ජීවිතයේ වටිනාම තෑග්ග හම්බවුණේ නවවැනි උපන්දිනයේදී - චිත්රූ පාඨලී ද සිල්වා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රැලි ගැසුණු දිගු කෙහෙරුලි, කතා කරන විසල් දෙනෙත් සහ නිරායාසයෙන් ගලා හැලෙන සිනාවක් තැවරුණු සුන්දරත්වය ඒ මුව මඬලට ගෙන එන්නේ විචිත්‍රවත් වූ චමත්කාරයක් යැයි මට සිතේ. ප්‍රියවන් දුඹුරු පැහැයක් ළාවට තැවරුණු ඇගේ සම ඒ ආසියාතික සුන්දරත්වය තව තවත් ඔප කරයි. සුරන් වුව නැලවෙතැයි සිතෙන තරම් සුලාලිත හඬක් සමඟින් ගයන්නී... සිත් බඳින රූ එපමණකටම ඇත්තී ඇය චිත්රූ ය. චිත්රූ පාඨලී ද සිල්වා සමඟ ගීතයත් සංගීතයත් ජීවිතය සේම ප්‍රේමයත් ගැන කතා කරන්න ඇවැසිම මොහොත මේ යැයි හැඟුණු හෙයින් මම ඇය ඇමතීමි. 

Q හැමදාමත් දැනුණු අම්මාගේත් තාත්තාගේත් අසීමාන්තික ආදරය නව වැනි උපන් දිනයේදී දැනී දැනී දැනී දැනුණු තරම් අද දැනෙන්නේ කොයි තරම් සංවේදී සුන්දර හැඟුම්බර මතකයක් විදිහටද? මම ඔබෙන් ඉල්ලන්නෙ අවංකම උත්තරයක්?

