පිරිමි අයගෙන් නම් ලැබෙන ආකාර්ශණය අදටත් අඩුවක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ පිළිපිනයේ මැනිලා නගරයේ පැවති Mrs. Glamour Look  ජාත්‍යන්තර රූපරාජිණි තරගයේ ජයග්‍රාහිකාව වූයේ ශ්‍රී ලංකාවේ හර්ෂනි වෙළගෙදරය. දැනට ඩුබායි හි ඇමෙරිකානු පාසලක ගුරුවරියක් ලෙස කටයුතු කරමින් සිටින ඇය කෙරෙහි මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව පවති. නිතරම පෞද්ගලික ජිවීතේ තොරතුරු විමසන නිසාම හර්ෂණිට මෙවර වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක් යොමු කළා. මේ ඇය ඊට දැක්වූ ප්‍රතිචාර.

ඔබ රූපරාජිණියක්. ඔබ මෙච්චර ලස්සන වෙන්න හේතුව?

එහෙම විශේෂ හේතුවක් නැහැ. හැබැයි මම ආහාරයට ගන්න එළවළු විතරමයි. මස් වර්ග කන්නේ නැහැ. හැම වෙලාවෙකම පුළුවන් තරම් හිනා වෙලා සතුටින් ඉන්නඋත්සාහ කරන කෙනෙක්. වතුර එහෙම මම නිතරම වගේ බෙනවා. තව මම බොන්නේ බ්ලැක් ටී විතරයි. කිරි වර්ග බොන්නේම නැහැ. ඩුබායිවල රස්නේ හිරු එළිය එහෙම වැඩියි. ඒ නිසා ඒකට විතරක් මම ක්‍රිම් ආලේපනය කරනවා. එච්චරයි. මේක මගේ ස්භාවික පෙනුම. අනික මගේ අම්මා, තාත්තා දෙන්නම ලස්සනයි. ඒ අයගේ ලස්සන මට උපතින්ම ලැබුණා කිව්වොත් හරි.

ඇගේ හැඩය පවත්වාගෙන යන්න මොනවද කරන්නේ?

මම කායවර්ධන ව්‍යායාම් කරන්නේ නම් නැහැ. හැබැයි දිනකට මම ඇවිඳින ප්‍රමාණය වැඩියි. මම රැකියාව කරන පාසලේ තට්ටු ගොඩනැගිලි ඔක්කොම තට්ටු දෙක තුන ඒවා. ඒවාට යන්න විඳුලි සෝපාන තිබුණත් මම යන්නේ පඩි පෙළ නැගලා. මම හිතනවා සමහර විට මම ඇවිදින ප්‍රමාණය අනුව මගේ ශරිරයට ඒ තුළින් යම් ව්‍යායාමයක් ලැබෙන්න ඇති කියලා.

මවක් බිරිඳක් වුණාට පස්සේ ගොඩක් අය තමන්ගේ රුව ගැන හිතන්නේ නැහැ?

ඇත්තටම ආසියාතික රටවල්වල මවක් වුණාට පස්සේ තමන්ගේ ශරිරය ගැන සැළකිල්ලක් දක්වනවා බොහෝම අඩුයි. සමහර මව්වරුන්ට ඇත්තටම ඒ දේවල් වෙනුවෙන් කැප කරන්න කාලයක් නැහැ. ඒ වගේම බොහෝ අය හිතනවා දැන් මම අම්මා කෙනෙක් මොකටද තව ලස්සන වෙන්න.. ජීවිතේ භාගයකුත් ගෙවලා ඉවරයි නේ කියලා. හැබැයි මම නම් හිතන්නේ අම්මා කෙනෙක් වුණාම තමයි ලස්සනටම ඉන්න ඕනා. මොකද, ඒ කාලේ තමා අපේ ශරිරය වෙනස් වෙනවා ජීවත් වෙන විදිහ වෙනස් වෙන්න පටන් ගන්නේ. ගැහැණු අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. ඉතින් මවක් වුණා කියලා ඒ ලස්සන නැති කරගන්න හොඳ නැහැ. තමන්ගේ දරුවෙක් වුණත් අම්මා ලස්සනට ඉන්නවාට තමයි ගොඩක් කැමතියි.

