එකම බලාපොරොත්තුව මගේ දරුවා - ශිරෝෂි රොමේෂිකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q ශිරෝෂි.. දැන් කාංචනාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා අතින් ලියවෙන, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන ''සර්කස්කාරයෝ'' ටෙලිනාට්‍යයේ කාංචනාගේ චරිතයට මේ වෙනකොට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අවුරුදු කිහිපයකට පස්සෙ නැවතත් රංගනයට එකතු වුණු මට කාංචනාගේ චරිතය නිසා ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කාට හරි මාව කෙටි කාලයකට හෝ අමතක වෙලා හිටියා නම් නැවතත් මම ගැන මතකයක් එකතු කරන්න පුළුවන් චරිතයක් විදිහට ''කාංචනා'' මම දකිනවා.

Q කාංචනාව ශිරෝෂිගෙන් ගොඩනගාගන්න උදව් වුණේ මොනවද?

ඒ පිටපත මම හොඳට බැලුවා. සිවා අයියා ඒ හැම චරිතයක් ගැනම අපිට කියලා දුන්නා. ඒ කියා දුන්න දේ මම ඔළුවට දාගත්තා. ඒ අතරින් අපි දැකලා තිබුණු චරිත තිබුණා. ඒ වගේම මගේ ජීවිතය ඇතුළෙත් ඔය චරිතයෙම පොඩි පොඩි කෑලි ටිකක් තිබුණා. මගේ කටහඬ, උස වගේ හැමදෙයක් නිසාම ඒ චරිතය කරන්න මට පහසු වුණා. ඒ වගේම ''සර්කස්කාරයෝ'' කණ්ඩායමෙන් මට මේකට ලොකු සහයෝගයක් ලැබුණා. ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන්නෙ හරි අපූරු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු හරහා මා තුළින් කාංචනා ගොඩනැගුණා.

Q කාංචනා නිසා ඔබ බැණුම් අහලා නැද්ද?

මුල් කාලෙදි නම් කාංචනාට මිනිස්සු හොඳටම බැන්නා. YouTube එකෙන් විතරක් නෙවෙයි මඟතොටේදි මාව දැක්කම අපෝ නංගිලාට ඔහොමද සලකන්නෙ... ඇයි ඔච්චර නපුරු කියලා අහපු අය හිටියා. හැබැයි දැන් ඒ තත්ත්වය ටිකක් වෙනස්වෙලා තියෙනවා. දැන් ප්‍රේක්ෂකයො කංචනාට ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා.

Q ඔබ ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නවද? තෝරා බේරාගැනීමක් කරනවද?

මේ දිනවල මම සර්කස්කාරයෝ ටෙලිනාට්‍යයට අමතරව ''සීසර්ලා'' සහ ''Ok බොස්'' ටෙලිනාට්‍යවල රෑගත කිරීම්වලට සහභාගි වෙනවා. ටික කාලයක් මම ක්ෂේත්‍රයේ වැඩ කරන එකෙන් සම්පූර්ණයෙන්ම ඈත්වෙලා හිටියා. ඒ නිසා මේ නැවත ඒමත් එක්ක තෝරා බේරාගෙන කරන්න තරම් මට ලොකු අවස්ථා එකදිගට ලැබුණෙ නැහැ. නමුත් මෑත කාලෙදි නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ නිසා ඉස්සරහට එන චරිතවලින් මට ගැලපෙන නිර්මාණ තෝරාගනීවි. කොහොමත් මට ගැලපෙන චරිතවලට කතා කරන්නෙ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා කරන්න පුළුවන් දෙයක් නම් අනිවාර් යෙන්ම බාර අරගෙන කරනවා.

Q වසර කිහිපයක්ම ශිරෝෂි නිර්මාණවලට දායක වුණේ නැහැ. ඒ නිහඬව හිටපු කාලය අපරාදේ කියලා හිතෙන්නෙ නැද්ද?

අනන්තවත් හිතිලා තියෙනවා. අනිවාර් යෙන්ම ඒක අපරාධයක් කියලා මට හිතෙනවා. මුලින් මගේ පෞද්ගලික හේතුවක් නිසා මම වැඩ කරන එක නතර කරලා තිබුණෙ. ඊටපස්සෙ ආයෙත් ටික කාලයක් මම වැඩ කළා. ඒ කාලෙදි මගේ දරුවා ලැබෙන්න හිටපු නිසාත් එයාගේ වැඩ කටයුතු නිසාත් මම අවුරුදු පහක් වගේ කාලයක් වැඩ කළේ නැහැ. දැන් ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් ඒ ගෙවුණු කාලය අපරාධයක්. ඒ කාලය ආපහු ගන්න බැහැ. ඒ කාලෙ ලැබුණු ප්‍රතිචාර අද ලැබෙන ප්‍රතිචාරවලට වඩා ගොඩක් වෙනස්. මම ආපු කාලයත් එක්ක ඒ ලැබුණු ජනප්‍රියත්වය වැඩියි. ඉතින් ඒ තරම්ම ජනප්‍රියත්වයක් නැතිවුණාට ‍ඒ ආදරය තාමත් තියෙන බව දැනෙනවා. ඔවුන්ගෙන් මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒක මට දැනෙනවා. ඉතින් ගෙවුණු කාලය ගැන දුකකුත් තියෙනවා. හැබැයි දරුවා වෙනුවෙන් අවුරුදු පහක් ගත කරපු එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ අපිට එක එක හැලහැප්පීම් එනවා. ඒ දේවල්වලටත් මුහුණ දෙමින් අද ජීවිතේ ගත කරනවා.