මම කතෝලික භක්තිකයෙක් විදිහට මගේ ආගම තුළ පෙර ආත්ම ගැන විශ්වාසයක් ඉගෙන ගෙන නැහැ. එහෙත් පෙර භවය කියන එක සත්‍යයක් නම් මට හිතෙන්නෙ මම පෙර භවයන්වල හුඟක් පින් කරපු කෙනෙක්. ඒ තරම් අම්මගෙ තාත්තගෙ ආදරය, රුකවරණය, මඟපෙන්වීම සම්මිශ්‍රණය වූ පසුබිමක තමයි මම ජීවත් වුණේ. මේ වගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි මට ලැබෙන්න විදිහක් නෑ මම ඒ තරම් පින් නොකළා නම් කියලා මට හිතෙනවා. මම එහෙම ලොකු සල්ලිකාර පවුලක දරුවෙක් නෙවෙයි. හරිම සාමාන්‍ය පවුලක එකම දරුවා. මම ඩ්‍රීම් ස්ටාර් තරගයට මුහුණ දුන්න කාලෙ හුඟක් අය හිතුවා මම කෝටිපති සල්ලිකාරයෙක්ගෙ දුවක් කියලා. අනේ නෑ ඒක වැරදියි. මගේ අම්මා තාත්තා එහෙම ලොකු සල්ලිකාරයො නෙවෙයි. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා මාධ්‍යවේදියෙක්. මගේ අම්මට තාත්තට හැමදාම වුවමනා වුණේ මනුෂ්‍යත්වය තුළින් මාව පෝෂණය වෙනවා දකින්න. ජීවිතයේ වටිනාම දේ සල්ලි නෙවෙයි, ජීවිතයට අපි එකතු කරගන්න ඕනෑ වටිනාකම් කියන එක අම්මයි තාත්තයි පුංචි කාලෙ ඉඳන් මට කියලා දුන්නා. මගේ නමවැනි උපන් දිනයට මම ඉල්ලුවෙ Roald Dahlගේ පොත් කට්ටලය. ඒ කාලෙ ඒ පොත් කට්ටලයේ මිල රුපියල් පහළොස් දාහක් විසිදාහක් විතර ඇති. ඒත් ඒ මොහොතෙ එච්චර මුදලක් වැය කරන්න තාත්තට පුළුවන්කමක් තිබුණෙ නෑ. ඒත් මාව සතුටු කරන්න මම ඉල්ලපු දේ මට දෙන්න අම්මයි තාත්තයි එකතුවෙලා අරපරිස්සමට සල්ලි එකතු කරලා මට ඒ පොත් කට්ටලය අරන් දුන්නා. මගේ පුංචි හිතට එදා දැනුණා අම්මගෙ තාත්තගෙ ආදරය කියන්නෙ නිර්වචනය කරන්න ලෝකෙ කිසිම භාෂාවක් පොහොසත් නැති ආදරයක් කියලා. එක කාලයක් තිබුණා මගේ අම්මා හුඟක් අසනීප වුණා. ජීවත් වෙයිද නැති වෙයිද කියලා හිතාගන්න බැරි තරම් දරුණු විදිහට අම්මා අසනීප වුණා. තිබුණු හැමදේම වියදම් කරලා අපි මහන්සි වුණේ අම්මව ජීවත් කරවගන්න. අපි කන්නෙ කොහොමද කියන එකත් ප්‍රශ්නයක් වෙච්ච තරම් දුෂ්කර කාලයක් අපි ගෙව්වා. මම හරිම ආසයි ලස්සනට අඳින්න පළඳින්න. ඒක මම අම්මා තාත්තගෙන් ඉගෙන ගත්ත දෙයක්. මිනිස්සුන්ට අත නොපා ජීවත් වෙන්න ඕනෑ කියන එකත් අම්මා තාත්තා මට උගන්වපු දෙයක්. අපි අම්මගෙ අසනීපෙත් එක්ක බින්දුවටම වැටිලා හිටියත් අම්මයි තාත්තයි පුළුවන් තරම් උත්සාහ කළේ මාව සතුටින් තියන්න. මගේ ආසාව වෙනුවෙන් මම ඉල්ලපු පොත් ටික අම්මයි තාත්තයි අරන් දුන්නෙ හරිම අසීරු තත්ත්වයක ඉඳගෙන කියලා දැනෙද්දි අදටත් මට හිතෙන්නෙ මම ජීවිතේ ලබපු වටිනාම තෑග්ග ඒක කියලා. එයාලට මාව ලොකු ගමන් එක්ක යන්න සල්ලි නැති වුණත් ඒ කාලෙ මාව පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට එක්ක යනවා. මම හරි ආසයි පෝනිගෙ පිටේ යන්න. නැත්නම් මාව මුහුදු වෙරළට එක්ක යනවා. ගෙදර ආර්ථික ප්‍රශ්න කවදාවත් මට දැනෙන්න දුන්නෙ නෑ. තාත්තා මට හැම තිස්සෙම කියපු දෙයක් තමයි අපි ලද දෙයින් සතුටු වෙන්න ඕනෑ කියලා. අද මම අවුරුදු තිස් එකක වැඩිහිටියෙක්. මගේ අම්මා තාත්තා ගැන මට පුදුම ගෞරවයක් තියෙන්නෙ අද මම මේ තැනට ඇවිල්ලා ඉන්නෙ ඒ දෙන්නගෙ කැපවීම හින්දා කියලා මම දන්න නිසා. ඇත්තටම දුප්පත්කම මම ජීවිතේ විඳලා තියෙනවා. මම අඳින විදිහට හොඳින් ඉංග්‍රීසි කතා කරනකොට, හුඟක් අය හිතනවා මම හුඟක් ඉහළ පන්තියෙන් ආව කෙනෙක් කියලා. ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක්. ඒ භාෂාව හොඳින් ඉගෙන ගත්ත නිසා මම ඒ භාෂාව කතා කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. භාෂාවක් කතා කළා කියලා ඒකෙන් මනුස්සයෙක් මනින්න බැහැ. අපේ ගෙදර පොත් තුන්දාහක විතර පුස්තකාලයක් තිබුණා. ඒක තමයි අම්මයි තාත්තයි උපයපු ධනය. මම ආසම සිංහල ලේඛකයා මාර්ටින් වික්‍රමසිංහ. පුංචි කාලෙ ඉඳන් පොත් කියවන්න තිබුණු ආසාව හින්දා මගේ ජීවිතේ පැය ගණන් ඒ පුස්තකාලෙ ගෙවුණා. අද මම ඔස්ට්‍රේලියාවෙ ජීවත් වුණත් හැමදාම අම්මට තාත්තට කතා කරනවා. මම හැමදාම අම්මට තාත්තට කියන්නෙ දැන් ඔයාලා වැඩ කළා ඇති, දැන් මගේ කාලය ඔය දෙන්නව බලාගන්න කියලා. මගේ ලොකු හීනයක් තමයි අම්මව තාත්තව මෙහෙට ගෙන්වගෙන මගේ ළඟ තියාගෙන බලාගන්න. 

