මම ඉගෙන ගත් සමහර අංශවලට මෙහේ ජොබ් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘අපේ විවාහය කෙරෙන්නෙ ගිණිකන්දක් උඩ නගපු පෝරුවක. මගේ ස්වාමිපුරුෂයාගේ රටේ සකුරා මලින් පිරිච්චි හරි ලස්සන මාළිගාවක් තියෙන්න පුළුවන් තමයි. ඒත් ඉතිං....’

සකුරා ඉවුරේ සිට ඇය කියන ඒ කතාවේ ඉතිරිය මේ දිනවල තිරගත වන අශෝක අතාවුද හෙට්ටි නිර්මාණය කළ ‘කන්දක් සේ මා’ සිනමා නිර්මාණය නැරඹීමෙන් ඔබට දැනගත හැකිය. සුමිත්‍රා රාහුබද්ද ලියූ සම්මානනීය නවකතාවක් වන ‘කන්දක් සේ මා’ කතාව ඇසුරෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකෙරී ඇත්තේ සුන්දර ජපානයේ දීය. ඒ කතාවේ ප්‍රධාන චරිතයට දායකත්වය ලබා දුන් නිරෝෂා පෙරේරා ශිල්පිණිය සමගයි අද අපේ මේ කතාබහ.

නිරෝෂා මොනවද මේ දිනවල විස්තර? ජීවිතය ගෙවන විදිය?

ජීවිතය ගෙවන්නෙ වැඩ කටයුතු කීපයක් එක්ක. මේ දිනවල නම් සම්පූර්ණයෙන්ම කාලය යොදවලා තියෙන්නෙ ‘කන්දක් සේ මා’ ෆිල්ම් එකේ ප්‍රවර්ධන කටයුතුවලට. ඒ වෙනුවෙන් කටයුතු කරන නිසා වෙනත් වැඩකට කාලය වෙන්කරන්න විදියක් නැහැ. ඉන්පසුව නිවාඩුවක් ලැබුණ හැටියේ රටින් පිට සංචාර යන්න ආසයි.

නිවේදන කටයුතු කරන්නෙ නැද්ද? මේ දිනවල?

මේ අවුරුද්දෙ බාර ගත්තේ නැහැ. මොකද තවදුරටත් අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින නිසා.

ඒ කියන්නෙ තවමත් නිරෝෂා ඉගෙන ගැනීම නවත්තලා නැහැ?

මෑතකදීම මම මානව සම්පත් කළමනාකරණ අංශයේ උපාධියක් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු කළේ. ඉගෙනීමට උනන්දුවක් තියෙනවා නම්, සතුටින් එය කරනවා නම් ප්‍රතිඵල ගන්න පුළුවනි.

උපාධි කීයක් තියෙනවද නිරෝෂාට?

උපාධි පහක් විතර දැනට අරගෙන තියෙනවා.

උපාධි පහකුත් තියාගෙන ජොබ් එකක් නොකරන්නෙ?

දෙයක් ඉගෙන ගන්නෙ ජොබ් එකක් කරන්නම නෙවෙයිනෙ. මම ඉගෙන ගත් සමහර අංශවලට මෙහේ ජොබ් නැහැ. නමුත් ඉගෙන ගත් එක් විෂයයක් වෙනුවෙන් මම කටයුතු කරන්නෙ හරිම උනන්දුවෙන්. මනෝවිද්‍යා උපදේශකවරියක් ලෙස ලබාදෙන සේවයට මම හරි කැමැතියි. ව්‍යාපාර පරිපාලන අංශයේ ලබා ගත්ත දැනුම පාවිච්චි කරන්නෙ පවුලේ අයගෙ ව්‍යාපාරික කටයුතුවලට. මට ව්‍යාපාර කරන්න බැරි වුණාට. ඒ පිළිබඳ දැනුම අනෙක් අයට දෙන්න පුළුවනි. මට වැඩිය ‘ඉරෝෂා’ බිස්නස්වලට දක්ෂයි. මගේ ජීවිතයේ සමාජය දැනෙන විදියෙ වැඩ ටිකකුත්, මම වෙනුවෙන් නිරතවන වැඩ කොටසක් වගේම මගේ පවුල වෙනුවෙන් කරන වැඩ කොටසකුත් තියෙනවා. ඒ මොන විදියට වැඩ කළත් අපි කරන කිසිවක් තව කෙනෙක් දැනගත යුතු නැහැ. ඒ වගේම දැනගෙන ඇති වැඩකුත් නැහැ. තව සමහර අපි කරන සේවයන් අනෙක් අය නොදන්නා තරමට හොඳයි. මම සංචාරය කරන තැන් ගැනවත් සඳහන් නොකරන්නෙ ඒක මගේ විනෝදාංශය වෙනුවෙන් කරන දෙයක් නිසයි.

නිරෝෂා, ෆිල්ම් එකකින් මේ විදියට හමුවන්නෙ කොච්චර කාලයකට පසුවද?