Q අද චූටි දුව එක්ක ගත කරන ජීවිතේ දැනෙන්නෙ කොහොමද?

ඒක වෙනම සුන්දර ජීවිතයක්. දවසින් දවස එයා ලොකුවෙන හැටි මම බලාගෙන හිටියා. මව් පදවිය කියන්නෙ හරි උතුම් පදවියක්. ඒ පදවිය ලබන්න මම පිං කළා. දැන් දෝණිට වයස අවුරුදු හයයි. එයා චූටි කාලෙම මම වැඩවලට ගියේ නැහැ. එයා එක්කම හිටියා. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් දෝණි පාසල් යනවා. මගේ අම්මයි තාත්තයි ළඟ ඉන්න නිසා දෝණි ගැන බයක් දැනෙන්නෙ නැහැ.

Q කාංචනාව පුංචි තිරයෙන් දකිද්දි දුවගේ ප්‍රතිචාර කොහොමද?

එයා කංචනාව බලනවා. නාට්‍යයේ මගේ මූණෙ මේක්අප් එක ගැන පවා එයා හරි උනන්දුයි. සමහරදාට &අම්මා.. මේකෙ ඔයාගෙ ලිප් කලර් එක ටිකක් වැඩියි'' කියලා කියන වෙලාවල් තියෙනවා. එයා ඇදුම්වලට මේක්අප්වලට හරි ආසයි. විලාසිතා කරන්න හරි ආසයි. ඒ ගැන උනන්දුයි. මම කොහේ හරි වැඩකට යන්න ගියත් &මේක දෝණි හොඳයිද?'' කියලා අහද්දි එයා ඒ ගැන අඩුපාඩු, හොඳ නරක කියනවා. එයා හරි හොඳ දරුවෙක්. කොහොමත් දෝණි නිසා මම නැවතිලා රෑගත කිරීම් කරන වැඩ බාරගන්නෙ නැහැ. වැඩකට ගියත් මම පුළුවන් හැමවෙලේම එයා එක්ක කතා කරනවා. දුව ගැන හොයලා බලනවා. වැඩවලට ගියා කියලා මම දුවවත් එයාගේ වැඩවත් අතපසු කරලා නැහැ.

Q දැන් ශිරෝෂිගෙ නර්තන හැකියාව මඟහැරිලද?

ගිය අවුරුද්දෙ අවසානයේදි එක්තරා නාලිකාවකින් පැවැත්වූ නර්තන ප්‍රසංගයකට මමයි නිරෝෂා තලගලයි නර්තනයක් ඉදිරිපත් කළා. මට නර්තනය පැත්තෙන් ඉදිරියට ගමන් කරන්න බලාපොරොත්තුවක් තිබුණා. ''ඩාන්සින් ස්ටාර්'' චිත්‍රපටය කළාට පස්සෙ නර්තනය දිගටම කරන්න අවස්ථාව නොලැබීමෙන් නර්තනය මඟහැරුණා. හැබැයි නර්තනය පැත්තෙන් ඉදිරියෙදි යමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

Q ඊළඟ බලාපොරොත්තු මොනවද?

බලාපොරොත්තු තියාගෙන ඒවා ඉෂ්ඨ නොවුණාම ලොකු වේදනාවක් දැනෙන නිසා ලොකු බලාපොරොත්තු තියාගෙන නැහැ. හැබැයි මගේ ලොකුම බලාපොරොත්තුව මගේ දරුවයි. එයා හොඳ දරුවෙක් විදිහට හොඳට ඉගෙනගෙන සමාජයට බරක් නැති දරුවෙක් වුණොත් ඒක මට සැනසිල්ලක්.

Q හිතට දුකක් කලකිරීමක් වේදනාවක් දැනුණම ඔබ ඒ පීඩනය විඳ දරාගන්නෙ කොහොමද?

කොහොමත් මම කාටවත් පේන්න අඬන කෙනෙක් නෙවෙයි. එහෙම දුකක් දැනුණොත් මම කවුරුත් නැති තැනකට ගිහින් අඬාවි. දරාගන්න බැරිම වෙලාවල්වලදි අඬලා තියෙනවා. ජනප්‍රියත්වය නිසා මිනිස්සු හඳුනන නිසා අපිට සමහර හැඟීම් පාලනය කරගෙන ඉන්න වෙන වෙලාවල් තියෙනවා. කොච්චර වේදනාවක් හිතේ තිබුණත් කැමරාව ඉදිරියේ හිනාවෙලා රඟපාන්න අපිට වෙලා තියෙනවා.

I දිශානි ජයමාලි