ඒ සම්මානයත් ඔහු සමඟම පොළොවේ මිහිදන් වුණා - සනෝජා බිබිලේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q “සිල්වර් ස්ක්‍රීන්" සම්මාන උළෙල හුදෙක් තවත් එක් සම්මාන උළෙලක්ම නෙවෙයි නේද? 

ඔව් ඇත්තටම. මෙය සම්මාන උළෙලකට  එහා ගිය උපහාර දක්වන උළෙලක් කිව්වොත් නිවැරදියි. මෙය ඇගයීමක්. පළමු වතාවට ලංකාවේ එකම වේදිකාවක, එකම කාල වකවානුවක සිටි කලාකරුවන් සියලු දෙනා අගයන උපහාර උළෙලක් ලෙසින් "සිල්වර් ස්ක්‍රීන්" උපහාර  උළෙල හඳුන්වන්න පුළුවන්. මේ වසරේදි හැටපහේ සිට හැට නවය දක්වා දශකයන් තුළදී සිනමාව වෙනුවෙන් තම නිර්මාණ දායකත්වය ලබා දුන් කලාකරුවන් කලාකාරියන් තිස් දෙනෙකු ඇගයීමට පාත්‍ර වෙනවා. මේ සඳහා ඇගයීමට පාත්‍ර වෙන්නේ සිනමාවට සම්බන්ධ වූ කලාකරුවන් කලාකාරියන් පමණයි. 

Q සම්මානයට පාත්‍රවන සම්මානනීයන්ට සම්මානයට අමතරව ලැබෙන තවත් වරප්‍රසාද තියෙනවද?

ඔව්. ඔවුන්ට අපි මුදල් තෑග්ගක් ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ට තෑගි බෝග ඒ මොහොතේදි ලබාදීමට කැමති ඕනෑම කෙනෙකුට ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒ නිසා එක් අයෙකුට බොහෝ තෑගි බෝග එදාට ලැබේවි. ඒ වගේම මුළු ජීවිත කාලෙම කවුරුත් නොදුන් වටිනා සම්මානයක්  සහ සහතිකයක් අපි ලබා දෙනවා. ඊට අමතරව අසනීපයකදි, රෝහල්ගත වීමකදි, ප්‍රතිකාර ලබාගැනීමට හැකිවන පරිදි වට්ටම් සහිත කාඩ්පතක් ලබා දීමටත් අපි තීරණය කරලා තියෙනවා. මේ වෙද්දි අපි තෝරාගත් කලාකරුවන් කලාකාරියන් රටේ පවතින ජනප්‍රිය සම්මාන උළෙලවල්වලින් හෝ අඩුම තරමින් කිසිදු රජයකින් එලෙස අගය කිරීමක් කර නැහැ. ඒ අනුව ඒ වකවානුවේ සියලුම කලාකරුවන් කලාකාරියන් අපි එකම වේදිකාවේ එකම විදිහට ඇගයීමට ලක් කරනවා. මෙවැනි සම්මාන උළෙලක් සංවිධානය කිරීම හරිම අමාරු දෙයක්. නමුත් ඒ ඒ දශකවල සිටි කලාකරුවන් ගැන කවුරුන් හෝ කෙනෙක් අගය කළ යුතුමයි. මගේ පියාත් කලාකරුවෙක්. ඔහුගේ එක්තරා ඉල්ලීමක්  තිබුණා. දුවෙක් හැටියට මා මේ ඉෂ්ඨ කරමින් ඉන්නේ තාත්තාගේ ඒ ඉල්ලීමයි. එක්තරා කාලයකදි මම මගේ රුකියාව අතහැර කලාවම තෝරාගනීවි කියලා මගේ පියා හිතුවා. නමුත් මම මගේ රුකියාවත් කලාවත් එක හා සමානව කරගෙන ආවා. 

