමෝම කතා කරන ඒ දේවල් නාට්‍ය කලාව ඔස්සේ නැවත නැවතත් බලන්න ආරාධනාවක් කරනවා කියලයි අපිට හිතෙන්නෙ.

Q රොෂාන්... 'මිස්ටර් ප්‍රසිඩන්ට්' ලාංකික ප්‍රේක්ෂකාගාරය නරඹන්නට පෙර ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ලාංකිකයන්ට නරඹන්න අවස්ථාව ලැබුණා නේද?

ඔව්... මිස්ටර් ප්‍රසිඩන්ට් වේදිකා නාට්‍ය මීට වසරකට දෙකකට පෙර ඔස්ට්‍රේලියාවේ වේදිකාගත වුණා. ඒ වෙනුවෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. මිස්ටර් ප්‍රසිඩන්ට් ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවේ වේදිකාගත වුණේ 2022 අවුරුද්දෙ ඔක්තෝබර් මාසේ 22 වැනිදා  මෙල්බන් නුවරදි. 2022 අවුරුද්දෙ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදි ප්‍රාන්ත පහක මෙය වේදිකාගත වුණා. ඒ හැම දර්ශනයකටම හොඳ ප්‍රේක්ෂකාගාරයක් තිබුණා. ඇත්තම කිව්වොත් 'මිස්ටර් ප්‍රසිඩන්ට්' වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂක ගයාන් කනිෂ්ක ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. ඒ නිසා තමයි ඔහු අපිව එරටට ගෙන්වාගෙන පෙර පුහුණුවීම්වලින් පසුව මේ වේදිකා නාට්‍ය එරට වේදිකාගත වුණේ. ඉතින් ඒ නිසා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරයට පෙර ඔස්ට්‍රේලියාවේ ප්‍රේක්ෂකාගාරයට 'මිස්ටර් ප්‍රසිඩන්ට්' නරඹන්න අවස්ථාව ලැබුණා. ඇත්තම කිව්වොත් 'මිස්ටර් ප්‍රසිඩන්ට්' කියන්නෙ අපේ රටේ ජීවත්වෙන වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකාගාරය බැලිය යුතුම වේදිකා නාට්‍යයක්.

Q සුපිරිම නළුවන්  හතර දෙනෙක් එකම වේදිකාවේ. ඒ රොෂාන් රවීන්ද්‍ර, ප්‍රියන්ත සිරිකුමාර, කළණ ගුණසේකර සහ සේවියර් කනිෂ්ක. මේ හතරදෙනා සොයාගැනීම සිදුවුණේ කොහොමද?

ඒක ඇත්තටම තීරණය කළේ ගයාන්. ඉතින් එයාගෙන් අපිට ආරාධනාවක් ලැබුණා. මට හිතෙනවා මේ වේදිකා නාට්‍යයට අපි හතරදෙනා හරියට හරි කියලා. අපි පුහුණුවීම් කරලා ඔස්ට්‍රේලියාවේ දර්ශන වාර කිහිපයක්ම වේදිකාගත කළා. ඒ දර්ශන වාර සියල්ලම සාර්ථක වුණා. ආයෙත් අපිම මේ චරිතවලට 'කවුද වෙන හොඳ'' කියලා හිතද්දි එහෙම වෙන කෙනෙක් හිතෙන්නෙම නැහැ. ඒ නිසා අපි හතරදෙනා දැන් 'මිස්ටර් ප්‍රසිඩන්ට්'ට හුරුවෙලා ඉවරයි.

Q රොෂාන්... ඔබ හතරදෙනාම කාර්යබහුල කලාකරුවන්. 'මිස්ටර් ප්‍රසිඩන්ට්' වෙනුවෙන් පුහුණුවීම් කළේ කොහොමද?

