ක්‍රීඩාවට කැමතියි නිසයි නිවේදකයෙක් වෙන්න හිතුවේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවම දන්න නිවේදකයෙකු වීමට හීන දකින තරුණයෙක් අපට මුණ ගැහුණා. ඔහු නමින් එරංග මධුෂාන්. සමාජ මාධ්‍යය තුළ නිතරම වාගේ තම හැකියාවනු ඉදිරිපත් කරන එරංග මේ වනවිට ක්‍රීඩා සම්බන්ධව තමන්ගේම යු ටියුබ් නාළිකාවක්ද පවත්වාගෙන යයි. මේ දිග හැරෙන්නේ ඔහු සමග කළ කතා බහයි.

එරංග මධුෂාන් කියන්නේ කවුද?

එරංග කියන්නේ නිවේදකයෙක් වෙන්න හීන දකින ඒ පිළිබඳව දැනට හදාරමින් සිටින ආධුනික නිවේදන ශිල්පියෙක්. ඒ වගේම ක්‍රීඩාවට ලොකු කැමැත්තක් දක්වන ඒ හරහා රටම දන්න නිවේදකයෙක් වෙන්න උත්සාහ කරන කෙනෙක් තරුණයෙක් කිව්වොත් වඩාත් නිවැරදියි. ඒ වගේම කාටවත් කරදරයක් නොවි මේක අභියෝගයක් කරගෙන ඉදිරියට යන්න උත්සාහ කරන තරුණයෙක්.

නිවේදකයෙක් වෙන ආසාව ඇතිවුණේ කොහොමද?

කලින් කිව්වා වගේ මම ක්‍රීඩාවට ගොඩක් කැමතියි. විශේෂයෙන්ම ක්‍රිකට්වලට. ඉතින් ක්‍රීඩා වැඩසටහන් නිතරම වගේ බලනවා. ජාතික රුපවාහිනියේ තේජානි අක්කා වගේම අමන්ත, දිනේෂ් උපේන්ද්‍ර අයියලා කරන ක්‍රීඩා වැඩසටහන් නරඹනවා. ඉතින් නිවේදකයෙක් වෙන ආසාව කැමැත්ත මතු වුණේ ඒ වැඩසටහන් නරඹලා. කවදා හරි මම හිතුවා තේජානි අක්කා, අමන්ත, උපේන්ද්‍ර අයියලා වගේ ක්‍රීඩාව පැත්ත ආවරණය කරන නිවේදකයෙක් වෙනවා කියලා. ඒ වගේම මගේ තව ආසාවක් තියෙනවා ප්‍රවෘත්ති කියන නිවේදකයෙක් වෙන්නත්.

කෙනෙක්ව අනුකරණය කරලා නිවේදකයෙක් වෙන්න බැහැ නේද?

ඔව්, ඕනැම වෘත්තිය හැදෑරිමක් තියෙන්න ඕනා. ආසාවට කැමැත්ත නිවේදකයෙක් වෙන්න බැහැ. ඒ හින්දා තමා මම සද්ධා මංගල සූරියබණ්ඩාර සර් යටතේ නිවේදන පාඨමාලාවක් මේ දිනවල මම හදාරමින් ඉන්නේ. මම හිතනවා ඒ හරහා මට ලොකු දැනුමක් අවබෝදයක් නිවේදන කලාව ගැන ලැබුණා කියලා. ඉතින් දැන් මගේ ඉලක්කය වෙලා තියෙන්නේ නිවේදකයෙක් විදිහට මගේම කියලා ස්ථාවරත්වයක් හදාගන්න ඒක.

දැනට ඔබ නිවේදකයෙක් විදිහට වැඩ කරලා නැද්ද?

රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවක එහෙම මම දැනට වැඩ කරලා නැහැ. නමුත්, දැනට මම මගේම කියලා යූ ටියුබ් නාලිකාවක් පවත්වගෙන යනවා Cricket with Eranga කියලා. මේ නාලිකාව ක්‍රීඩා සම්බන්ධ නාලිකාවක්. නිවේදනය කටයුත්තේ ඉඳලා විඩියෝ කරන එක සිට සංස්කරණ කටයුත්ත දක්වා සියලු දේවල් සිදු වෙන්නේ මා අතින්. මේක ලොකු අභියෝගාත්මක වැඩක්. ඉතින් ඊට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම හිතනවා මේ අභියෝගයක මම සාර්ථක කරගෙන තියෙනවා කියලා.

මේ දේවල් කරන අතරේ ඔබ රැකියාවකත් නිරත වෙනවා?

ඔව් දැනට මම පානදුර පිහිටි කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගමේ සේවය කරනවා. එම ආයතනයේ සියලු දෙනාත් මගේ වැඩ කටයුතු වලට ලොකු සහයෝගයක් ලබා දෙනවා. රැකියාවක නිරත වෙන අතරතුර මගේ විඩියෝ නිර්මාණවලට යොමු වීම ගැටළුවක්. ඒත්, ආයතනයේ අයගෙන් ලැබෙන සහය මැද ඒවා මට ගැටළුවකින් තොරව කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා.

මේ වැඩවලට පවුලේ අයගෙන් ලැබෙන සහය මොන වගේද?

පවුලේ අය නම් හැමදාම මට උදව් කරනවා. අම්මා, තාත්තා දෙන්නා වගේම දැනට යුද හමුදාවේ සේවය නිරත මගේම නංගිගෙන්. ඒ වගේම කලා ක්ෂේත්‍රයේ නළුනිළියෝ නිවේදකයෝ බොහෝ දෙනෙකු උදව් මට ලැබෙනවා. ඒ හැමෝටම මේක ස්තුති කරන්න මම අවස්ථාවක් කරගන්නවා.

බුද්ධික සේනාධීර