මොන කෑම කැවත් මට අම්මාගේ කෑම තරම් ඒවා රස නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශාලිකා එදිරිසිංහ කියන්නේ අපි වර්තමානයේ ගොඩක්ම ආදරය කරන ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියක්. මේ දිනවලද ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දකින්නට ලැබෙන ශාලිකාට අපි නිතර අහන ප්‍රශ්නවලට වඩා මෙවර වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක්ම යොමු කළා. කටට රහට උයන්න පුළුවන් හින්දම ශාලිකාගෙන් අප ඇයගේ ඉවුම් පිහුම් දක්ෂතා ගැන කතා කළා.

ශාලිකාට උයන්න පිහන්න එහෙම පුළුවන්ද?

ඔව්, උයන්න පිහින්න මට පුළුවන්. පොඩි කාලේම මගේ අම්මා ඒ දේවල් මට කියලා දීලා තියෙනවා. ඉවුම් පිහුම් ගැන දැනගත්තු කාලේ ඉඳලා අම්මාත් එක්ක එකතු වෙලා මම කෑම උයනවා. හැබැයි ඉතින් වර්තමානයේ මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක නම් මට කැම හදන්න වෙලාවක් ඇත්තේම නැහැ. මගේ අම්මා මාත් එක්ක නිසා ඇය අතින් තමයි ගෙදර හැම කැමක්ම හැදෙන්නේ. හැබැයි ගෙදර විවේකිව ඉන්න දවස්වලට මම උයනවා.

උයන්න ගිහින් අමාරුවේ වැටුණු අවස්ථා එහෙම නැද්ද ශාලිකාට?

අපෝ තියෙනවා. එහෙම වෙනවා ඉතින් හදිස්සියට කෑම උයන කොට. කෑම වලට ලුණු වැඩිවුණ අවස්ථා නම් ඉතින් හරියට තියෙනවා. ඊට අමතරව කෑම උයන්න ගිහින් ඕනාවට වඩා තැම්බුණ හා බැඳිලා කරවුණ අවස්ථාත් තියෙනවා. ඒවා ඉතින් ඕනෑම ගෘහණියකට කෑම උයන්න ගියාම සිදුවෙන සාමාන්‍ය දේවල් නේ.

මෑතකදි කාපු හොඳම කැම වේල මතකද?

අම්මාගේ කෑම තමා ඉතින්. කොහේදී කෑවත් අම්මා හදන කැම වෙලා පරාද කරන්න බැහැ. අනේ මන්දා මගේ අම්මාගේ කෑම මට ගොඩක් රසයි. අපේ අම්මාත් ඉතින් විවිධ කෑම ජාති හදනවා. වැඩ කරලා ගෙදර ඇවිල්ලා ඒ කෑම කනකොට ඉතින් කටට දැනෙන රස කියලා නිම කරන්න බැහැ. ඒ තරම් ඇඟට දැනෙනවා මගේ අම්මාගේ කෑම රස.

ශාලිකා අලුත් කැම වර්ග එහෙම අත්හදා බලන්නේ නැද්ද?

අත්හදා බලනවා. හැබැයි මෑතකදී නම් එහෙම අලුත් කෑම වර්ගයක් වෙනස් විදිහට අලුත් විදිහට හදන්න ඇත්තටම මට වෙලාවක් ලැබුණේ නැහැ. අපේ අම්මා තමා ඉතින් අලුත් කෑම එහෙම හදලා අපිට කන්න දෙන්නේ. එයා නිතරම වගේ රූපවාහිනියේ කෑම හදන වැඩසටහන් බලනවා. ඉතින් ඒ දැකලා අම්මා අපිටත් එක්ක අලුත් විදිහට කෑම හදනවා. කාලයක් මමත් විවිධ විදිහට අලුත් කෑම වර්ග හැදුවා. විශේෂයෙන්ම කොවිඩ් කාළේ ගෙදරටම සීමා වෙලා ඉන්න කොට. දැන් නම් එහෙම අලුත් කෑමක් මට හැදෙන්නේ නැති තරම් තියෙන වැඩකටයුතු එක්ක.

කෑම පාලනය එහෙම කොහොමද ශාලිකාගේ?

කෑම පාලනයක් මට තියෙනවා. ඒක මේ අද ඊයේ ඉඳලා තිබුණ දෙයක් නෙමෙයි. පොඩි කාලේ ඉඳලා තිබුණ දෙයක්. ඇත්තටම මම ලොකුවට කෑම කන කෙනෙක් නෙමෙයි. ඒ හින්දා කෑම පාලනයක් කියලා එහෙම විශේෂ දෙයක් මට නැහැ. පොඩි කාලේ ඉඳලා මම මම එහෙම ලොකුවට කෑම කන කෙනෙක් නෙවෙයි. ඉතා සුළු ප්‍රමාණයක් තමයි දවසකට කන්නේ. බත් කනවා නම් ඒ එක වෙලකට. අනිත් වෙලාවට මම පුරුදු වෙලා තියෙන්නේ බොහෝම සරළ කෑම කන්න.

ශාලිකාට රසට හදන්න පුළුවන් කෑම මොනවද?

බටර් කේක්, ප්‍රයිඩ් රයිස්, තව පුළුවන් මට රසට චොප්සි හදන්න. තව අවුරුදු කැවිළි පෙවිලි එහෙම මට රසට හදන්න පුළුවන්. විශේෂයෙන්ම අලුවා. මට තරම් අපේ පවුලේ කාටවත් බැහැ අලුවා හදන්න රසට.

පැණි රස කෑමවලට ශාලිකාගේ ඇති කැමැත්ත මොන වගේද?

පැණි රස කෑම ඒ කියන්නේ ටොෆි චොකලට් වගේ දේවල් නම් මම කනවා ගොඩක් අඩුයි. මම ගොඩක්ම ආස බටර්, යෝගට්, චිස් වගේ කිරි රහට කන්න පුළුවන් කෑම වර්ගවලට. ඒ වගේ කිරි ආහාර මගේ ආහාර වේල්වලට මම එකතු කරගන්න බොහෝම උනන්ඳුයි.

බුද්ධික සේනාධීර