Q ටැන්ට්‍රා හමුවීම ඔස්ට්‍රේලියාවේ ගෙවන ජීවිතය වෙනස් කළේ කොයි විදිහටද?

හිතාගන්න බැරි තරම් මගේ ජීවිතය වෙනස් කළා කිව්වොත් නිවැරදියි. ටැන්ට්‍රා කියන්නෙ අවුරුදු දහයක් තිස්සෙ හුඟක් සාර්ථක විවිධ ප්‍රසංග ඔස්සේ ලස්සන නමක් දිනාගත්ත 'බෑන්ඩ්' එකක්. ඩිනර් ඩාන්ස්, මංගල සාද, පාසල්වල විවිධ අංග වගේ හුඟක් ඉසව් වෙනුවෙන් ටැන්ට්‍රා සංගීත කණ්ඩායම එක් වෙනවා. 2022 අවුරුද්දෙ තමයි ටැන්ට්‍රා සංගීත කණ්ඩායමේ ගායිකාවක වශයෙන් ඔවුන්ගේ ආරාධනය මත මම ඔවුන් හා එක්වුණේ. ඔස්ට්‍රේලියාවේදී ඔවුන් සමඟ ගී ගැයූ මගේ මුල්ම ප්‍රසංගය වුණේ ඔස්ට්‍රේලියාවේ සිටින කොළඹ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ 'Annual dinner dance' එක. අන්තිමට මම ඔවුන් සමඟ සහභාගි වුණේ නවසීලන්තයේ පැවති ප්‍රසංගයකට. දිනේෂ්, කයිසර්, ළහිරු පෙරේරා වැනි ගායකයන් එක්ක එදා හුඟක් සාර්ථක ප්‍රසංගයක් අපි පැවැත්වුවා. 

Q කලකට පසු කලඑළි දුටු චිත්රූට නවසීලන්ත ප්‍රසංගයේදී ලැබුණු ප්‍රතිචාර දැනුණෙ කොහොමද?

ඇත්තටම මටත් හිතාගන්න බැරි ප්‍රතිචාර මට එදා ලැබුණා. ඔස්ට්‍රේලියාවට ආවට පස්සෙ මම හුඟාක් ගායනයෙන් සහ සංගීතයෙන් ඈත් වුණා. මගේ අරමුණ වුණේ අධ්‍යාපනය පැත්තෙන් ඉස්සරහට යන්න. ඇත්තටම මම මෙහෙට එන්න හේතුවත් මගේ අධ්‍යාපනයමයි. මට මගේ ශාස්ත්‍රපති උපාධිය කරන්න ඕනෑ වුණේ Masters in Teaching. ඒ කාලෙ එම විෂය ලංකාවෙ විශ්වවිද්‍යාලවල තිබුණෙ නෑ. එම නිසා මම වික්ටෝරියා සරසවියට ආවා මගේ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරගන්න. මට නොදැනීම සංගීතය අතහැරුණා. මෙහෙ ආවට පස්සෙ එකම සින්දුවක්වත් මම කරලා තිබුණෙත් නෑ. ඒත් නවසීලන්ත ප්‍රසංගයේදි මගේ නම කිව්වම මාව අඳුරගෙන මට ලැබුණු ප්‍රතිචාර මාව පුදුම කළා. හුඟක් අය මට දොස් කීවා මම සින්දු කියන එක නතර කළා කියලා. හැමෝම මගෙන් ඇහුවා ඇයි මියුසික් නවත්තලා තියෙන්නෙ කියලා. ඇත්තටම මමවත් හිතුවෙ නෑ ඩ්‍රීම් ස්ටාර්වලින් ආව චිත්රූව ඒ තරම් මිනිස්සුන්ට මතක ඇති කියලා. හරිම නිහතමානී සතුටක් තමයි ඒ ප්‍රතිචාර ගැන මට තියෙන්නෙ. ඒ වෙලාවෙ තමා මටත් තේරුණේ ඇයි මම සංගීතය අත්හරින්නෙ කියලා. මම දැන් ගුරුවරියක්. මගේ වෘත්තිය එය වුණත් මට දැන් දැනෙනවා මගේ ෆැෂන් එක, ආසාව තියෙන්නෙ සංගීතය පැත්තෙන් තවත් ඉදිරියට යන්න කියලා. ඇත්තටම සංගීතයෙන් ඈත්වෙලා හිටිය මට සංගීතයට තිබුණු ආසාව ආයෙත් වැඩි වුණේ ටැන්ට්‍රා සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණාට පසුවයි. ඒ වෙනුවෙන් මම හදවතින්ම ඒ සංගීත කණ්ඩායමට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මාව හොයාගෙන ඇවිත් මට ඒ අවස්ථාව නොදෙන්න චිත්රූ කියන ගායිකාව නැවත මතු නොවෙන්නත් තිබුණා. ටැන්ට්‍රා සංගීත කණ්ඩායමේ නායක දාර්ශ්, ඒ වගේම එහි සාමාජිකයන් වන සමීරට සහන්ට හිරුෂිකට නිශාන්ට ළහිරුට සහ නිරෝෂට මේ මොහොතේ හදවතින්ම ස්තූතියි කියන්න ඕනෑ. අපි අතරේ මාර එකමුතුවක් සහ ආදරයක් තියෙන්නෙ.  

