ජනප්‍රියත්වයට වඩා මම දක්ෂතමයා වෙන්නයි කැමති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිරස රූපවාහිනියේ විකාශය වෙන කියා දෙන්න ආදරේ ටෙලි නාට්‍යයේ දිගැසිගේ චරිතයට පණ පොවන සචින්තනි කෞශල්‍යා වර්තමානයේ කොයි කාගෙත් ආදරය දිනු දක්ෂ යොවුන් රංගන ශිල්පිණියකි. මේ නිසාම මෙවර සාරවිට අපද ඇයව වෙනුවෙන් මෙසේ ඉඩක් වෙන් කළා.

ඔබ කලාවට පිවිසෙන්නේ අහම්බෙන්?

එහෙම කිව්වොත් හරි. මම රංගනය ගැන ඇත්තටම කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්. මොකද පාසල් කාලේවත් එහෙම මම කලාවට නැඹුරු වෙච්ච කෙනෙක් නෙවෙයි. හැබැයි මම නර්තනය හැදෑරුවා පාසල් අධ්‍යාපනය ලබන කාළේ. මම උසස් පෙළ කරන කාළේ රන්වල බලකායේ සහන් රන්වල් ගුරුතුමන් ඇතුළු පිරිසක් ආවා අපේ පාසලට. එහිදි මගේ නර්තන හැකියාවන් දැකලා ඔහු කතා කළා ඔහුගේ කණ්ඩායමට සම්බන්ධ වෙන්න කියලා. මගේ මතකය හැටියට ඒ 2015 වසරේ. ඔය විදිහට අහම්බෙන් තමා මම කලා ක්ෂේත්‍රයට ආවේ.

කියා දෙන්න ආදරේ ටෙලි නාට්‍යයේ දිගැසි කියන චරිතය ඔබට විශේෂයි?

අනිවාර්යයෙන්ම. මොකද, කියා දෙන්න ආදරේ ටෙලි නාට්‍යයට කළින් මම ටෙලි නිර්මාණ කිහිපයකම වැඩ කළා. නමුත්, ප්‍රේක්ෂකයෝ මාව අඳුනගත්තේ කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ දිගැසි කියන චරිතය හරහා. කොටින්ම කියනවා නම් මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂය තමා මේක. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනා ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂකවරයාටත්, කියා දෙන්න ආදරේ ටෙලි නාට්‍යය රචනා කළ මහේෂ් රත්සර අයියාටත්. තරුණ වැඩිහිටි බාල මේ හැම දෙනාගෙන්ම අද වෙන කොට දිගැසිට හොඳ ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

ඔබ අවුරුදු කුමරියක් නේද?

ඔව්, 2017 වසරේ පැවති රූපවාහිනි අවුරුදු කුමරිය තරගයේ අවසන් තරගකාරියන් දොළොස් දෙනා අතරට මම ආවා. ඊට පස්සේ 2019 වසරේ හිරු අවුරුදු කුමරිය තරගයේ අවසන් තරගකාරියන් දොළොස් දෙනා අතරට එන්නත් මට පුළුවන් වුණා. මේ තරගවල මා ලබාගත්තු ජයග්‍රහණ මම හිතන්නේ මට ලොකු පිටුවහලක් වුණා රංගන ශිල්පිණියක් බවට පත් වෙන්න. නමුත්, කියන්නම ඕනා අවුරුදු කුමාරියක් වුණ නිසා මට රංගනයට නම් ඇරයුම් ලැබුණේ නැහැ.

කලාව පැත්තට යොමු වෙන හීනයක් ඔබට තිබුණද?

ඇත්තටම නැහැ. හැබැයි මම තෙරේන කාලේ ඉඳලා නර්තනයට කැමතියි. ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි හිතාගෙන හිටියේ. විශේෂයෙන්ම නර්තන ගුරුවරියක් වෙන හීනයක් මට තිබුණා. රංගනයෙන් නම් මම පාසලේ කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. ගොඩක් වෙලාවට නර්තන අංශයෙන් තමයි මම පාසලේ කලා කටයුතුවලට දායකත්වය සැපයුවේ. පාසල් යන කාලේ පාපන්දු ක්‍රීඩා කළා. ජාතික මට්ටමතෙක් පාපන්දු ක්‍රීඩාවෙන් මම ඉදිරියට ආවා.

ඔබ ටෙලි නිර්මාණවල අපි දැක්කේ බොහෝම අඩුවෙන්?

ඔව් මම විශාල ප්‍රමාණයකට දායක වෙලා නැහැ. ගොඩක් දෙනෙක් හිතන්නේ මගේ පළමු ටෙලි නාට්‍යය තමයි කියාදෙන්න ආදරේ තරම් කියලා. නැහැ. මම ඊට කලින් ටෙලි නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා හිටියා. දෙරණේ මුතුලෙන්දොර කියන නාට්‍යයේ සිතුළි කියන චරිතය තමයි මම ප්‍රධාන චරිතයක් විදිහට රඟපැවේ. ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ ධවල රාක්ෂ කියලා ටෙලි නාට්‍යක රඟපෑවා. ඒක තාම විකාශය වුණේ නැහැ. තව ටිකිරි රත්නායක මහත්මයාගේ ටෙලියකත් මම වැඩ කළා.

රංගන ශිල්පිණියටක් විදිහට අද ඔබ ස්ථාවරද?

ස්ථාවරද නැද්ද නම් දන්නේ නැහැ. හැබැයි රංගන ශිල්පිණියක් විදිහට අද ඉන්න තැන ගැන මම ගොඩක් සතුටු වෙනවා. නමුත්, මේක මගේ වෘත්තිය නෙමෙයි. කලාවට තියෙන කැමැත්තට ආසාවට තමයි මම රඟපාන්නේ. දැන් මම ජනප්‍රිය තලයට ඇවිල්ලා ඉන්නවා. හැබැයි මම ආසයි ජනප්‍රියත්වයට වඩා දක්ෂතම හා හොඳම කියන පැත්තට යන්න. ජනප්‍රියත්වය තාවකාලිකයි. හැබැයි දක්ෂතම කියන සඳාකාලිකයි කියලා මම හිතනවා.

බුද්ධික සේනාධීර