ඇත්තටම පුහුණුවීම් නොකර වේදිකා නාට්‍යයක් වේදිකාගත කරන්න බැහැ. ඒ නිසා කොච්චර කාර්යබහුල වුණත් අපි හතරදෙනා ඒ වෙන්කර ගත්ත දිනවලදී පුහුණුවීම්වලට සහභාගි වුණා. මේ වේදිකා නාට්‍ය දේශපාලනික ප්‍රහසනයන් පිරුණු වේදිකා නාට්‍යයක්. හැබැයි අර්ථවත් වේදිකා නාට්‍යයක්. අධ්‍යක්ෂකවරයාගේ දෘෂ්ටිකෝණයෙන් ඔහු පිටපත ලියලා තියෙනවා. ඉතින් පෙබරවාරි නවය සහ දහ වැනිදා මුල් වතාවට මිස්ටර් ප්‍රසිඩන්ට් කොළඹ ලයනල් වෙන්ට් රඟහලට සවස හතට ආවොත් දැකබලා ගන්න පුළුවන් වේවි.

Q රොෂාන්.. පවතින ආර්ථික තත්ත්වයත් එක්ක ලංකාවේ ප්‍රේක්ෂකයන්ගෙන් වේදිකා නාට්‍ය නැරඹීමට එන පිරිසේ අඩුවක් තියෙනවද?

2000 මුල් කාලෙදි ගෙවල්වල මිනිස්සු දරුවන් කැටුව ඇවිත් වේදිකා නාට්‍ය නරඹපු යුගයක් තිබුණා. නමුත් ටිකෙන් ටික වේදිකා නාට්‍ය පෙන්වූ රඟහලවල් කැඩිලා ගිහින්.  බලධාරීන් ඒ ගැන තැකීමක් නොකරන නිසාම වේදිකා නාට්‍ය වේදිකාගත කරන්න දැන් රඟහලක්වත් නැති තරම්. රජය ඇතුළෙන් ඒක නගාසිටුවන්න අතදීමක් නැහැ. ඇත්තටම වේදිකා නාට්‍ය කලාව ටිකෙන් ටික ගිලිහෙමින් යන තත්ත්වයක් උදාවෙලා. හැබැයි වේදිකාවට ආදරය කරන පිරිසක් තවමත් මේ රටේ ඉන්නවා. හොඳ වේදිකා නාට්‍යයක් නරඹන්න කැමති ප්‍රේක්ෂකාගාරයක් තවමත් මේ රටේ ඉන්නවා. ඉතින් ඒ පාලම ශක්තිමත් කරන්න අපි හැමෝම එකතු වෙන්න ඕනෑ. 'මිස්ටර් ප්‍රසිඩන්ට්' රට වටේ වේදිකාගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

Q මිස්ටර් ප්‍රසිඩන්ට්ට අමතරව රොෂාන් මේ දිනවල නියැලෙන වැඩ කටයුතු මොනවද?

ඇත්තම කිව්වොත් එහෙම ලොකුවට මම වැඩ පටන් අරගෙන නැහැ. මේ දිනවල මගේම නිර්මාණයක් කරන්න පොඩි සූදානමක් තියෙනවා. ලබන වසරේදි ඒ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

Q කනිෂ්ක.. ඔබ වේදිකාවෙන් කලාවට අවතීර්ණ වුණු කලාකරුවෙක්. රොෂාන්, ප්‍රියන්ත, කලණ එක්ක 'මිස්ටර් ප්‍රසිඩන්ට්' අතරතුර ලබපු අත්දැකීම් කොහොමද?