තාම තරුණයන්ගේ ආකාර්ශණය තියෙනවද ඔබට?

ඒකට නම් මට පිළිතුරක් දෙන්න අමාරුයි. වයස් සීමාවකින්තොරව මට තරුණ පිරිසගෙන් ආකාර්ශණය ලැබෙනවා. සමාජ මාධ්‍යයන් හරහා නිතරම වගේ තරුණයෝ මට කතා කරනවා. හැබැයි ඒ කවුරුත් වැරදි යෝජනා කරන්නේ නැහැ. හැමෝම වගේ කියන්නේ ඔයාගේ සැමියා නම් හරිම වාසනාවන්ත කෙනෙක් කියලා.

වැඩිපුරම පිරිමින්ගේ ඇස් යන්නේ?

මම දැනට ජිවත් වෙන්නේ ඩුබායි නගරයේ. එහේ ඉන්න ගොඩක් යාළුවෝ ඇමෙරිකාවේ හා අරාබියේ ජිවත් වෙන අය. ඉතින් ඒ අය ගොඩක් වෙලාවට කියන්නේ මට පිරිමින්ගේ අකාර්ශණය දිනාගන්න පුළුවන් විදිහේ ඇස් දෙකක් තියෙනවා කියලා. ඒ වගේම තමා ඒ අය තව ගොඩක් කැමතියි මගේ දිග කොණ්ඩේට. මම කොණ්ඩය වවන්න අරගෙන දැන් දිගු කාලයක් වෙනවා. හැබැයි අද වනතුරු මම කොණ්ඩේට අනවශ්‍ය කරදර කරලා නැහැ. ඒ කියන්නේ කොණ්ඩය කපලා වර්ණ ගන්වලා වගේ දේවල් කරලා නැහැ. ලංකාවෙන් එන කොට තිබුණ කොණ්ඩේම තමා මට අදටත් තියෙන්නේ.

සාමාන්‍යයෙන් ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද?

මගේ දවස නම් ගොඩක් කාර්යබහුලයි. උදේ පාන්දර අවදි වෙලා කෑම බිම හදලා බබාට වෙනම හදලා දීලා මගේ රැකියාවට යනවා. එතැන උදේ 7.30 ඉඳලා හවස 3.00ට ආසන්න වෙනතුරු රැකියාවත් එක්ක කාලය ගෙවන්න ඕනා. මම රැකියාව කරන්නේ ඇමෙරිකානු පාසලක ගුරුවරියක් විදිහට නේ ඉතින් පාසල් ඉවර වෙලා තව අමතර පන්තිත් පැවැත්වෙනවා. ඒ වැඩ සියල්ලම අවසන් කරලා ගෙදර යනකොට රාත්‍රියට ආසන්න වෙනවා. ඉතින් ඒ ඇවිල්ලා ගෙදර රාජකාරි කරලා නින්දට යන කොට තරමක් රැ වෙනවා. ඔය විදිහට තමයි මගේ දවස ගෙවෙන්නේ.

අඳින ඇඳුම්වල ඔබ තෝරා ගැනීමක් කරනවද?

මම වැඩිපුරම කැමතියි දිගට අඳින්න. විශේෂයෙන්ම ඩුබායි වගේ රටක ඉන්න නිසා ගොඩක් වෙලාවට දිගට තමා අඳින්නේ. ලංකාවේ ඉන්නවා නම් මම ගොඩක් වෙලාවට ඇන්දේ කොටට. හැබැයි අනවශ්‍ය විදිහට මම කොටට අඳින්නේ නැහැ. මට ගැළපෙන ඒවා විතරයි මම අඳින්නේ. පොටෝවලට පෙනී ඉන්න වුණත් මම අනවශ්‍ය විදිහට කොට ඇඳුම් පාවිච්ච කරන්නේ නැහැ. වැඩේට ගැළපෙන විදිහට තමයි තෝර ගන්නේ.

බුද්ධික සේනාධීර