Q චිත්රූ සංගීතයට ආදරය කරන්න පටන් ගත්තෙ ඒ හා බැඳුණෙ පුංචිම වයසෙදි. අම්මගෙ තාත්තගෙ අත්වැල ශක්තියක් වූ හැටි ඔබ හැමදාමත් සිහිපත් කරන්නෙ කෘතවේදීව. මම කැමතියි ඒ මතක දිගේ ටික දුරක් ආයෙත් ඇවිදින්න?

මම පුංචි කාලෙදිම ඔපෙරා සංගීතය හැදෑරුවා. අපේ ගෙදර සංගීතය හා රැඳුණු පසුබිමක් හැමවිටම තිබුණා. මගේ අම්මට ඉතාමත් හොඳින් පියානෝව වාදනය කරන්න පුළුවන්. මගේ අම්මා ඉලේන් ගුරුවරියක් වුණත් ඇය සංගීතයට හුඟක් නැඹුරු වුණු කෙනෙක්. මගේ තාත්තා ඡායාරූප ශිල්පියෙක්, ගත්කතුවරයෙක්, මාධ්‍යවේදියෙක් වගේම විවිධ ක්ෂේත්‍රවල හැකියාවන් තියෙන ජර්මනිය සරසවියක ශිෂ්‍යත්වයක් ලැබ උසස් අධ්‍යාපනය හැදෑරූ කෙනෙක්. මගේ තාත්තා ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාට සින්දු කියන්න බැරි වුණත් සංගීතය, සිනමාව, නාට්‍ය ගැන ඉතා උසස් අවබෝධයක් සහ රසවින්දනයක් තියෙනවා. මගේ අම්මත් මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින ගුරුවරියක්. අම්මත් තාත්තත් දෙදෙනාම ලෝකෙ විවිධ රටවල සංචාරය කරන්න අවස්ථාව ලද දෙන්නෙක්. ඒ නිසා ලෝකය සහ ජීවිතය ගැන විවෘත මනසකින් බලන්න ඒ දෙන්නටම පුළුවන්. ඒ නිසාම මට මම කැමතිම ජීවිතය දෙන්න අම්මත් තාත්තත් හුඟක් මහන්සි වුණා. තාත්තා පුංචි කාලෙදිම මට නූර්ති ගී අහන්න දුන්නා. නාට්‍ය බලන්න මාව අරන් ගියා. අමරදේව මාස්ටර්, නන්දා මාලනී මිස් තාත්තගේ හොඳ යාළුවෝ. ඒ වගේ හුඟක් සමාජ සම්බන්ධතා තාත්තට තාත්තගේ වෘත්තිය සමඟ හිමි වී තිබුණා. මම අවුරුදු හතේ ඉඳන් අවුරුදු හයකට වැඩි කාලයක් නන්දා නැන්දා ළඟ සංගීතය ඉගෙන ගත්තා. අපරදිග සංගීතය ඉගෙන ගත්ත මම පෙරදිග සංගීතය ඉගෙන ගන්න යොමු වුණේ මගේ පාසල වූ බම්බලපිටිය ශුද්ධ වූ කන්‍යාරාමයෙන්. මම ගියේ සබරගමුව විශ්වවිද්‍යාලයට. පාසලේදි වගේම විශ්වවිද්‍යාලයේදි මම සංගීතය අංශයෙන් ජයග්‍රහණ හුඟක් ලබා ගත්තා. 