මේ දිනවල 'මිස්ටර් ප්‍රසිඩන්ට්' සහ තවත් වේදිකා නාට්‍යයකට සම්බන්ධවෙලා ඉන්නවා. වේදිකාව ඔස්සේ රංගනයට අවතීර්ණ වෙන්න මට අවස්ථාව ලැබුණා. වේදිකා නාට්‍ය වගේම වීදි නාට්‍යවලත් මම වැඩ කරලා තියෙනවා. තාමත් ඒ හැම කලා නිර්මාණයකම රඟපාන්න ආසයි වගේම රඟපානවා. රොෂාන් අයියා, ප්‍රියන්ත අයියා, කලණ අයියා එක්ක වේදිකා නාට්‍යයක රඟපාන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටු වෙනවා. 'මිස්ටර් ප්‍රසිඩන්ට්' වේදිකා නාට්‍යයට පෙර අපි මුණගැහිලා තියෙනවා. ඔවුන්ගේ නිර්මාණ මම හරිම ආසාවෙන් බලලා බොහෝ දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒකම මේ වේදිකා නාට්‍යයෙදිත් සිද්ධ වුණා. අපි හතරදෙනා අපි හතරදෙනාව පෝෂණය කළා. ඒ වගේම අපේ අධ්‍යක්ෂකවරයා තමයි අපි මුලින්ම රසවත් කළේ. ඉතින් අපි හතරදෙනා එකිනෙකාට උදව් කරමින් මේ නිර්මාණයට දායක වුණා. ඔස්ට්‍රේලියාවේදි පැවැති දැඩි සීතලට අපි හතරදෙනාම එකතුවෙලා මුහුණ දුන්නා. ඔස්ට්‍රේලියාවට යන්න සති දෙකකට පෙර අපි පුහුණුවීම් කළා. රංග වින්‍යාස සහ නාට්‍ය පිටපතේ වචන අපි ලංකාවෙදි පුහුණුවෙලා ඔස්ට්‍රේලියාවට ගියේ.

Q ප්‍රියන්ත... වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂක ගයාන් කනිෂ්ක හිටියෙ ඔස්ට්‍රේලියාවෙ. වේදිකා නළුවන් හිටියෙ ලංකාවේ. මේ පුහුණුවීම් සිදුකෙරුණේ කොහොමද?

වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක මුලින්ම පිටපත අපිට ලබා දුන්නා. අපි හතරදෙනා මුණගැහිලා පිටපත කියවලා සූදානම් වුණා. තාක්ෂණික පහසුකම් එක්ක ඔහු හා අපිට ගනුදෙනු කරන්න පුළුවන් වුණා. පිටපතේ තිබුණු දෙබස් ඇතුළේ අපි සැහැල්ලු වෙන්නෙ කොහොමද කියලා හිතලා අපි ඒ දෙබස් ලංකාවේදි පාඩම් කර ගත්තා. නැටුම්, සංගීතය විෂයන් එක්ක වැඩ කළා. ඔස්ට්‍රේලියාවට ගියාට පස්සෙ ඒ පෙර පුහුණුවීම් එක්ක ඔහු හා ඉතිරි කොටස් සම්පූර්ණ කරන්න පහසු වුණා.

Q කලණ.. මේ දිනවල දූවිලි කෝරලේ විල්සන්ට වැඩ වැඩියි නේද?

ඔව්.. මිස්ටර් ප්‍රසිඩන්ට් නිසා වෙනත් නිර්මාණයකට මේ දිනවල දායක වුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ දිනවල දූවිලි කෝරලේ විල්සන්ට රඟපානවා. ඉතින් අධ්‍යක්ෂකතුමා සහ අපි හතරදෙනාට අමතරව මිස්ටර් ප්‍රසිඩන්ට් වටා තව පිරිසක් එකතුවෙලා ඉන්නවා. සංගීතයෙන් තිලංක ගමගේ. රංග වින්‍යාසය රංග නුවන්ත, ආලෝකකරණය රංග සමරකෝන්, අංග රචනය ප්‍රියන්ත සිරිකුමාර, වේදිකා පරිපාලනය රවීන්ද්‍ර චානක, නාමල් ගමගේ, සම්බන්ධීකාරක නාමල් බණ්ඩාර. ඉතින් ඒ සැමදෙනා එක්ක මිස්ටර් ප්‍රසිඩන්ට් රට වටේ යන්න සූදානමක් තියෙනවා.

I දිශානි ජයමාලි
සේයාරූ I සුමුදු හේවාපතිරණ