ඩාන්සින් ස්ටාර් සහ එකමත් එක රටක එකම අවුරුද්දෙ තිරගත වුණේ. ඉන්පසුව දේදුණු වැස්ස ෆිල්ම් එකේ රඟපෑවා. ආකාස කුසුම් ෆිල්ම් එකේ රඟපෑවේ ගරු රඟපෑමක්. එයින් පසුව දැන් ‘කන්දක් සේ මා’ තව එක ෆිල්ම් එකක් එන්න තියෙනවා. ඒ වගේම ගිවිසගත් කීපයකුත් තියෙනවා.

ටෙලිනාට්‍යවල දකින්න නැත්තේ?

එක දිගටම මෙගා සීරිස්වලට ආරාධනා ලැබෙන්න ගත්තා. ඒ වෙනුවෙන් සතියේ සෑම දවසකම රඟපාන්න මට අමාරුයි. මුල මැද අග දැනගෙන කරන නාට්‍යවලට මම කැමැතියි. නිදහස හොයන නිසාද කොහෙද මම මොනවා හරි හේතුවක් කියලා දීර්ඝ ඒවාට යන්නෙ නැහැ. ඒ මගේ හැටි.

ප්‍රේමය ඇතුළු සියලු දේ සමග ගෙවී යන නිරෝෂාගෙ ජීවිතය මොන විදියද?

හොඳින් ගෙවී ගෙන යනවා. මම හරිම වාසනාවන්ත කෙනෙක්. මම හරි සතුටින් සිටින කෙනෙක්. හිතේ සතුට තියෙනවා නම් ජීවිතය සුන්දරයි. ඒ සතුට බුක්ති විඳගෙන මගේ පාඩුවෙ ඉන්නවා. ඒ ඒ කාලවලදී මට ඕනෑ විදියට ජීවිතයෙ රිද්මයක් හදාගෙන ආව කෙනෙක්. හැමෝම යම් දෙයක් කළාය කියලා ඒ විදියට කරන කෙනෙක් නෙවෙයි. මට ඕනෑ නම් විතරක් කරන, නැත්නම් පාඩුවෙ සිටින කෙනෙක්. එදා අද කියලා ඒකෙ වෙනසක් නැහැ. පරිසරය කාලය වෙනස් වුණාට, මගේ ප්‍රතිපත්ති සහ විදිය එදා වගේමයි.

නිරොෂාගෙ ආදරේ ස්ටයිල් එක මොන විදියද?

ඒ ගැන මට මතක් වෙන්නෙත් නැති තරම්. මගේ විදිය අනුව මම වැඩවල ඉන්නෙ. ඒක මගේ විදිය. නොපෙනෙන අනාගතය ගැන හිතලා ජීවත් වන කෙනෙකුත් නෙවෙයි. මේ දක්වා ඒ ගැන වුවමනාවක්, උනන්දුවක් මට තිබුණෙ නැහැ. තව සහකරුවකු එක්ක මට ජීවිතේ ගැලපේවි කියලා මම හිතන්නෙ නැහැ. මම තනියම මගේ ගමනක් යන කෙනෙක්. අනෙක හැමෝටම සැම දෙයක්ම හරි යන්නෙත් නැහැනෙ. ඒ වගේම මම විවාහ වෙලා සහකරුවෙකු එක්ක ජීවිතේ යන්න ඕනෑය කියන අදහස මට ඇතිවෙලත් නැහැ. කිසිදෙයක් මම ප්ලෑන් කරන්නෙ නැහැ. මොකද අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ ප්ලෑන් වෙලා. මේ ආපු විදියට මම සන්තෝෂයෙන්.

‘කන්දක් සේ මා’ ‘නූපා’ ගැන කියමු’.‘නූපා’ මොනවගේ කියලද ඔබට හිතෙන්නෙ’?

නූපා දිහා යම් කෙනෙක් කෙසේද බලන්නෙ? ඒ බලන කෙනාගේ විදිය අනුව ඇයව මැනගත හැකියි. මට හිතෙන විදියට ඇය සියල්ල දරාගෙන මහා කන්දක්සේ පෙනෙන කාන්තා චරිතයක්. කිසිම දෙයක් ලෙහෙසියෙන් අත් නොහරින. ආදරේ සොයන කාන්තාවක්.

‘නූපා’ ලෙස රඟපාද්දි දැණුන හැඟීම් මොන වගේද?

නූපා කියන්නෙ නොහිතන දේ බොහොමයකට මුහුණ දුන් කෙනෙක්. එක් එක් කාලවලදී සිදුනොවිය යුතු දේට මුහුණ දුන් කෙනෙක්. පොත ලියූ සුමිත්‍රා රාහුබද්ද මහත්මියම තමයි තිර රචනය ලියලා තියෙන්නෙත්. ඒ නිසා මට පොත කියෙව්වත්, අනුගමනය කළේ. තිරපිටපත. නූපා කියන්නෙ ආදරේ නිසා බොහොම තරුණ වයසකදී අමාරුවෙ වැටුණ කෙනෙක්. ඇයට ජීවිතයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ එකකට පසුව එන තවත් සිදුවීමකට මුහුණ දෙමින්. ඉතින් ඒ සියලු රිද්මය හඳුනාගෙන චරිතය නිරූපණය කිරීමට උත්සාහ ගත්තෙ.

