බය වෙවී වුණත් ඒක බලන්න මාර ආසා හිතෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q බිමල්.... 1970 Love Story සිනමා පටය තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිතව තිබෙනවා. මේ චිත්‍රපටය රූගත කිරීම් කෙරුණේ කොයි කාලයේදීද?

''1970 Love Story'' රූගත කිරීම් 2016-2017 වසරවලදී සිදුවුණා. ඒ චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු ඉවර කර ගැනීමට ටික කාලයක් ගතවුණු නිසා තිරගත කිරීමට ටිකක් කල්ගත වුණා. චිත්‍රපටයක් විදිහට ගත්තොත් 70-80 වසරවල තිබුණු වාණිජමය අතින් ඉතාම සාර්ථක ඒ වගේම වාණිජ හා කලාත්මක චිත්‍රපට දෙක අතර හරියටම මැද මාවතේ සිනමා පටයක් විදිහට මේ චිත්‍රපටය මට හඳුන්වන්නට පුළුවන්. ''1970 Love Story'' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අරුණ ජයවර්ධන මහතායි. මෙය නිෂ්පාදනය කළේ සමන් එදිරිසිංහ මහතායි.

Q ''1970 Love Story'' චිත්‍රපටය මෑත කාලයේදී තිරගත වුණු චිත්‍රපටවලට සාපේක්ෂව ටිකක් වෙනස් විදිහේ නිර්මාණයක් නේද...?

ඔව්. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකක් වටා ගෙතුණ නිර්මාණයක්. නමුත් ඒ ප්‍රධාන චරිත දෙකම කතාවේ ධාවන කාලය තුළදී ඉතා පොඩි වෙලාවකට තමයි මතුවෙන්නේ. ඒ ප්‍රධාන චරිතය චිත්‍රපටය අවසාන අදියරයේදී තමයි ප්‍රේක්ෂකයාට බලාගන්නට පුළුවන් වෙන්නෙත්. කොහොම වුණත් ලංකාවේ මේ මොහොතේ ඉන්න දක්ෂම රංගන ශිල්පි  ශිල්පිනියන් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. ඒක විශේෂ හේතුවක්. ප්‍රවීණ නවීන රංගන ශිල්පින් ශිල්පිනියන් ඉන්නවා. අපිට ඉතාම හොඳ සිංහල සිනමා ගීතාවලියක් තිබුණා. ඒක එක්තරා කාලවකවානුවකදී අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ඈත් වුණා. ඒ කාලේ ප්‍රේක්ෂකයන් වඩාත්ම සිනමාවට ආකර්ෂණය වෙන්නට ඒ ගීතත් හේතුවුණා. ඉතින් නැවතත් ඒ ගී සංස්කෘතිය මේ චිත්‍රපටයේ තිබෙනවා. පසුකාලයේදී සිනමාවේ Screen voice එකක් තියෙන සුරේන්ද්‍ර පෙරේරා ගායකයාගේ ඉතාම ලස්සන ගීතයකුත් මෙහි ඇතුළත් වෙනවා. අපේ ප්‍රේක්ෂකයන් සිනමාවෙන් ඈත් වෙන්නට තවත් හේතුවක් වෙන්නේ චිත්‍රපටයේ කතා තේමාව විසින් ඉල්ලා සිටින ඒ පොහොසත්කම සමහරවිට ඒ නිෂ්පාදනය තුළින් දකින්නට නොලැබීම. බොහෝ නිර්මාණ අඩු පිරිවැයකින් කරන්නට උත්සාහ කරනවා. නමුත් මේ චිත්‍රපටය එහෙම වුණේ නැහැ. චිත්‍රපටයේ නිෂ්පාදකතුමන් ඒ කතා තේමාවෙන් ඉල්ලා සිටින සියලුම පොහොසත්කම ලබා දුන්නා. ඒකම චිත්‍රපටය ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය මොහොතකට ගිලිහෙන්නට නොදී රඳවා තබා ගන්නට ඒක හේතුවක් වෙනවා. ලංකාවේ මේ වෙද්දී ත්‍රාසජනක චිත්‍රපට (Horror Movies) නිර්මාණය වෙන්නේ හරිම අඩුවෙන්. නමුත් මේ චිත්‍රපටය බය වෙවී වුණත් බලන්න ආස හිතෙන නිර්මාණයක්. ඒ මේ සියලු දේවල් එක්ක මෙය හරි අපූරු චිත්‍රපටයක්. ඒ නිසාම මෙය ප්‍රේක්ෂකයින් නැරඹීමට කැමැති චිත්‍රපටයක්.