Q සනෝජා... මේ සම්බන්ධයෙන්  ඔබට අද යම් කලකිරීමක් තියෙනවද? 

ඔව් ඇත්තටම. මේ සිනමාව කර්මාන්තයක් කළ යුතුයි. එවිට අවුරුදු හැට ලබද්දි සෑම කෙනෙකුටම විශ්‍රාම වැටුපක් ලබා දිය යුතු වෙනවා. රජයේ සේවකයන් වැඩ කරන්නේ පැය අටයි. පෞද්ගලික ආයතනවල ඇතැම් සේවකයෝ පැය අටයි හෝ ඊට ටිකක් වැඩි කාලයක් තමයි වැඩ කරන්නේ. ඒත් කලාකරුවන් සමහරදාට පැය විසි හතරම වැඩ කරනවා. සමහරදාට හරියට කන්න නෑ. නින්ද නැහැ. කට්ට අව්වට, ලයිට්වලට  පිච්චෙනවා. මේ හැමදේම දරාගෙන රටක් හිනස්සවන්න, රටේ ප්‍රේක්ෂකයන්ගේ මනස සැහැල්ලු කරන්න, ගොඩක් මහන්සි වෙනවා. කලාව නිසා මිනිසුන්ගේ මනුෂ්‍යත්වය කරුණාව ඇති කරවනවා. ඇත්තටම මගේ හිතේ දැන් තියෙන්නෙ ලොකු කලකිරීමක්. කිසිම රජයකින් හෝ රජයේ ඉහළ නිලධාරියෙකුගෙන් හෝ මේ සම්බන්ධයෙන් අපට අත දීමක් කරන්නේ නැහැ. නමුත් ජාතික චිත්‍රපට සංස්ථාව ඔවුන්ට හැකි අයුරින් අපට උදව් කරනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තුති කරන්නම ඕනෑ. මෙවර "සිල්වර් ස්ක්‍රීන්" සම්මාන උපහාර  අප පවත්වන්නේ තුන්වෙනි වතාවටයි. 

Q මෙවර පිදුම් ලබන කලාකරුවන් සම්බන්ධයෙන් යමක් කියන්න? 

සිනමාව වෙනුවෙන් ක්ෂේත්‍ර අටක් නියෝජනය කරමින් ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් අපි මේ පිදුම ඔවුන්ට ලබා දෙනවා. නමුත් ඔවුන් කිසිවෙක් අන්ත අසරණ වූවන් නොවෙයි. ඔවුන් හැම කෙනෙක්ම අපේ කලාකරුවෝ. ඒ කාල වකවානුවේ සිටි එක්තරා කලාකාරියක් මේ වෙද්දි විදේශගතවයි සිටින්නේ. ඒ නිසා අපි ඇයට සම්මානයක් ලබා දෙන්නේ නැහැ. එක්තරා කලාකරුවෙක් මේ වෙද්දි රෝහල්ගතවයි සිටින්නේ. එතුමාට මේ උළෙලට සහභාගි වෙන්න බැරි වේවි. නමුත් අපි ඔහුට ඒ සම්මානය පුද කරනවා. ඒ වගේ බොහෝ දේවල් ගැන අපි හොයලා බලනවා. ස්ථිර පදිංචියට විදෙස්ගතව සිටින කලාකරුවන්ට කලාකාරියන්ට අපි සම්මාන ලබා දෙන්නේ නැහැ. මෙවර සම්මානයට පාත්‍ර වුණු ඇතැම් කලාකරුවන් කලාකාරියන් අපි දැකලවත් නැහැ. නමුත් ඔවුන්ට ඒ සම්මානය හිමිවිය යුතුමයි. ඒ අතරින් ඇවිදගන්න අපහසු කලාකරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. කෙසේ හෝ උළෙලට සහභාගි වෙන්න ඔවුන් අපිට පොරොන්දු වුණා. ඒ පැමිණීම අපිට හරි වටිනවා. 