Q සංගීතයත් එක්ක ආව ගමන් මඟ වෙනස් කළ තීරණාත්මකම සාධකයක් ඔබට හමුවෙනවා. ඔබ හැමදාමත් කෘතවේදීව මතක් කරන මතකයක් තමයි ඒ?

ඔව්.. සංගීතයත් එක්ක ආව ගමන වෙනස් කරපු තීරණාත්මකම පුද්ගලයා තමයි මගේ Western music coach ඔන්ඩ්‍රේ ඩේවිඩ්. එතුමා තමයි මගේ කටහඬේ පරාසය මට පෙන්වලා දුන්නෙ. එතුමා නැත්නම් චිත්රූ කියන ගායිකාව, චිත්රූ කියන හඬ බිහි නොවෙන්න තිබුණා. එයාට මම හැමදාමත් ස්තූතිවන්ත විය යුතුයි. 

Q චිත්රූ අලුතින් එළිදක්වන්න ලෑස්තිවෙන සින්දුවක් තියෙනවද?

මගේ පළවෙනි සිංහල සින්දුව Cover song එකක්. රූකාන්ත ගුණතිලකගේ උලත් එකයි පිලත් එකයි සින්දුව ඩ්‍රීම් ස්ටාර් තරගයේදි ­­මම මගේම විදිහට කීවා. සුනිල් පෙරේරා මහත්මයා ඒක දැකලා මට කතා කරලා සුන්දරයි ආදරෙයි කියන ගීතය ගායනා කරන්න දුන්නා. ඒක ජිප්සීස්ලගේ සින්දුවක්. සුනිල් පෙරේරා සර් සහ පියල් පෙරේරා සර් මම හරි ගෞරවයෙන් මතක් කරන්නෙ. මගේම කියලා සින්දුවක් මට ලියලා දුන්නෙ අමිල නිදහස. එයාගේ වචන හරිම වෙනස්. ඇත්තටම එයා ගෞරවයට පාත්‍ර විය යුතු සම්මානනීය ගී පද රචකයෙක්. ඒ ගීතය ලියලා සංගීතවත් කළේ යන යන තැන කියලා. තව ජනප්‍රිය ගායකයො දෙන්නෙක් එක්ක මගේ ගීතයක් ඉදිරියෙදි එන්න තියෙනවා. ඒ ගැන වැඩිදුර ඉදිරියේදි කතා කරමු. කොහොමත් මේ අවුරුද්ද මම හිතන් ඉන්නෙ සංගීතය පැත්තෙන් ඉදිරියටම යන අවුරුද්දක් කරගන්න. මේ අවුරුද්දෙ මගේ සින්දු තුනක් එන්න තියෙනවා. 

Q ඔබ වාසනාවන්තයි කියලා හිතනවද හැමදේටම උදව් කරන සැමියෙක් ඔබට ලැබීම?

