ඉදිරියේදී සිනමාව හරහා මාව වැඩිපුර දකින්න පුළුවන් වේවි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වුණ හදවතේ කතාව ටෙලි නාට්‍යයේ ශාක්‍යා එහෙමත් නැත්නම් සුදු නෝනා ලෙස පෙනී සිටි යොවුන් රංගන ශිල්පිණි ත්‍රිෂාලා නතාෂි මෙවර සාරවිට අපේ තරු කතාබහට සම්බන්ධ වුණා. මේ ඇය සිය කලා දිවියේ ගැන අපට පැවසු දේ.

කුඩා කාලේ ඉඳලා ඔබ කලාවට කැමති කෙනෙක්?

ඔව්, කලා ක්ෂේත්‍රයට මම මුලින්ම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉඳලා. මම පාසල් ගියේ නුවර සෙවන්ත් ඩේ ඇවෙන්ට්ස්ට් උසස් විදුහලට. මට වයස අවුරුදු 14දී මම විෂයක් විදිහට නර්තනය හදාරන්න පටන්ගත්තා. ඊට පස්සේ පාසලේ මුද්‍රිකා නර්තන කණ්ඩායම සමග වැඩ කළා. ඔය අතරේ තමා රංගන ශිල්පිණියක් විදිහට කලාවට සම්බන්ධ වෙන්නේ.

ඒ අවස්ථාව ලැබෙන්නේ කොහොමද..

නිරුක්ෂාන් ඒකනායක අයියා හරහා මට අවස්ථාව ලැබෙනවා දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න. ඒ මධුකා කියන පාසල් ශිෂ්‍යාවට රඟපාන්න. මේක ටිකක් කපුරු චරිතයක්. ඒ චරිතය හරහා තමා මම කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වෙන්නේ.

ඊට පස්සේ ඔබ රඟපෑ ටෙලි නිර්මාණ මොනවද?

දෙවැනි ඉනිමේ මධුකාගෙන් පස්සේ මට රුමේෂ් ටොලම් අයියාගේ සිද්ධාර්ත් ගෞතම ටෙලි නාට්‍යයේ නන්දා කුමරියගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ඒ එක්කම ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක අයියාගේ ආරාධනයක් මත මට ස්වර්ණවාහිනියේ විකාශය වුණ හදවතේ කතාව ටෙලි නාට්‍යයේ ශාක්‍යා චරිතය ලැබෙන්නේ.

ශාක්‍යා කියන්නේ ඔබේ කලා දිවියේ හැරවුම් ලක්ෂය නේද?

ඔව්, මාත් හිතනවා. මොකද, ශාක්‍යා නිසා තමයි අද ත්‍රිෂාලා කියන නම ප්‍රේක්ෂකයෝ අතරට ගිහිල්ලා තියෙන්නේ. අදටත් ගොඩක් අය මාව අඳුන්වන්නේ ශාක්‍යා එහෙමත් නැත්නම් සුදු නෝනා කියලා තමයි.

කාලයක ඉඳලා ඔබව අප කලා නිර්මාණවල දුටුවේ නැහැ?

ටෙලි නිර්මාණවල නොදුටවත් මම ගීත රූප රචනා, වෙළෙඳ දැන්විම් හා වෙනත් කලා නිර්මාණ ඔස්සේ නිතරම වගේ මිනිස්සු අතරට යනවා. ටෙලි නිර්මාණවල මාව දකින්න නොලැබෙන්නේ මම වැඩක් භාරගනිද්දි ගොඩක් වෙලාවට එහි ගුණාත්මක බව හා ඒක මට ගැළපෙනවද කියලා බලනවා. ලැබෙන හැම චරිතයක්ම මම තෝර බේරගෙන තමයි කරන්නේ. ඉතින් ඒ හින්දා තමයි මාව නිතරම ටෙලි නිර්මාණවල දකින්න ලැබෙන්නේ නැති හේතුව.

සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබිලා නැද්ද?

කිහිපයක්ම ලැබිලා තියෙනවා. ලස්සන ජයසේකර මහත්මයාගේ චිත්‍රපටයක වැඩ කරා මම. එහි මම නිරූපණය කරන්නේ ප්‍රධාන කාන්තා චරිතය. තවත් චිත්‍රපට කිහිපයක ඉදිරියේදී වැඩ කරන්න හිතාගෙන ඉන්නවා.  බොහෝ විට මාව ඉදිරියේදී වැඩිපුර සිනමාවෙන් ප්‍රේක්ෂකයින්ට දකින්න පුළුවන් වේවි.

ත්‍රිෂාලාගේ වෘත්තියද රංගනය කියන්නේ?

නැහැ. මම ඇඳුම් නිර්මාණ ශිල්පිණියක් වෙන්න හීන දැකපු කෙනෙක්. ඒ වගේම නර්තන ගුරුවරියක් වෙන්නත් කාලයක් මගේ අදහසක් තිබ්බා. පසුගිය කාලේ පෙර පාසල් ගුරුවරියක් විදිහටත් මම වැඩ කළා. නමුත්, දැන් මගේ අදහස මගේම කියලා රූපලාවන්‍යාගාරයක් ආරම්භ කරලා ව්‍යාපාරික කාන්තාවක් විදිහට ඉදිරියට යන්න.

බුද්ධික සේනාධීර