Q මීට අමතරව බිමල් මේ දවස්වල දායක වුණ නිර්මාණ මොනවාද?

අශෝක හඳගම මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. මේ දිනවල එහි පසු නිෂ්පාදන කටයුතු සිදුවෙනවා. ඒ වගේම පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ හඬකැවීම්වලට අපි දායක වෙනවා. ඊට අමතරව ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ටිකක් වෙනස් මානයක හැරවුම් ලක්ෂයක් යැයි සිතිය හැකි නිෂ්පාදනයක් වෙනුවෙන් මූලික සැලසුම්වල මේ දිනවල නිරත වෙනවා. බොහෝවිට එය අප්‍රේල් මාසයේදී රූගත කිරීම් ආරම්භ වේවි.

Q ''සතෙන් සතේ, රුපියලින් රුපියල එකතු කරනවා'' කියපු සුජානි අද වැඩිය නිර්මාණවල දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ ඇය විසින් ගත්තු තීරණයක්ද?

සුජානි වසරකට වැඩි කාලයක් ඇතුළත වේදිකා නාට්‍යයක් වෙනුවෙන් ඇයගේ සම්පූර්ණ දෛනික කාලය කැපකළා. මාස පහක් වැනි පුහුණුවීම් කාලයක් තිබුණා. ඒ ''ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය'' වේදිකා නාට්‍යයෙයි. ලංකාවේ පනහකට ආසන්න දර්ශන වාර ගණනාවක් ඉතාම සාර්ථකව වේදිකාගත කරල තිබෙනවා. ලංකාවේ ඉන්න අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියන් නව දෙනෙක් ඒ වේදිකා නාට්‍යයේ ඉන්නවා. ඒ නිසා සුජානි ''ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය'' එක්ක විදෙස් සංචාර කිහිපයකටම මේ දිනවල සූදානම් වෙනවා. නොබෝ දිනකින් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යනවා. ඒ නිසා පසුගිය කාලයේදී ඇය රංගනයෙන් කාර්යබහුල වුණා. ඒ අතර චිත්‍රපට කිහිපයකම යම් යම් රංගන දායකත්වයකින් ඇය සම්බන්ධ වුණා. නුදුරේදී ඒ නිර්මාණත් දැකබලා ගන්නට පුළුවන් වේවි.

Q පසුගිය දිනක සුජානිගේත් බිමල්ගේ 17 වැනි විවාහ සංවත්සරය සැමරුවා. ඉතින් කොහොමද ජීවිතේ?

මම කොහොමටත් වැඩ පටලවාගෙන, කළමනාකරණය කරගන්න බැරි විදිහට ජීවත් වෙන්නේ නැහැ. ජීවිතේ පටලවාගන්නේ නැතිව නිදහසේ හුස්ම ගන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. මේක අපි හැමෝටම ටිකක් අමාරු කාලයක්. අපි හැමෝම විවිධ ප්‍රශ්නවලයි ජීවත් වෙන්නේ. මේ දේවල් දරාගෙන, මේ දේවල් බලාගෙන සමාජය වෙනුවෙන් මම මොනවාද කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්නේ කොහොමද කියලා හැම මොහොතකම අපි හිතනවා. මට ලැබෙන වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගනිමින්, ඒ වගේම මට ලැබෙන චරිත ප්‍රේක්ෂකයාට අසාධාරණයක් නොවන්නට නිරූපණය කිරීම තමයි මම හැම මොහොතකම බලාපොරොත්තු වෙන්නේ. සුජානිගෙත් මගෙත් ජීවිත ගත්තොත් අපි දෙන්නා ඉතාම සතුටින් මේ හැමදේටම මුහුණ දෙනවා. අපි වටා ලොකු පිරිසක් ඉන්නවා. අපේ සහෝදර සහෝදරියෝ, නෑදෑයෝ, යාළු මිත්‍රයෝ සියලු දෙනා එක්ක ඉතා සතුටින් සැහැල්ලුවෙන් අපි ජීවත් වෙනවා.