අනිවාර්යයෙන්ම ඔව්. ඒත් එයා ගැන කියන්න ඉස්සර මගේ මහත්තයටත් වඩා මට මතක්වෙන දෙන්නෙක් ඉන්නවා. ඒ මගේ මහත්තයගේ අම්මයි තාත්තයි. ඒ දෙන්නා නැත්නම් මම ඔස්ට්‍රේලියාවට එන්නෙත් නැහැ. මම එයාට නැන්දම්මා කියන්න කැමති නැහැ. ඒ මගේ දෙවැනි අම්මා. ඒ වගේම මගේ මහත්තයගේ අක්කා මට හරිම ආදරෙයි. මගේ මහත්තයා රජිත් පීරිස්, මගේ දෙවැනි අම්මා මැණික්, තාත්තා සමන්, අක්කා ශමාලි සහ අයියා තේජන කියන්නෙ මට මගේම වාසනාවට හම්බවෙච්ච අය. අක්කා ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ. මම කැලණිය විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්යවරියක් විදිහට වැඩ කළා. මගේ දෙවැනි අම්මා තමයි මට කීවෙ ඔයාට දෙයක් කරන්න ඕනෑ, ඒ නිසා ඔයා ඔස්ට්‍රේලියාවට යන්න කියලා. එයා මට කිව්වා ඔයාගේ වියදම් අපි දරන්නම්, ඔයා ඉගෙන ගන්න කියලා. ඇත්තටම එයාලා ලොකු සල්ලිකාරයො නෙවෙයි. ඇත්තටම මාවයි මගේ මහත්තයවයි ඔස්ට්‍රේලියාවට යැව්වෙ මගේ මහත්තයගෙ අම්මා. එක ටර්ම් එකකට මගේ මාස්ටර්ස් එක කරද්දි ඩොලර් දහතුන් දාහක් විතර දරන්න වුණා. අවුරුද්දක් යනකම් ඒ වියදම් දැරුවෙ මගේ මහත්තයගේ අම්මා සහ අක්කා. ඇත්තටම මගේ අම්මට තාත්තට මම වෙනුවෙන් එච්චර වියදමක් කරන්න ශක්තියක් තිබුණෙ නෑ. මගේ දෙවැනි අම්මගේ එකම බලාපොරොත්තුව මම දියුණුවෙන එක. මට උයන්නවත් දෙන්නෙ නෑ. මට කියනවා ඒ කාලයත් ඔයා ඔයාගේ දෙයක් වෙනුවෙන් යොදවගන්න කියලා. එයා අපේ ගෙදර ආවත් මම එයා නැගිටින්න ඉස්සර එයා වෙනුවෙන් කෑම හදන්නෙ ඒ නිසා. මට මගේ අම්මත් එක්ක වගේම එයත් එක්කත් ඕනෑම දෙයක් විවෘතව කියන්න පුළුවන්. එයාගෙම ළමයෙක් වගේ මාව ආදරෙන් බලාගන්නවා. මගේ මහත්තයත් හරිම හොඳ කෙනෙක්. මම මෙහේ ඇවිල්ලා මාස කිහිපයකින් කොවිඩ් ආවා. මම මාස්ටර් එක කරද්දි මාසයක් විතර එකදිගට ප්‍රායෝගිකව ඒ වෙනුවෙන් කාලය යොදවන්න වුණා. ඒ ටිකේ මට රස්සාවක් කරන්න විදිහක් නෑ. ඒ කාලෙ අපි දෙන්නටම ආර්ථික ප්‍රශ්න ආවා. මගේ මහත්තයා ඒ කාලෙ පාන්දර හතරට රස්සාවට යනවා. ආයෙ එන්නෙ රූ එකොළහට දොළහට විතර. ආයේ හතරට වැඩට යනවා. එයා එච්චර කට්ටක් කෑවෙ මම වෙනුවෙන්. අපි යාළුවෙලා ඉන්න කාලෙ ලංකාවෙ ඉද්දි එයා එක සැරයක් එයාගේ මාසික වැටුපම මගේ අතට ගෙනත් දුන්නා ඔයා මේකෙන් සින්දුවක් කරන්න කියලා. මගේ දෙවැනි සින්දුව 'කල්පනා' කළේ ඒ සල්ලිවලින්. 

Q අද වෙද්දි අනාගතය අරමුණු කරගෙන ජීවිතේ දිනාගත්ත තවත් වටිනා දේවල් තියෙනවද?

මම දැන් මගේම Education company එකක් පටන් ගත්තා. කෙනෙක් යටතේ වැඩ නොකර මගේම දෙයක් කරගෙන යන්න මට තිබුණු වුවමනාව මම ඉටුකර ගත්තා. ඒක මම ජීවිතේ දිනාගත්ත ලොකුම අරමුණක්. මට වචනයකින් හරි ශක්තියක් දෙන ධනාත්මකව හෝ ඍණාත්මකව මට ප්‍රතිචාර දක්වන හැම කෙනෙකුටම ස්තුතියි කියන්නත් ආදරෙයි කියන්නත් මට ඕනෑ.

I සංජීවිකා