ජපානායේදී, රූගත කිරීම්වලට මුහුණ දුන් සොඳුරු මතකයේ රැඳී දේ ගැනත් සිහිපත් කළොත්? ජපානයේ කොපමණ කාලයක් හිටියද?

සෘතු හතරෙදිම අපි ජපානයට ගියා. ශීත කාලය, ගිම්හානය, සරත් සමය, වසන්තය යන මේ සෑම කාලයකදීම රූගත කිරීම් සිදුකළා. කොහොම වුණත් මට නම් හැමදාම දැණුණෙ ශීත සමය වගෙයි. චරිතයේ හැටියට සීතලේ තමයි මට ඉන්න සිදුවුණේ. නූපා වතාවක සිහිනයක් දකිනවා. ඒ සිහිනයේ හැටියට හිමේ ඇවිද යන්න තිබුණා. සාමාන්‍යයෙන් ශීත කාලයේදී උණුසුම් ඇඳුම් අඳින්න වෙනවා. නමුත් ඒක සිහිනයක් නිසා මට අඳින්න තිබුණේ දුහුල් ඇඳුමක්. ඒ මදිවට පාවහන් නැහැ. හිතන්නකො තද ශීතලේ ඒ වගේ රංගනයක් කොහොමද කරන්නෙ කියලා? හැබැයි මම ඒ හිම ගැන හිතුවෙ නැහැ. හිමේ පෙරළිලා, මට තුවාල වෙලා, ඒත් පසුව තමයි මම ඒවා ගැන දැන ගත්තෙ. ඒ කාලගුණික තත්වය අපේ කණ්ඩායමටම අතිශය දුෂ්කර වුණා. මිහිරිම සිදුවීම නම් ඒ අතරින් බොහොමයක් මට ඒවා විඳගන්න තරම් විදියක් තිබුණෙ නැහැ. මොකද මම හිටියෙ චරිතයේ ස්වභාවය එක්ක. වැඩිපුරම රූගත කිරීම් සිදුකළේ සුන්දර නීගතා ප්‍රදේශයේ. කොච්චර සුන්දර වුනත්, චරිතය එක්ක ඒ මොහොතේ ජීවත් වෙද්දි අවට පරිසරය ගැන හිත යොමන්න තරම් කාලයක් තිබුණෙ නැහැ.

එක්තරා අවස්ථාවක භූ කම්පනයක් සිදුවූ මොහොතකට මුහුණ දෙන්නත් සිදුවුණා නේද?

ඒකනම් හොඳටම බය වූ අවස්ථාවක්. නිතරම ජපානයේ භූ කම්පන ඇතිවෙනවනෙ. එක දවසක් ලොකු භූ කම්පනයකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ වෙලාවෙ මම කෑම ගන්නා අතරේ සිටියෙ. එදා මම හිටපු කාමරේ ඉඳලමයි කෑම කෑවෙ. එදා තිබුණෙ අපේ ලංකාවේ ආහාර වේලක්. ඔන්න එකපාරටම භාණ්ඩ පෙරළෙන සද්දයක් ආවා. මම හිතුවෙ වහළෙට හොරුවත් ඇවිත්ද කියලයි. ඒ එක්කම මිනිස්සු දුවන සද්ද ඇහුණා. එතකොට ජනේලයෙන් මම වට පිට බැලුවා. බුලට් ට්‍රේන් එකක් යනවා දැක්කා. මම හිතුවේ ඒකෙ සද්දෙට වෙන්නැති කියලයි. එතකොට මාව හෙල්ලෙන්න ගත්තා. ඒත් කෑම කන එක නතර කළේ නැහැ. ඔන්න එතකොට අනතුරු සංඥා නාද වෙන්න පටන් ගත්තා. ‘මීෂා’ ඇවිත් දොරට තට්ටු කරලා මේ හැමෝම එළියට යනවා ටක් ගාලා ඔයත් එන්න කිව්වා. ඒත් මම ලැහැස්ති නැහැ. කොහොමත් මැරෙන එකේ කාලාම මැරෙනවාය කියලා හිතා ගත්තා.  ඊට පස්සේ එළියට යන්න තීරණයක් ගත්තා. ඒත් එළියට පැන ගන්න කළින්, එතැනින් බේරෙනවට වඩා ඉන්පස්සේ කොහොමද මගේ රටට යන්නේ කියලා හිතාගෙන මම කළේ පොකැට් කීපයක් තියෙන කලිසම ඇඳගෙන, පාස්පෝට් එකයි, පර්ස් එකයි, ෆෝන් එකයි අරගෙන එළියට දුවන්න ලැහැස්ති වුණා. අනෙක් මොනවා තිබුණත් වැඩක් නැහැ ඒ දේවල් නැතුව. හැබැයි, කොහොම හරි ඒ ටික කරගෙන එළියට යන්නට පෙර භූමිකම්පාව ඉවරයි.

සඳුන් ගමගේ