Q බොහෝ සම්මාන උළෙලවල්වල ජූරියට සිටින්නන්  ඒ අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධව කිසිදු දැනුමක් හෝ හැදෑරීමක් නොමැති අයයි. මේ සම්මාන උළෙලේ ඒ ජූරියේ සිටින්නන් ගැන යමක් සඳහන් කරන්න? 

මේ සඳහා පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වුණා. ඔවුන් මේ සඳහා නිර්දේශ වන කලාකරුවන් කලාකාරියන් සම්බන්ධයෙන් සියලු තොරතුරු දන්නවා. ඒ හැදෑරීම ඔවුන්ට තියෙනවා. ඒ අතරින් ඇතැමුන් පුවත්පත්වල මාධ්‍යවේදීන්, ඒ වගේම සිනමාවට සම්බන්ධව කටයුතු කළ අයයි. ඇතැමුන් ඒ කාලේ විචාරකයන්. මුලින්ම එම කණ්ඩායම අපිට ඒ වකවානුව තුළ සිටි කලාකරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කළා. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. නමුත් කිසිදු කලාකරුවෙකුට අසාධාරණයක් නොවන ලෙසින් ඒ තෝරාගැනීම ජූරිය විසින් සිදු කරලා තිබුණා. මේ සඳහා අංශ හතකින් අපි මොවුන් තිස්දෙනාව අවසානයේදි තෝරා ගත්තා. 

Q මෙවර පැවැත්වෙන්නෙ තුන්වැනි "සිල්වර් ස්ක්‍රීන්" උපහාර සම්මාන උළෙලයි. පහුගිය වසරවල සම්මානයට පාත්‍ර වුණු සම්මානනීයන් ඒ ලැබූ සම්මානයට දැක්වූ ප්‍රතිචාර කොහොමද? 

ඇත්තටම ඒ සෑම දෙනාම  ගොඩක් සතුටු වුණා. ඒ අතරින් එක්තරා කලාකරුවෙක් ඔහුගේ බිරිඳට එක්තරා ඉල්ලීමක් කරලා තිබුණා. "මම අවසන් වතාවට ගත්ත මේ සම්මානය  මට ගොඩක් වටිනවා. මම ගොඩක් ආදරේ කරනවා. ඒ නිසා මම මැරුණු දවසට ඒ සම්මානය මගේ කකුල් දෙක මත තියන්න." යැයි ඉල්ලීමක් කරලා තිබුණා. ඔහු මියගිය මොහොතේදි ඔහුගේ නිසල දේහයේ ඔහුගේ පාදය ආසන්නයේ ඒ සම්මානය තිබුණා. දේහය  මිහිදන් වෙද්දි ඔහුත් සමඟම ඒ සම්මානය ද පොළොවේ මිහිදන් වුණා. ඒක හරිම සංවේදී සිදුවීමක්. පනහ දශකයේ සිටි බොහෝ කලාකරුවන් වේදිකාවට පා තැබුවේ තවත් දෙදෙනෙකුගේ අත්වාරුවෙන්. නමුත් ඔවුන් හරිම කැමැත්තෙන් එදා ඒ සම්මාන උළෙලට සහභාගි වුණා. සමහරු වේදිකාව උඩදි  ඇඬුවා. ඒවා හරි සංවේදී සිදුවීම් වෙනවා. කිසිම කෙනෙක් ඇගයීමක් නොකරපු කලාකරුවන් පිරිසක් අපි ඇගයීමට ලක් කළා. 

Q මෙම සම්මාන උළෙල පැවැත්වෙන්නේ කොහේද? 

මෙවර "සිල්වර් ස්ක්‍රීන්" සම්මාන උළෙල අප්‍රේල් මාසයේ හතර වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ "ලෝටස්" ශාලාවේදි පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා. 

I දිශානි
සේයාරුව I අන්තර්ජාලයෙන්