Q බිමල්... ඔයා කලා පරපුරක තවත් පුරුකක්. මේ කලා පවුල මුණගැහෙද්දී එතනත් හරි අපූරු ලෝකයක් ඇති?

ඔව්. අනිවාර්යයෙන්ම. අපේ පවුල එකට එකතු කරන්නත් හරි අමාරුයි. එදාට කවුරු හරි දවසක කාටහරි වැඩක යෙදෙනවා. හැබැයි සම්ප්‍රදායක් විදිහට අපේ පවුල තුළ තිබුණ දෙයක් තිබුණා. ඒ හැම සිංහල අලුත් අවුරුද්දේ හිසතෙල් ගාන දවසේ අපි අනිවාර්යයෙන්ම එකට එකතු විය යුතුයි කියන සම්ප්‍රදායක් චාරිත්‍රයක් තිබුණා. යම් යම් කාලවලදී අපිත් ඒ දවසට කාර්යබහුල වෙද්දී ඒ චාරිත්‍රයන් මඟහැරුණා. ඒ කාලේ අපේ තාත්තාගේ තත්තා (ආතා) ජීවත්ව ඉන්නතාක් කල් ඔහු හැමෝගෙම හිසතෙල් ගෑමේ චරිත්‍රය ඉටුකළා. පහුකාලයේදී අපි හැමෝම ටික ටික කාර්යබහුල වුණා. නමුත් අපි එකතු වෙන්න පුළුවන් වුණ සැණින් අපි පවුලේ අය එකතු වෙනවා. ඒ හැම සැන්දෑවක්ම හරි අපූරුයි. ඒ දවසට හැමෝටම අලුතින් කතා කරන්න අපේම දේවල් තිබුණා. හැමෝටම අලුතින් කියන්න දේවල් තිබුණා. අපිට හැමදාම කතා කරන්න අලුත් දේවල් තිබුණා. ඒ නිසා ඒක කොයි මොහොතේ කවදා හමුවුණත් ඒක හරි රසවත්.

Q සුජානිත්, බිමලුත් මීට අවුරුදු දාහතකට පෙර ජීවිතය පටන් ගන්නේ බිංදුවෙන් කියලා වරක් බිමල් මට කීවා. අද ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

ජීවිතේ ගෙවෙද්දී අපි දෙන්නට ලැබෙන සතුට ඒකම තමයි. ආපස්සට හැරිලා බලද්දී අපිට මඟහැරුණු, අතහැරුණු, නොලැබුණු දේවල් තිබෙනවා. හැබැයි ඒ හැමදේටම වඩා ජීවිතේ අමාරුම තැනේ ඉඳන් අපි දෙන්නගේ ජීවිතේ පටන් අරගෙන කාටවත් වංචාවක් නොකර, ප්‍රෝඩාවක් නොකර හරි නම්‍ය විදිහට ජීවිතය ගොඩනගා ගෙන, මහන්සියෙන් හම්බ කරගෙන අද අපි දෙන්නගේ ජීවිතය දැක්කහම හැමදේම අමතක වෙනවා. තවත් කෙනෙකුට උදව් කරගෙන ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් අපි හදාගත්තේ අවංකවම නේද කියලා හිතෙද්දී ජීවිතය ගැන පුදුමාකාර සතුටක් තිබෙනවා. ජීවිතේ අහිමිවීම් සහ නොලැබීම් ප්‍රශ්න නෙමෙයි, මේ එකතු කරගත්ත දේවලුත් අපිට අතහරින්න දවසක් එනවා කියලා අපි දන්නවා. ඒක සතුටින් අතහරින්න පුළුවන් කියලා මනසක් අපිට තිබෙන එක ගැන සතුටුයි. අපි දෙන්නා ඉතාම සෙමින් මේ තත්ත්වයට ආවේ. අපි වටා ඉන්න අයව අත් නොහැර අපි මේ තත්ත්වයට ආවා. ඒ ගැන ලොකු සතුටක් තිබෙනවා. ඒ නිසා ආපස්සට හැරිලා බලද්දී ආඩම්බරකාරී පුංචි සතුටක් තිබෙනවා.

I දිශානි ජයමාලි